Ads 468x60px

.

සැප්තැම්බර් 17 පේන්න එනවා කිවූ මංජුල පීරිස්ගේ කතරගම දෙවියො ඇවිත් ගිහින්ලු...


දෙවියො දැක්ක 
කියලා ලියුම් ආවා..

කතරගම දෙවියන් සැප්තැම්බර් 17 වැනිදා දෘශ්‍යමාන වන බවට‍ ලංකාවේ ප්‍රකට ජ්‍යෝතිර් වේදියකු වන මංජුල පීරිස් මහතා පැවැසූ අනාවැකියක් පිළිබඳ පුවත් කිහිපයක් මීට පෙර අප ඔබ වෙත ගෙන ආවා.

එහෙත් මංජුල පීරිස් මහතාගේ අනාවැකියට අනුව කතරගම පුද බිමට පැමිණි බැතිමතුන් සියලු දෙනාම පැවැසුවේ කතරගම දෙවියන් දෘශමානව නොදුටු බවයි. එදා දවස පුරා ඔවුන් කතරගම පූජා භූමියේ රැඳී සිටියත් කතරගම දෙවියන් දෘශ්‍යමානව දුටු කිසිවෙක් නොසිටි බව hot and fast news වන අපටත් වාර්තා වුනා.

කතරගම පුද බිමට පැමිණි බැතිමතුන් කතරගම දෙවියන් දෘශමානව නොදුටු බව පුන පුනා කීවත් මංජුල පීරිස් මහතා පවසන්නේ කතරගම පූජා භූමියට කතරගම දෙවියන් වැඩිය බවයි. ඒ පිළිබඳව මංජුල පීරිස් මහතා එක්තරා පුවත් පතකට සම්මුඛ සාකජ්ජාවක් ලබා දී තිබුනා.

එම සාකජ්ජාව පහතින්.

කතරගම දෙවියන්ගෙ නිල කැපකාරයා වෙච්ච කපුවාවත් නොකිව්ව කතාවක් ඔබ කිව්වා කියලා හරි ලස්සනට අනාගත්තා හරිද? වැරැදිද?

නෑ. ඒක අනාගැනිල්ලක් නෙවෙයි.

එහෙනම්, මොන ගැනිල්ලක්ද?

මං ආයිත් කියනවා ඇත්තටම මේක අනාගැනිල්ලක් නෙවෙයි.

එහෙනම්?

සමහර මාධ්‍ය වැරැදියට මේක තේරුම් ගත්තා. ඇත්තටම, තව පාරක් කිව්වොත් එහෙම අනාගැනිල්ලක් නෙවෙයි.

දෙවියො, ඒ කියන්නේ කතරගම දෙවියො වඩිනවා කියලා ඔබ කිව්වා මුළු රටටම ඇහෙන්න. ඒක රූපවාහිනී නාළිකාවකින් කිව්වා?

ඔව්.

ඔබට බෑ, නෑ කියන්න. මමත් ඒක ඇහුවා. මේ මගේ සාක්ෂිය ඔබ ප්‍රශ්න කරන වෙලාව. දෙවියො වැඩියෙ නෑ. ඒ ඇයි?

දෙවියන් අනිවාර්යයෙන් වැඩියා.

කොහාටද?

කතරගමට.

කොහොමද ඔප්පු කරන්නේ?

දෙවියෝ වැඩිය හින්දා තමයි එච්චර කැඹුරුමක් එතැන ඇති වුණේ.

එහෙනම් ඇයි දෙවියො නොදැක්කේ?

දෙවියො වැඩියා. සිල්වත් පුද්ගලයො දැක්කා. සමහර අය දැක්කෙ නෑ. ඒකට කාටවත් ඇඟිල්ල දික්කරලා වැඩක් නෑ. අනිවාර්යයෙන්ම දෙවියො වැඩියා.

එච්චරටම විශ්වාසයි?

ඔව්.

මොන වගේද?

ඉර හඳ වගේ විශ්වාසයි.

එතකොට කතරගම දෙවියො එදා දැක්කෙ පින් කරපු අය. නොදැක්කෙ පව්කරපු අය. ඒකද ඔබ කියන්නෙ?

යම් සීලවන්ත පුද්ගලයන්ට පෙනෙන බව මම පුන පුනා කිව්වා.

පුන පුනා ඒ මොනවද?

එදා ඔය බළන්ගොඩ ආන්නද මෛත්‍රිය හාමුදුරුවො කතරගමට වැඩම කරලා ගිනිමැලය තරණය කරන තැන ඉන්නකොට, මේ අපේ හාමුදුරුවො දැක්ක.

මොනවද?

පඬු වස්ත්‍රාභරණයෙන් සැරැසුණ තාපසයෙකුගේ මෙන් රුවක් ගිනිමැලය තරණය කරනවා. එතකොට ඒ වෙලාවෙ එතැන ඉඳපු කපු මහත්තයට කතාකරපු හාමුදුරුවො ඇහුව ඒ ගිනිමැලය තරණය කළේ කවුද කියලා. එතැනදි කපු මහත්තයා කලබල වුණා. මෙහෙම ඇහුවා. හාමුදුරුවෝ දැක්කද අපේ කතරගම දෙවියන්ව. එහෙනම් දරුවනේ ගිනි පාගන්න සූදානම් වෙන්න.

දැන් ඔය මොකක්ද කියන්න යන්නේ?

එදා දවස් තුන්සිය හැටපහේම පුද පූජා පවත්වපු අපේ සීලවන්ත කපු මහත්තයා දැක්කෙ නෑ.

කාවද?

කතරගම දෙවියො. ඒ වුණාට බළන්ගොඩ ආනන්ද මෛත්‍රිය හාමුදුරුවො දැක්ක. ඒ දාන, සීල, භාවනාවෙන් සම්පූර්ණ හින්දා.

අපි මේ ආත්මභවයේදි කොයිතරම් කුසල කෙරුවත්, අපි පෙර ආත්මභවයේදී කරපු අකුසලයක් හරි තිබුණොත් අපිට ඒ වගේ අවස්ථාවක් ලැබෙන්නෙ නෑ. ඒ වුණාට ඉතාම සීලවන්ත දාන, සීල, භාවනාවෙන් ඉන්න, මස්, මාංසයෙන් තොරව ඉන්න කෙනකුට කතරගම දෙවියො දකින්න පුළුවන්. මම වගේ...

කතරගම දේවාලේ, දෙවියන් වෙනුවෙන් කැපවෙලා ඉන්න කපුවා පින් කරලා තියෙනවද? පවු කරලා තියෙනවද?

සැබැවින්ම පින්වන්තයෙක්.

ඒ ඇයි?

අපි සිද්ධස්ථාන ගත්තොත් එහෙම අනුරාධපුරය, කතරගම, දෙවුන්දර, වගේ යම්කිසි වටිනාකමක් තියෙන සියලු ස්ථාන මුදුන් මල්කඩක් වගේ සලකලා ජනතාව සති ගණන් කල්වේලා අරගෙන වඳින්න පුදන්න යන අපේ දෙවිහාමුදුරුවන්ගේ දෙවොලේ අධිපතිකම දරන, දෙවියන්ට පුද පූජා තියන්න, ස්තෝත්‍ර කියන්න ලැබීමත් කොයිතරම් භාග්‍යයක්ද. පින්වන්ත කමක්ද? ඒකයි මං කපු මහත්තයා පින්වන්තයි කිව්වේ.

කලින් ප්‍රශ්නයට සම්බන්ධ කරලා තව උත්තරයක් දුන්නොත්, ජේ‍යාතිර් විද්‍යාවේ මගේ ගුරුපියාණන් වහන්සේ ඔය ප්‍රශ්නයට කදිම උත්තරයක් දීලා තිබුණා.

ඔය හදන්නෙ ඒක කියන්නද. සාක්ෂි විදියට. ඔව් මටත් සාක්ෂි ඕන. ඔයාට විතරක්ද?

ඒ 2013 සැප්තැම්බර් 27 සුබසෙත පත්තරෙන්.

මොකක්ද ඒ උත්තරේ?

අපේ ගුරු පියාණන් වහන්සේ කිව්වෙත්...

කවුද ගුරු පියා?

පියසේන රතුවිතාන මහතා. ඔහු කිව්වා වසරකට එක වතාවක් හෝ දෙවතාවක් අඟහරුවාදා දිනයක, අඟහරුගෙ නැකැතක අඟහරු හෝරාවේ අඟහරු පංචම කාල හෝරාවක් තිබෙන අවස්ථාවක කතරගම දෙවියො සියලු නර දරුවන්ගේ දුක් ගැහැටවලට සවන් දෙනවා. පිහිට වෙනවා.

ඒ කියන්නේ ඉතුරු දවස් 363ම එහෙම නෑ කියලද?

අනෙක් දවස්වලට දෙවියො කතරගම නෑ කියන එක නෙවෙයි ඒකෙන් කියන්නෙ. දැන් ශිව රාත්‍රිය, කතරගම පෙරහර, වගේ වෙලාවල කතරගම දෙවියන්ගේ ආකර්ෂණය අනෙක් දිනවලට වැඩිය හම්බවෙනවා. ඒ වගේ තමයි මෙදාටත් දේව ආකර්ෂණය හම්බවෙන්නේ.

අන්න එදාට පුද පූජා තියන පුද්ගලයා, තමන් මේ ආත්මභවයේදී කරපු කුසල්, වැළකී ඉඳපු අකුසල් සිහිපත් කරලා පැන් කළයකින් බෝධියට නාවලා, අධිෂ්ඨානයක් කරලා, දෙවියන්ට පූජා පවත්වා මට දෙවියන්ව දකින්න ඕන කියලා ප්‍රාර්ථනයක් කළොත් ඒ පුද්ගලයාට දෙවියන්ගේ මනෝකාය දකින්න පුළුවන් කියලයි මගේ ගුරු පියාණන් කිව්වේ. එය සත්‍යයක්.

ඒ ගුරුවරයාගෙ වචන. එතකොට කෝ ඔබේ වචන?

විශාල ලෙස වේළී තිබෙන පොළොවකට මහා වර්ෂාවක් වැහැලා පොළොව තෙත්වෙලා තියෙනකොට, පැළයක් හිටෙව්වහම ඒ පැළය සරුසාර වෙනවාක් මෙන් මේ දවසේ මේ මොහොත පුදුම ශක්තියක්, අනාගතයට යහපතක් ගෙන දෙනවා.

කතරගම දෙවියො දකින්න කතරගමටම යන්න ඕනද?

අවශ්‍යම නෑ.

එහෙනම් මොන එහෙකටද දෙවියො බලන්න කතරගමට එන්න කියලා මිනිසුන්ට කිව්වේ?

මම එදා පැවැසුවේ තමන්ට ධනය තියෙනවනම්, වාහන පහසුකම් තියෙනවනම්, යන්න පුළුවන් කෙනෙක් කතරගම ගියාට කමක් නෑ. නැත්නම් ගමේ පන්සලට ඕනම සිද්ධස්ථානයකට ඔබට ගිහිල්ලා අවශ්‍ය පුද පූජා තියලා, නැත්නම් පහනක් දල්වලා, ප්‍රාර්ථනයක් කරන්න පුළුවන්.

ඔච්චර කියන ඔබ කතරගම දෙවියො දැක්කද?

බොරු කියන්න බෑ.

කතරගම දෙවියො, සුදුද, රතුද, කළුද, උසද, මහතද, මිටිද මොන වගේද?

බොරු කියන්න බෑ.

එහෙනම් ඇත්ත?

මම කතරගම දෙවිහාමුදුරුවන්ව තවම දැකලා නෑ. හැබැයි මං පෙරුම් පුරනවා.

මොකටද?

කතරගම දෙවියන්ව දකින්න.

මොනවද කරන්නේ?

පින්දහම් කරන්නෙ ඒ හින්දා. ඒ මගේ උත්සාහයක්.

ඔය කරයි කියපු පව්කාරකම් ටික මකාගන්නද පින් කරන්න යන්නේ?

මේ ආත්මෙ කරපු කිසිම අකුසලයක් මට නෑ.

මං අහන්නෙ ගිය ආත්මෙ කරපු පව් ගැන?

අපි බෞද්ධයො. බෞද්ධයො හැටියට අකුසලයෙන් වැළැකී, කුසල් රැස් කිරීම තමයි කළ යුත්තේ. බුද්ධ දේශනාව ඒකයි. නමුත්, මේ සිදුවීම හරහා සමහර මාධ්‍ය මා ගැන විකෘති දේවල් කතා කළා. පළ කළා. මගේ සිත රිදුණා.

ඔබට එහෙම වුණේ ඇයි?

ඒ මම පෙර භවයේ කරපු යම් අකුසලයක් හින්දා වෙන්න ඇති. හැබැයි, දැන්නම් ඒක ගෙවිල ඉවරයි කියලා මට හොඳටම දැනෙනවා. හැඟෙනවා.

ඒ කොහොමද?

ඔබ ඇවිත් මා සමඟ කතාකර මේ වගේ ප්‍රකාශ ලබාගැනීම ගැනයි මම හිතුවේ.

ඔබට වැරැදිලා. මේ තමයි අපලෙ පටන්ගත්තු වෙලාව?

සල්ලි එපා. නිකම් බලන්නම් මට ඔයාගෙ කේන්දරේ දෙනවද.

ඇයි මොකටද?

ඔයා මොනවගේ මිනිහෙක්ද කියලා දැනගන්න.

හැම අවුරුද්දෙම කතරගම දෙවියො මේ විදියට වඩිනවද?

ඔව්.

එහෙනම් ඇයි කලින් අවුරුදුවල මේ විදියට මිනිසුන්ට මේවා කිව්වෙ නැත්තේ?

නෑ. මං කිව්වා. මේ නැකැත වසර කීපයක ඉඳලා මම මාධ්‍ය හරහා කිව්වා.

ඒ අවුරුදුවලත් ජනතාව දෙවියො බලන්න ගියාද? ඇයි එහෙනං මේ වගේ ගාලගෝට්ටියක් ඒ කාලෙත් නොවුණේ.

අපි හිතමු 2009 ගැන. එදා මගේ ළඟ හිටිය පිරිස, මගේ සේවය ලබාගත්තු පිරිස මගේ මාධ්‍ය සාකච්ඡා ගිය විදිය අනුව එදා හිටියට වැඩිය ජනතාවක් මගේ ළඟ අද ඉන්නවා. ඒක අවුරුද්දෙන් අවුරුද්ද වැඩිවුණා.

හේතුව?

මොකද මම හරි දේ සාධාරණව කරන හින්දා. දැන් 2013. එතකොට ඒ ගණන ඊටත් වැඩියි. සමහරවිට 2015 වෙනකොට ඒ හරහා ලක්ෂ කොච්චරක්ද කියලා මට හිතාගන්නවත් බැරිවෙයි. ඒ මගේ සාර්ථකත්වය. ක්‍රමවේදය.

2013 ගාලගෝට්ටියට හේතුව මම ටීවී නාළිකාවෙන් කියපු දේ සමහර මාධ්‍ය මඟින් වැරැදියට අවබෝධ කිරීම විකෘති කිරීම.

මොකද්ද මාධ්‍ය කරපු වැරැද්ද?

මාධ්‍යවල ගියේ සෑම කෙනාටම කතරගම දෙවියො පෙනෙනවා කියලා. ඒ වුණාට මම කිව්වෙ සීලවන්ත අයට පමණක් පෙනෙන බවයි.

කාගෙ කොන්ත්‍රාත්තුවක්ද මේ ඉටුකෙරුවේ?

මොකක්ද.

කාගෙ කොන්ත්‍රාත්තුවක්ද මේ ඉටු කෙරුවේ?

ඇත්ත වශයෙන්ම මෙහි කිසිම කොන්ත්‍රාත්තුවක් නෑ. එච්චර ජන ගඟක් ගියා කියලා මම දැනගත්තෙත් මාධ්‍ය හරහායි.

දේවාලේ කපු මහත්තයා ඔබට කොමිස් කොච්චර දුන්නද?

මං ගැන යම් කෙනෙක් එබඳු සිතුවිල්ලක් හරි සිතුවනම්, අවීචි මහා නරකාදියෙ යන පාපයක් කරගත්තයි කියලයි මම හිතන්නේ. මම ඒ තරම් පිරිසුදු පුද්ගලයෙක්.

දැන් මම ඒ ප්‍රශ්නෙ ඇහුවා. එතකොට මම දැන් අවීචි මහා නරකාදියට යනවා. ඔබ කියන විදියට.

ඔබ ජනතා නියෝජිතයෙක්. ඔබ ඇසුවේ ජනතාවගේ ප්‍රශ්නයක්. ඒ නිසා මේ දේට, මේ වචනෙට ඔබගේ කිසිම හවුලක් නෑ.

එහෙනම් ඔය කියන විදියට අර ජනතාව අවීචි මහා නරකාදියට යයි. ඒකද ඔබේ සන්තෝෂය. ප්‍රාර්ථනය?

අපොයි නෑ. මම කතරගම දෙවියන් වෙනුවෙන් ලැබෙන යම් දෙයක් මා ඒ විදියට ගත්තා යැයි කවුරුන් හෝ සිතුවානම්, ඒ අය ගැනයි මම කිව්වේ.

මම දැන් අහන්නෙ දෙවියො ගැන නෙවෙයි. අර මල්කඩ, හෝටල්, පූජා භාණ්ඩ කඩ, ගෙස්ට් හවුස්, රූම්ස්, වාහන පාර්කින්, අන්න ඒ අයගෙන් කොච්චරක් කොමිස් ඔබට ලැබුණද?

කතරගමින් මම දූවිල්ලක තරම්වත් දෙයක් අරගෙන නෑ.

මම ඇහුවෙ දූවිලි ගැන නෙවෙයි සල්ලි ගැන.

තඹ පිච්චියක්වත් අරන් නෑ.

තඹ පිච්චි තිබුණේ ඒ කාලෙ. දැන් තියෙන්නේ නෝට්ටු, කාසි. දාහ, දෙදාහ, පන්දාහ, බැබළෙන නෝට්ටු?

මම තඹ පිච්චිය කියලා කිව්වේ වටිනාකම හඟවන ඕනම දෙයක් අරගෙන නැති බව කියන්න.

ඔබේ ස්විස් බැංකු ගිණුමේ අංකය මොකද්ද?

මොකක්ද?

අර පිටරට ස්විස් බැංකුවේ තියෙන ගිණුමේ අංකය?

ඔයා සී. අයි. ඩී.යෙන්ද?

ඊටත් එහා අංකය?

මම ලංකාවේ තියෙන බැංකුවල ගනුදෙනු කරන ගනුදෙනුකරුවෙක් පමණයි.

සතියේ දවස් හතම හම්බවෙනවද මිනිස්සු?

සතියට දවස් පහයි මිනිස්සු හම්බවෙන්නේ.

ඉතුරු දෙක?

මට ටී. වී. නාළිකාවල වැඩසටහන් තියෙනවා. මටත් විවේකයක් කියලා දෙයක් තියෙන්න ඕන.

දවසට කී දෙනෙක් එනවද?

දවසට මම පවුල් දහයකට. ‍ෙදාළහකට මම මගේ සේවය ලබාදෙනවා.

එක් කෙනෙක්ගෙන් කීයක් ගන්නවද?

ඔයා ඉන්කම්ටැක්ස් එකෙන්ද?

එක්කෙනෙක්ගෙන් කීයක් ගන්නවාද?

ඒක මම මාධ්‍යයට කියන්න කැමැති නෑ.

එතකොට පිළිකා රෝහලට යවනවා කියලා කිව්වෙ මොකටද කට්ටිය?

යම් වැඩසටහනක මාව නිරපරාදෙ විවේචනය කරන බව දැනගත්තා. ඒ වෙලාවෙ මම කිව්වේ මහරගම පිළිකා රෝහලක් තියෙන බව දැනගෙන අදහස් ප්‍රකාශ කරන්න. බොරුවට මඩ ගහන්න එපා. බොරුවට අපහාස කරන්න එපා. මොකද, අපි වරදක් කරලා තියෙනවනම් තමයි නිශ්ශබ්ද වෙලා ඉන්න ඕන. වරදක් නොකරපු හින්දා මට පුළුවන් ඕන විදියකට උදේ හවා සාප කරන්න.

ඒ කියන්නෙ සාප කරලා පිළිකා හදන්න ඔබට පුළුවන්?

බෑ. නෑ. මෙතැනදි එහෙම කියනවා නෙවෙයි.

එහෙනම් යවනවා කිව්වෙ පිළිකා රෝහලට?

මම කිව්වේ පිළිකා රෝහලක් තියෙනවා කියලා මතක තියාගන්න කියලයි.

ඒ මතක තියා ගැනීමේ අනතුරු ඇඟවීම මොකද්ද?

කෙනකුට කවදාවත් බොරුවට අපහාස කරන්න නරකයි. මඩ ගහන්න නරකයි කියන එක. මමයි දන්නෙ මගේ තියෙන පිවිතුරුකම. මමයි දන්නෙ මගේ තියෙන සිල්වත්කම.

ඔය දෙක කොහේද තියෙන්නේ?

ඒක තියෙන්නේ මා තුළ. මොකද මෙහේ එන ජනතාව දන්නවා මම කවුද කියලා. ඒ හින්දා මම දන්නවා මම පිරිසිදු පුද්ගලයෙක්. මම රටේ ලෝකේ සිද්ධවෙන දේවල් අල්ලගෙන මා පසුපස මෙහෙම එළව එළවා පහරදීමත් ඉතාමත් අසාධාරණයි.

ඔය කියන විදියට පිළිකා රෝහලේ ඉන්නෙ සාපකරපු, අපහාස කරපු, බොරුවට මඩ ගහපු කට්ටියමද?

මගේ හැමදෙයක්ම වැරැදි කෝණයකින් බලන්න එපා. වැරැදි තැනකින් අල්ල ගන්න එපා. එච්චරයි මට කියන්න තියෙන්නේ.

කතරගම හුටපටයෙන් පස්සෙ බිස්නස් වැඩි වුණාද?

2014 දෙසැම්බර් වෙනකම් මගේ දින බුක්වෙලා ඉවරයි. මේ තියෙන්නේ බුකින් පොත.

ඒ කට්ටිය මුදල් ගෙවලද?

නෑ. නෑ. මම මුදල් ගන්නෙ ඒ අයගෙ කේන්දර බැලුවට පස්සෙ. මම ඒ අයගෙන් බුකින් ගාස්තු ගත්තෙ නෑ.

කොහොමද ඔප්පු කරන්නෙ?

මෙන්න ටෙලිෆොන් නම්බර්. මේ අයට, බලවගත්තු අයට කතා කරන්න. මං ඒකට අවසරය දෙනවා.

ඒක මාර මාර්කටින් පාරක් නෙවෙයි නේද?

නෑ. කිසිසේත්ම නෑ. ජනතාව සාක්ෂි දරයි.

කතරගම වැඩේට මිනිස්සු බනිනවාද?

අපොයි නෑ. හොඳ කියනවා. දෙවියො දැක්ක කියලා ලියුම් ආවා. මේ බලන්න. මෙන්න ෆෝන් එක. ඔයාම කතා කරලා බලන්න.

මටත් පුළුවන් ඔය වගේ බුකින් පොත් හදන්න. ඔය වගේ ලියුම් ලියවගන්න?

ඔය වගේ දේවල් ජනතාවට කියලා හදවගන්න මට වෙලාවක් නෑ. ඒ තරම් මම කාර්යබහුලයි. මට අවශ්‍ය වෙන්නෙ මම ගාවට එන අයට සාධාරණය කරන්න. ඒ අය යහමඟට යවන්න. මම ඒ දේ හරියටම කරනවා.

මේ ප්‍රශ්නෙට කොටස් දෙකයි. එක ඔබේ වත්කම්. මේ රස්සාව පටන් ගන්න ඉස්සෙල්ලා තිබ්බ වත්කම් මොනවද? දෙක මේ දැන් ඔබේ වත්කම් මොනවද?

ඔයා රස්සාවක් කරන්නෙ වැටුපක් ලබන්න. කෙනෙක් ව්‍යාපාරයක් කරන්නෙ දියුණු වෙන්න. මුදලක් උපයන්න. මමත් ඉතාම සාධාරණව කරන රස්සාවක් මේක. ගන්න මුදලට මම ලොකු සේවයක් කරනවා. ඉතිං මම හම්බ කරනවා.

කොච්චරක්ද?

ඔයාට මොකටද? මට හිතුණොත් අද රෑටත් කට්ටිය ගෙන්නගෙන කේන්දර බලනවා. මම නිදිමරාගෙන හම්බකරනවා. එක දිගට. හැමදාම. ඒක කාටවත් රුදාවක් ගන්න තරම් ප්‍රශ්නයක් නෙවෙයි. එච්චරයි.

එහෙම බෑ. මේ අන්තිම ප්‍රශ්නය. එදා කතරගමට ඇවිත් දෙවියො දැක්කෙ නැත්තේ පව්කාර මිනිස්සුද?

නෑ. ඒ අය මේ ආත්මෙ පින් කරපු අය. ඒ පින පලදුන්න හින්දා තමයි එදා කතරගම දෙවියන්ගෙ අඩවියට යන්න වාසනාව ලැබුණේ.

එතකොට දෙවියො නොදැක්කේ?

මං කිව්වනෙ. පෙර ආත්මෙක කරපු යම් අකුසලයක් තියෙන්න ඇති. මොකද පිනත් එක්කම පවත් පලදෙනවනෙ. හැබැයි ඒ අයගෙ අකුසලයත් එදායින්ම ඉවර වුණා. දැන් ඉතිං මේ ආත්මෙ පින ලබන ආත්මෙට පලදේවි. ඒ හින්දා ලබන ආත්මෙ දෙවියෝ බලන්න පුළුවන් වෙයි.

අපගේ පෙර පුවත්
සැප්තැම්බර් 17 කතරගම දෙවියො පේන්න එනවා කියලා කියන කතාව ඇත්තක්ද? 
කතරගම දෙවියන්ගේ බර්ත් ඩේ එක ගැන ඇසූ පළමු අවස්‌ථාව...
කතරගම දෙවියන් ජීවමාන වන බවට කියූ මංජුල පීරිස්ගේ හතර වරං මෙන්න
සැප්තැම්බර් 17 පේන්න එනවා කිවූ මංජුල පීරිස්ගේ කතරගම දෙවියො කෝ..?
 
Related Posts with Thumbnails