Ads 468x60px

.

කතරගම දෙවියන්ගේ බර්ත් ඩේ එක ගැන ඇසූ පළමු අවස්‌ථාව...

පසුගිය 16 වැනිදා කතරගම නගරයේ ඇති කළ කලහය මින් පෙර කතරගම ඉතිහාසයේ නොවූ විරූ එකක්‌ වූනා.ඉතිහාසයේ වැඩිම ජනකායක්‌ කතරගමට රැස්‌වූයේ එදිනය. අක්‌කර 4 ක්‌ තරම් වූ කතරගම දේවාල භූමිය තුළ ලක්‍ෂ 5 ක්‌ තරම් සේනාවක්‌ අතුරු සිදුරු නැතිව පිරී සිටියා. කතරගම සියලු රථගාල් පිරී තිබුණා.

තව එකදු රථයකටත් ඇතුළුවන්නට රථ ගාල්වලට ඉඩක්‌ නොවීය. කුඩා දරුවන්, මහලු ගැහැනු පිරිමින් මෙදා තරම් අතරමං වූ දවසක්‌ මින් පෙර නොවීය. කතරගම සෑම වෙළෙඳ සලකම කිසිවක්‌ම ඉතිරි වූයේ නැත. සියල්ල විකිණී ගියේය. 

පලතුරු සහ පොල්ද, පොල් තෙල් හා පහන් තිරද සොයා ගත නොහැකිව ජනී ජනයා වෙළෙඳසල් ගානේ පැය ගණන් ඇවිද්දා. මහා මාර්ගයන්හි තිබුණේ අසාමාන්‍ය වාහන තදබදයකි.

කතරගම දෙකක්‌ කළ මේ අරුමය කුමක්‌ද?. මේ සා ජනකායකගෙන් කතරගම පූජා නගරය තදබද වී ගියේ ඇයි?

16 දා කතරගම දෙවියන් පූජා භූමිය තුළ ප්‍රාදූර්භූත වෙතැයිද දෙවියන් දැක ගතහැකි වෙතැයිද යනුවෙන් ලංකාවේ ප්‍රකට ජ්‍යෝතිර්වේදියකු වන මංජුල පීරිස් මහතා රූපවාහිනි නාලිකාවකින් ප්‍රකාශකයක්‌ කර තිබුණා. එදින කතරගම දෙවිඳුන්ගේ උපන් දිනය බවද වැඩිදුරටත් ප්‍රකාශ කොට තිබුණා.

ඉදින් දෙවියන් හැබැහින් දැක ගන්නට ලැබේ නම් දෙවියන් දකින්නට නොයන්නේ කවුද? කතරගම පිරී ඉතිරී ගියේ ඒ නිසාය. දෙවියන් හැබැහින් දකිනු පිණිසය.

රාත්‍රි 11.00 සිට බැතිමත්හු අහස දෙස බලා සිටියහ. දෙවියන් පහළ වන්නේ නම් පහළ විය හැක්‌කේද අහසිනි. එහෙත් පසුවදා පහන් වන තුරුම බලා සිටි ජනකායට කතරගම දෙවියන් ප්‍රාදූර්භූත වූ බවට කිසිදු සලකුණක්‌ පෙනුණේ නැත. ලක්‍ෂ 5 කට අධික ජනකායක්‌ දෙනා පසුවදා පූජා භූමියෙන් නික්‌මුණේ කනගාටුදායක සිත් වලිනි.

දෙවියන් පහළ වූයේ නැත. දෙවියන් පිළිබඳ හැඟීමේ ඉතිහාසය අනාදිමත්ය. ඉතිහාසයේ මිනිසා, ගල්යුගයේ මිනිසා ඉරහඳ තාරකා ඇදහූයේ අද්භූත වස්‌තූන් ලෙස සලකාය. 

නමුත් ඉරහඳ තාරකා යනු අප වෙසෙන පෘථිවිය මෙන්ම තවත් ග්‍රහ වස්‌තූන් බව අද ලෝකයා දනී. එබැවින් ඉර හඳට වඳින සිරිත දැන් මිනිසුන් වෙතින් ඉවත්ව ගොසිනි.

ඉරට වැඳිය යුත්තේ අද්භූත වස්‌තුවක යෑයි හෝ දෙවියකු යෑයි අදහසින් නොව හිරු යනු සොභාව ධර්මයේ අගනාම තිළිණය යෑයි යන විශ්වාසයෙනි. 

හිරු එළිය නැත්නම් ධාන්‍ය පලතුරු, එළවළු ආදී කිසිත් වැවෙන්නේ නැත. අපට රැය සහ දවාල බෙදා දෙන්නේ හිරු විසිනි. හිරු දෙවියෙකු කොට සැලකිය යුත්තේ ඒ අරුතිනි.

ඇයි ජලය· ජලයද දේවත්වයෙන් පූජාවට ලක්‌ කළ යුතු වස්‌තුවකි. මුළු මහත් සත්වයාගේම පැවැත්ම ඇත්තේ ජලය මතය. මිනිසාට ජීවත්වීමට ජලය අත්‍යවශ්‍යය. මිනිසා ගහ කොළ, සතා සීපාවා. ධන ධාන්‍ය වගාව ආදී කුදු මහත් සෑම දෙයකම පැවැත්ම ජලයය. 

එබැවින් ජලය දෙවියෙකු සේ සලකා වැන්දාට කම් නැත. දෑකැත්තට, මේසන් හැන්දට වැන්දාට කම් නැත. ඒ අපේ බඩ වියත රැකදෙන ආයුධ නිසාය.

දෙවිවරු සිටී නම් සිටිය යුත්තේ මිනිසුන්ට පිහිටවීම සඳහාය. එමෙන්ම දෙවියන් සාධාරණ විය යුතුය. ඡන්ද අපේක්‍ෂකයන් දෙදෙනාම ජයග්‍රහණය කරවීමට දෙවියන්ට හැකිද? 

කේවල ක්‍රමය යටතේ නම් එක්‌ අපේක්‍ෂකයකු නිසැකවම පරාජය විය යුතුය. ඒ දෙදෙනාම දෙවියන් හමුවේ පුද පඬුරු තබා යාඥ කළද දෙවියන් සලකා ඇත්තේ එක්‌ අයකුට පමණි.

සමානුපාතික ක්‍රමය යටතේ නම් අපේක්‍ෂකයන් ගණනාවක්‌ ජයග්‍රහණය කරවිය හැක. නමුත් සියලුම අපේක්‍ෂකයෝ දෙවියන්ට භාර හාර වූවොත් දෙවියන් මුහුණ දෙන්නේ බලවත් උභතෝකෝටිකයකට නොවේද? සමානුපාතික ක්‍රමය යටතේ වුවද සියලු අපේක්‍ෂකයන් ජයග්‍රහණය කරන්නේ නැත. 

එහිදී දෙවියන් අපේක්‍ෂකයන් කිහිප දෙනකුට සාධාරණයක්‌ ඉටුකර නැතැයි කියන්නට සිදුවේ. එසේ වූයේ පූජා වට්‌ටියෙහි තැබූ මුදල හෝ පලතුරු ප්‍රමාණයෙන් අඩුවූ නිසාද? එසේ නම් ඒ දෙවියා සාධාරණ දෙවියකු නොවේ.

අප මෙලෙස දෙවියන් ගැන සැක සංකා පහළ කළද දෙවියන්ගේ පිහිට පතන්නවුන් ප්‍රමාණය අතිවිශාලය. අපේ ලෙඩ දුකට විභාගයට, විවාහයට පිහිට වන්නට අදෘෂ්‍යමාන වූ දෙවිකෙනෙකුට පිළිවනැයි සිතන්නෝ බොහෝ වෙති.

දෙවියන් සහ මහජනයා අතර සබඳතාව ගොඩ නගන්නේ කපුවාය. දෙවියන්ගේ තැරැව්කරුවා ඔහුය. එහෙත් මේ තැරැව්කරුවන් කොපමණ දෙනෙක්‌ කොපමණ වාරයක්‌ තම පිහිට පතා පැමිණි අසරණයන්ට වංචා කර ඇත්ද? ආසන්නම සිද්ධියක්‌ සඳහන් කරමි.

මහලු ස්‌ත්‍රියකගේ නිවසෙහි අපලයක්‌ ඇතැයි විශ්වාස කළ ඇය ඒ අපලය දුරු කර ගැනීමට පුද්ගලයකු ලවා දේව පූජාවක්‌ තබා ඇත. දේව පූජාව පවත් වමින් සිටින අතරේ යකැදුරා කියා ඇත්තේ දැන් දැන් නිවසට දෙවියන් වඩින බවත්, නිවසෙහි ලයිට්‌ නිවා දමා සියලු දෙනා දෑස්‌ පියාගෙන අඳුරේ සිටිය යුතු බවත්ය. 

යකැදුරා අණ පරිදි නිවැසියෝ විදුලිය නිවා ඇස්‌ පියා ගෙන සිටියහ. මේ අතරේ යකැදුරා නිවසේ සිටි දොළොස්‌ හැවිරිදි ශිෂ්‍යාව කාමරයකට රැගෙන ගොස්‌ දූෂණය කළේය.

දැන් යකැදුරා රිමාන්ඩ් භාරයේ සිටී. නීතිය ක්‍රියාත්මක කරන්නේ පොලිසිය විසින් මිස දෙවියන් නොවේ. දෙවියන්ගේ සමහර තැරැව් කරුවන් එබඳුය. මේ දෙවියන් සම්බන්ධ කර ගත් එක්‌ සිද්ධියක්‌ පමණි. 

මෙලෙස දෙවියන්ගේ නියෝජිතවරු දේව මුවාවෙන් කාන්තාවන් දූෂණය කරන සිද්ධීන් බොහෝ විට වාර්තා වේ. ප්‍ර්‍රශ්නය වන්නේ තම තැරැව්කාරයෝ දූෂණයේ යෙදෙන විට දෙවියන්ද ලයිට්‌ නිවා ඇස්‌ පියාගෙන සිටියේද යන්නයි.

කතරගම දෙවිඳුන් විශ්වාස කරන බැතිමතුන්ගේ ප්‍රමාණය අති විශාලය. එහෙත් කතරගම දෙවියන්ගේ ආරම්භය ගැන නිශ්චිත අදහසක්‌ ඉදිරිපත් නොවේ.

එක්‌ කතාවකට අනුව කතරගම දෙවිඳු යනු කතරගම රජ කළ මහාසේන නම් රජෙකි. සෝවාන්වී සිටි මේ රජතුමා රුහුණේ ජනතාව දේවත්ව යෙන් සැලකූ අයෙකි. ඔහු මිය ගිය පසු දෙවියකුව ඉපදුනේ යෑයි ජනතා විශ්වාසය විය. 

දුටුගැමුණු රජතුමා දමිළ සංහාරය කොට තමාට විජයග්‍රහණය ලබා දෙන්නැයි අයෑද සිටියේ මේ මහසෙන් දෙවිඳුගෙනි. යුද ජයග්‍රහණය ලැබීමෙන් පසු දුටුගැමුණු රජතුමා මහසෙන් දෙවිඳුට උපහාර පිණිස කතරගම දේවාලය ඉදිකළ බව ජන ප්‍රවාදගත කතාවයි.

තවත් ප්‍රවාදයකට අනුව කතරගම දෙවියන්ට ද්‍රවිඩ සම්භවයක්‌ තිබේ. ඒ ප්‍රවාදයට අනුව කතරගම දෙවියෝ ඉන්දියාවේ මදුරාසියේ කන්දසාමි නමින් උපත ලත් අයෙකි. යුද්ධයෙහි දක්‍ෂයකු වූ කන්දසාමි ලංකාව යටත් කර ගැනීම පිණිස කිහිපවරක්‌ම පැමිණ පැරද ආපසු ගිය අයෙකි. 

ගුප්ත විද්‍යාධරයෙකු වූ ඔහු යුද වැදීම අතහැර කතරගම පෙදෙසට පැමිණ දැඩි ලෙස තපස්‌ රැක්‌මෙහි යෙදුණේය. වල්ලිඅම්මා සහ තේවානි අම්මා ඔහුට භාර්යාවෝ වූහ. ඔහුගේ මල්ලී මුත්තුලිංගම්ද ජීවත්ව ඇත්තේත් කතරගම වන අතර අද ගණ දේවාලය පිහිටා ඇත්තේ ඔහු විසූ තැන බව කියති.

මේ එකදු කතාවකින් හෝ කතරගම දේව උප්පත්තිය කවදා සිදුවිණිදැයි නොකියවේ. කියෑවෙන කාරණය වන්නේ කතරගම දෙවිඳුන් හාස්‌කම් ඇති අයෙකු බව පමණි.

දෙවියන්ට උප්පැන්න සහතික ඇති බවක්‌ අපි කිසිදා අසා නැත්තෙමු. එසේ නම් සැප්. 16 දා කතරගම දෙවියන්ගේ උපන්දිනය යෑයි දෛවඥයකු ප්‍රකාශ කළේ කුමන පදනමකින්ද? කතරගම දෙවියන්ගේ බර්ත් ඩේ එක ගැන ඇසූ පළමු අවස්‌ථාව මෙයයි.

කතරගම ඇසළ මහා පෙරහැරට නම් ඉතිහාසයක්‌ තිබේ. කතරගම පෙරහැර ගැන ඉතිහාසයේ ලිතව සඳහන් වන්නේ 1858 වර්ෂයේදීය. පෙරහැර ගැන වාර්තා තබා ඇත්තේ එකල ලංකාව පාලනය කළ බ්‍රිතාන්‍ය පාලකයන් විසිනි. 

ඉතා දුෂ්කර කටුක ප්‍රදේශයක්‌ වූ එවක කතරගම පෙරහැර සඳහා ඇතුළු වන්නට ඉඩදී තිබෙන්නේ ප්‍රවේශපත් සීමිත ප්‍රමාණයක්‌ බෙදාදීමෙනි. කොළරාව වැනි මාරාන්තික රෝග පැතිර තිබූ හෙයින් කතරගමට ඇතුළුවීමට ඉඩදී ඇත්තේ තුන්සිය ගණනක්‌ වැනි සුළු පිරිසකට පමණි.

කතරගම දෙවියන් කෙරෙහි අසීමිත භක්‌තියෙන් යුතු ඇතැමෙක්‌ භාරහාර ඔප්පු කර ඇත්තේ දේවාල භූමිය තුළදී සිය උගුරු දණ්‌ඩ කපා ගැනීම් වැනි ඉතා සාහසික ක්‍රියාවලිනි.

එහෙත් දේවාලයේ කතරගම දෙවිඳුගේ මුහුණ සයත් අත් දොළසත් ඇති තිරයට එහායින් තිබෙන්නේ කුමක්‌දැයි කිසිවෙකුත් නොදනිති. කතරගම දේවාලයේ ප්‍රකාශකයෙක්‌ සඳහන් කළ අන්දමට දේවාලය ඇතුළත තැන්පත් කර ඇති දෙය රහසකි. අවුරුදු 2240 ක්‌ තරම් පැරණි රහසකි. දේවාලය ඇතුළත තැන්පත් කර තිබෙන පූජනීය දෙය රහසකි.

ආදි නොදියුණු ගෝත්‍රික ජනයා අධික ලෙස අද්භූත දේ කෙරෙහි විශ්වාස කළහ. එහෙත් ලෝකය නවීකරණය වෙද්දී ඒ බොහෝ විශ්වාසයන් අහේතුක බව ලෝකයා දැන ගත්හ.

ලෝකය එවැනි දෘෂ්‍යමාන විද්‍යාත්මක නිරීක්‍ෂණයන් වෙත ගමන් කරද්දී අප තවතවත් අවිද්‍යාව කරා තල්ලු වන්නේ ඇයි? ලොව කිසිදා කොතැනකවත් දෙවියන්ගේ උපත ගැන සඳහන් නොවේ. නමුත් සැබෑ දෙවිවරුන්ගේ උපත සඳහන් වේ.

ඉන්දියානු ජනතාව මහත්මා ගාන්ධි සලකනුයේ දෙවියකු පරිද්දෙනි. මහත්මා ගාන්ධිගේ උපත, උපන්දිනය වාර්තා වී තිබෙන්නකි. ඒ ඔහු සැබෑ දෙවියකු වන හෙයිනි.

දෙවියන් පහළ වනවා මිස උපදින්නේ නැත. එසේ නම් කතරගම දෙවියන්ගේ උපන් දිනය සැකසුවේ කෙසේද? ශිෂ්‍යත්ව විභාගයටත් තෙල් මතුරා පෑනෙහි ගා දෙන මිථ්‍යාදෘෂ්ටියෙහි ගිළුණු සමාජයකට කතරගම දෙවියන්ගේ උපන්දිනය පහසුවෙන් ගිල්විය හැක.

එම උපන් දිනයේදී කතරගම දෙවියන් පෙනී සිටිතැයි ද ප්‍රකාශ කළ විට මිනිසුන් දෙවියන් දකින්නට යැම කිසිසේත්ම වරදක්‌ නොවේ. නමුත් දෙවියෝ මහ පොළොවට නොබැස්‌සාහ. දෙවියන් පෙනී නොසිටියේ ඇයි? මිනිසුන් සිතිය යුත්තේ එතැනිනි.

 
Related Posts with Thumbnails