Ads 468x60px

.

රෙද්ද පල්ලේ සංස්කෘතිය සොයන දේශප්‍රේමීන් කියවිය යුතු ලිපියක්...

රෙද්ද පල්ලේ සංස්කෘතිය සොයමින් අතීත සභ්‍යත්වය ගැන උජාරුවෙන්  කථා කරන දේශ ප්‍රේමීන්ගේ ගරීරාන්ග හිරි වැටී යන ලිපියක් ලංකාදිප පුවත් පතේ පලවී තිබේ.

මෙම ලිපිය 1915 - 1920 අතර කාලයේ කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ නිකවැරටිය ප්‍රදේශයේ ”ගිරිල්ල” මිශ්‍ර පාඨශාලාවේ උපගුරු පත්වීමක් ලැබ සේවය කල ඞී,බී.අතුකෝරාල මහතා විසින් පවසන ලද විස්තර අනුව ලියන ලද්දකි.

මෙය රොබට් නොක්ස් ගේ කාලයේ නොව  1915 - 1920 අතර කාලයේ  ලන්කාවේ ගැමි ප්‍රදේශයක විස්තර අතුකෝරාල මහතා මෙසේ පවසයි (උපුටා ගැනීම ලංකාදීප පුවත් පත 2013 අගෝස්තු 23)  

"මගේ වයස හරියටම අවුරුදු 20 යි. සීනියර් විභාගය සමත් වෙලා හිටියේ. ඒ කාලේ සීනියර් විභාගය පාස් කළා නම් ගුරු තනතුරකට ඉල්ලන්න පුළුවන්. 


එහෙම ඉල්ලීමක් කරපු මට කෑගල්ල කච්චේරියේ සුදු ඒජන්ත මහත්මයාගෙන් ලියුම් කරදාසියක් ආවා උපගුරු තනතුරකට තෝරාගත් බව දන්වලා. පළමු පත්වීම ලැබුණේ කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ ”ගිරිල්ල මිශ‍්‍ර පාඨශාලාව කියල තැනකට. 

ඒ කාලේ වන්නි පළාත මහා වනාන්තරේ. පළු, වීර, බුරුත, කරුවල ගස් පිරිලා. හේන් කෙටීම, කුඹුරු කිරීම ප‍්‍රධාන රස්සාවයි. මේ වගාවල පැල් රැකීමත් ඔවුන්ගේ ජීවිතයේ එක අංගයක්. 


රාත‍්‍රි කාලවල ගම් ගෙවල්වල පිරිමි උදවිය නැහැ. පැල් රකින්න ගිහින්. එක ගෙයි දීග කෑම නැතිනම් එක බිරිඳට ස්වාමි පුරුෂයො දෙන්නෙක් ඉන්න විවාහ ක‍්‍රමේ සුලභයි. 

එහෙම ගෙවල්වල ස්වාමිවරුන් දෙදෙනා මාරුවෙන් මාරුවට පැලට යනව. එකෙක් නිතරම ගෙදර ඉන්නව. ස්වාමි පුරුෂයන් දෙදෙනාම එක කුස උපන් අයිය මලෝ වරු.

ගැමියො හරිම අහිංසකයි. ආගන්තුක සත්කාරයට මනාපයි. හැබැයි පුංචි මාන්නක්කාර කමකුත් තිබුණ. කුල මල භේද බැලූවා. පිරිමින් නිතරම අමුඩ ඇඳගෙන සරමක් කරේ දමාගෙනයි හිටියේ. 


හිසේ තලප්පාව වරදින්නේම නෑ. සීතල උෂ්ණය ඔවුන්ට වැඩි ගණනක් නැති තරම්. ඒ ඔවුන්ගේ ජීවන රටාව හින්දා වෙන්නැති. මොකද මේ ප‍්‍රදේශයේ ගොවිතැන් ආලාපාළු කරන්නේ මුවා, ගෝනා, ඌරා, කුළු හරකා. දඬුවැට පෙරළාගෙන රාත‍්‍රි හේනට කුඹුරට සේන්දු වෙනවා. 

ඉතින් මේවා රැක ගන්න. පැලට යන්නම ඕනැ. පැල් රකින කොට ශරීරේ වහගෙන පැල් රකින්න ගියොත් නින්ද යන නිසා ඇඳුම් අඩුවෙන්මයි ඔවුන් ඇන්දේ. ඔවුන්ට වැඩි ඇඳුමකුත් නැහැ. 

පැලේ නිදා ගන්න කොට හිස තිබ්බේ පුංචි ලී කොට කෑල්ලක. ලීය රළු නිසා නිතරම අවදි වෙනව. ඉතින් මේක ඔවුන්ගේ එදිනෙදා ජීවිතේටත් හුරුවෙලා.

මේ ගම්වල හුඟාක් ලස්සන ගැහැණු හිටියා. හැබැයි ඒ අය උඩුකයට නම් කිසිම වැස්මක් නෑ. නිරාවරණයි. වයස අවුරුදු 15, 17 වගේ තරුණ ළමයි වුණත් එහෙමයි. 


දණ හිස ළඟට තියන විදියට කම්බා රෙදි කෑල්ලක් විතරයි ඇන්දේ. යටට වෙනත් ඇඳුමක් නැතිවා වගෙයි. හොඳට වැඩුණු අවුරුදු 18 වගේ තරුණ ගැහැණුයි, කිරි දෙන අම්මලයි උඩුකය වැහෙන්න උතුරු සළුවක් වගේ රෙද්දක් පොරවාගෙන හිටියා. 

කොහොමටත් මේ අය නාන්නෙ ගමේ තියෙන පොදු වැවෙන්. නාන වෙලාවට නම් ඔක්කොගෙම උඩුකය නිරාවරණයි. එහෙ ගිය මුල් දවස්වල වැවට නාන්න යද්දී මේ දර්ශන දැක්කම මට ලැජ්ජාවක් දැනුණත් ඔවුන්ට නම් ඒ ගැන විශේෂත්වයක් තිබුණෙ නැහැ වගේ.”

”ගෙදරක ගැහැණු ළමයෙක්, නැත්නම් ඒ අය කියන විදියට පොඩිස්සියක්, ළමිස්සියක් වෙනස් කරවන ”ලොකු ළමයෙක්” වෙනවට ඔවුන් කීවේ ”කොටහළු” වෙනවා කියල. කොටහළු වුණ ළමයා දින ගණනාවක්ම ගේ ඇතුළේ හිරවෙනවා. 


නියමිත දිනේදී නාවන්නේ ”රෙදි නැන්දා” ඒ රජක කුල කාන්තාවක්. ඒ ගැහැණියට කොටහළු වෙච්ච ගෑනු ළමයා නිදා ගත්ත පැදුර, ඇඳගෙන හිටපු කම්බාය වගේ සියලූම දේ හිමිවෙනව. කොටහළු වෙන දවසේ ඒ සලකුණ රැඳී තිබුණ රෙදි කැබැල්ල හැලියක දමල ඈත කැලයකට විසි කරනවා.  "

රෙද්ද පල්ලේ සංස්කෘතිය සොයන දේශප්‍රේමීන් දැන්වත් ඇස් ඇරිය යුතුය.

- අමිල ගුණරත්න
 
Related Posts with Thumbnails