Ads 468x60px

.

බෝතල් පාටියෙන් පසු ලක්ෂ දෙක හමාරකට ආසාවෙන් මුළු පවුලක්ම මරා දැමු ලග්ගල අයියා...


සර්, සර්, 
ජීප් එක 
නවත්වන්න

අර,අර 
ඉන්නේ 
සර්ල 
හොයන 
මිනිහා

අනුරාධපුර විහාර පාළුගම ප්‍රදේශයේ පුද්ගලයන් 05 දෙනකු කපාකොටා ඝාතනය කිරීම සම්බන්ධයෙන් දැනට අත්අඩංගුවට පත් වී සිටින හිටපු යුද හමුදා සෙබ ලෙකු වන ජගත් කුමාර නැමැත්තා තම යාහළුවා සමග එම පවු‍ලේ පස්දෙනා ඝාතනය කිරීම සම්බන්ධයෙන් පා‍පොච්චාරණය කර ඇති පුවතක් මීට පෙර අප ඔබ වෙත ගෙන ආවා.

මෙම බිහිසුණු සමූහ ඝාතනයේදී  මව්වරුන් දෙදෙනකු සහ දරුවන් තිදෙනකු කපා කොටා මරා දමා තිබුණා. ඒ අයගෙන් තිදෙනකුම එකම පවු‍ලේ මව සහ දරුවන්ය. අනෙක් දෙදෙනා එම මවගේ සහෝදරිය සහ ඇගේ දරුවාය.

මුළු රටේම අවධානය මෙම ම්‍ලේච්ඡ අපරාධය දෙසට යොමු වූයේද නිතැතිනි. මෙම ඝාතනයට වගකිව යුත්තේ කවුරුන්ද යන්න කා තුළත් මහත් කුතුහලයක් ජනිත කළ කාරණයක් වුණා.

කෙසේ වෙතත් මෙම කුතුහලය නිමා කරගන්නට එතරම් කාලයක් බලා සිටීමට අවශ්‍ය නොවුණා.

ඒ අපරාධ විමර්ශනයන් සම්බන්ධයෙන් ලොවපුරා කීර්ති නාමයක් දිනා සිටින ස්කොට්ලන්ඩ්යාඩ් ‍පොලීසියටද නොදවෛනි ලෙස ක්‍රියාත්මක වූ අනුරාධපුර ‍පොලීසිය එම සමූහ ඝාතනය සිදුවී පැය 12 ක් ගතවන්නටත් මත්තෙන් සැකකරුවා කොටුකරගන්නට සමත්වීම හේතු කොටගෙනය.

මුළු රටේම අවධානය විහාරහල්මිල්ල කුලමට යොමු කළාවූ එම සමූහ ඝාතනය ගැන ‍පොලීසියට දැනගන්නට ලැබෙන්නේ එදින උදෑසන 7.00 ට පමණය. 

 අසල්වාසීන් ‍පොලීසියට ඒ බව දැනුම් දෙන්නේ එකී ප්‍රහාරයෙන් දිවි ගැලවී බරපතළ තුවාල සහිතව, සිහිසුන්ව සිටි නිවෙස් හිමියා අනුරාධපුර රෝහලට රැගෙන යමින් සිටියදීය. කේ.ඒ. පියදාස නම්වූ හතළිස් හැවිරිදි ඔහු තවමත් සිටින්නේ අනුරාධපුර රෝහ‍ලේ දැඩි සත්කාර ඒකකයේය. 

ඒ ජීවිතයත් මරණයත් අතර සටනක නියැළෙමිනි. ඝාතනයට ලක්වූවන් අතර ඔහුගේ බිරිඳ ඉන්දුමතී ශ්‍රියානිද සිටින්නීය. ඝාතනයට ලක්වන ඔවුන්ගේ දියණිය දහතුන් හැවිරිදිය. ඇය තක්ෂිලා කුමුදු කුමාරිය. පියදාසගේ පුතාද ඝාතනයට ලක්වූවන් අතර සිටියි. සුමිත් උදය කුමාර නම් වූ ඔහු විසිතුන් වියැතිය. 

මේ අයට අමතරව මෙහිදී ඝාතනයට ලක්වන සෙසු දෙදෙනා වන්නේ  පියදාසගේ බිරිඳගේ වැඩිමහල් සහෝදරිය වන පී.ප්‍රේමාවතී සහ ඇගේ පුතා වන ප්‍රියන්තය. ඒ දෙදෙනා මෙම නිවසට පැමිණ ඇත්තේ  ඊට පෙර දිනයේය. 

ඒ හසලක කොටියා‍පොළ පිහිටි තමන් පදිංචිව සිටි ගේ දොර ඉඩකඩම් විකුණා දමා විහාරහල්මිල්ලෑවෙන් ඉඩමක් සමග නිවසක් මිලට ගෙන පදිංචියට සූදානමිනි. ගේ දොර ඉඩකඩම් විකුණා දමා ඒ අය එහි එන්නේ ප්‍රේමවතීගේ සැමියා මියයාමෙන් පසු තවදුරටත් එහි පදිංචිව සිටිය නොහැකි තැනය. 

ඔවුන් පැමිණ ඇත්තේ ගේ දොර විකුණා ලබාගත් රුපියල් තුන්ලක්ෂ විසිපන් දහසක මුදලක් ද රැගෙනය. විහාරහල්මිල්ල කුලමෙන් නිවසක් සමග ඉඩම් කැබැල්ලක් ඔවුන් මිලදී ගන්නට සූදානම් වන්නේ  එම මුදලිනි.

හසලකින් ඒ අය තමන්ට අයත් බඩු මුට්ටුද පටවාගෙන ලොරි රථයක නැගී අනුරාධපුරය බලා පිටත්වන්නේ 04 වෙනිදාය. ලොරි රථයේ රියැදුරාත් රිය සහයකයාත් ප්‍රේමාවතීත්, ප්‍රියන්තත් හැරුණු කොට තවත් එක් අයෙක් ලොරියේ සිටියේය. ප්‍රියන්තගේ මිතුරෙකු වූ ඔහුව ප්‍රියන්ත හඳුන්වනු ලැබුවේ ‘ලග්ගල අයියා’ ලෙසිනි.


ප්‍රේමාවතීටත් ප්‍රියන්තටත් එදින රැය පහන් කරන්නට සිදුවන්නේ පියදාසගේ නිවසේය. ලග්ගල අයියා යැයි කී ප්‍රියන්තගේ මිතුරාද එදා එහි නතර වන්නේ ඔවුන් මිලදී ගන්නට සිටි ගේ දොර අස්පස්කර දී පසු දින නැවත යන බව කියාය.  


එදා රෑ ප්‍රියන්ත බෝතල් පාටියක් සංවිධානය කරනුයේ හසලක සිට විහාරහල්මිල්ල කුලමේ පදිංචියට පැමිණීමේ සතුට සමරන්නටය. මිදු‍ලේ පැවැති ඒ සාදයට පියදාසත්, ඔහුගේ පුතාත්, ප්‍රියන්තත් එකට එක්වන්නේ ඥාති සම්බන්ධකම් මදකට අමතක කර දමාය. 


ඒ අය හැරුණු කොට එම සාදයට ලග්ගල අයියාද, ප්‍රියන්තලාට නව නිවසක් සොයා දෙන්නට බ්‍රෝකර් කටයුත්ත කළ ගම්වැසියෙකුද, අනුරාධපුරයේ සිටින ප්‍රියන්තගේ මිතුරෙකුද සහභාගිවී සිටියේය. 

ප්‍රේමවතීගේ බාල සහෝදරයා පදිංචිව සිටින්නේ ද ඒ ආසන්නයේ නිවසකය. ඔහුද ඒ වන විට ගමේ තරුණයන් කිහිපදෙනෙකු සමග නිවස ඉදිරිපිට ගසක් පාමුල රැඳී සිටියේ සප්පායම් වෙමිනි.

එදා ඔවුන් හොඳ හැටි පදම්වී නින්දට යන්නේ මැදියම් රැයේදීය. පසුදින ඝාතනයට ලක්වන්නේ එදා නිරුපද්‍රිතව නින්දට ගිය නිවැසියන්ය. එහෙත් ඒ අතර ලග්ගල අයියා නොවීය. 


හසලක ඉඩම විකුණා රැගෙන ආ මුදල්ද නිවසේ නොවීය. ඒ අනුව සමූහ ඝාතනයේ සැකයට භාජනය වන්නේ ඔහුවය. එහෙත් ඒ පුද්ගලයා කාගේ කවුදැයි කියාවත් කිසිදු තොරතුරක් නොවීය. 

එබැවින් ඒ ගැන සොයා බැලීමේ වගකීම පැවැරෙන්නේ අනුරාධපුර මූලස්ථාන ‍පොලිස් ස්ථානාධිපති ප්‍රධාන ‍පොලිස් පරීක්ෂක තිස්ස විතාන, අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන ‍පොලිස් පරීක්ෂක ප්‍රභාත් ගාල්ලගේ, අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ‍පොලිස් පරීක්ෂක එම්.එස්.කුමාරසේන ඇතුළු ‍පොලිස් කණ්ඩායමකටය. 

ඒ උතුරුමැද පළාත් භාර ‍‍‍ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ‍පොලිස්පති රවී විජේ ගුණවර්ධන, නියෝජ්‍ය ‍පොලිස්පති රන්ජිත් පද්මසිරි සහ  ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මහේෂ් සේනාරත්න යන මහත්වරුන්ගේ උපදෙස් මතය.

ලග්ගල අයියා කවුරුන්දැයි හඳුනා ගන්නට මෙහිදී විමර්ශකයන් මුලින්ම සහය පතන්නේ පෙරදින රාත්‍රියේ මත්පැන් සාදයේ රැඳී සිටි ප්‍රියන්තගේ අනුරාධපුරයේ මිතුරාගෙනි. ඒ මිතුරාද ලග්ගල අයියා කවුරුන්දැයි දැන සිටියේ නැත. නමුත් මත්පැන් බොමින් ලග්ගල අයියා කළ කී දෑ ගැන යම් මතකයක් ඔහුට තිබුණේය. 


ලියාපදිංචි නොකළ ත්‍රිරෝද රථයක් පදවාගෙන පෙම්වතිය සමග දඹුල්‍ලේ වන්දනාවේ යමින් සිටියදී  ටික කලකට ඉහත දිනක බකමූණ ‍පොලීසියට හසුවී හිරේ විලංගුවේද වැටී සිටියේ යැයි ලග්ගල අයියා කී බවක් ඔහුට මතක තිබිණි.

ලග්ගල අයියා සොයා විමර්ශකයන් සිය මෙහෙයුම දියත් කරන්නට වූයේ එකී තොරතුර මුල්කරගෙනය. 


මේ අවුරුද්දටම බකමූණ ‍පොලීසියට හසුවී ඇත්තේ ලියාපදිංචි නොකළ එක් ත්‍රිරෝද රථයක් පමණි. ඒ පුද්ගලයා නම්බුකාර ගමගේ ජගත් කුමාරය. තිස්එක් වියැති ඔහු ලග්ගල ගොමහංදියේ කළුගඟ නම් වූ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. විමර්ශකයන් විශ්වාස කරන්නට වූයේ ලග්ගල අයියා කියන්නේ ඔහු විය හැකි බවය.

එතැන් සිට ඔහු ගැන වැඩි තොරතුරක් හඹායාමේ කටයුත්ත ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මහේෂ් සේනාරත්න මහතා පවරන්නේ ප්‍රමුඛතම ‍පොලිස් බුද්ධි අංශයක් වන විශේෂ විමර්ශන කාර්යංශයේ මාත‍ලේ ‍පොලිස් ඒකකයටය. 


එම ඒකකයේ බුද්ධි නිලධාරීන් ජගත් කුමාර පදිංචිව සිටින්නේ යැයි සඳහන් ලග්ගල කළුගඟ ලිපිනය සොයා ගියද එහි කැලෑවට ගිය ඉඩමක් හැරුණු කොට මිනිස් පුළුටක් නොවීය. ඒ වෙන කිසිවක් නිසා නොව ඒ තැන තිබුණු කටුමැටි ගැසූ නිවස බිමට සමතලා වී ගොස් තිබූ බැවිනි. 

ඒ නිවසේ ජීවත්ව සිට ඇත්තේ අඹුසැමි යුවලක් සහ ඔවුන්ගේ දරුවන් දෙදෙනාය. එම දරුවන්ගේ මව දරුවන් කුඩා කල පටන් සිටින්නේ පිටරටය. පියා කලකට පෙර මියගොසිනි. වැඩිමල් දරුවා විවාහකය. 

බිරිඳ ඔහුව අතහැර ගොස් ඇත්තේ කලකට පෙරය. ඒත් සමගම ඔහු ඒ ඉඩම මැණික් ගරන්නෙකුට උකස්කර ඒ මුදල්ද රැගෙන ගමෙන් යන්නේ නැවත ගමට නොඑන්නටය.  අදටත් ඔහු සිටින්නේ කොහේදැයි කිසිවෙකුත් දන්නේ නැත. 

ජගත් කුමාර පවු‍ලේ බාලයාය. යුද්ධය දරුණුවටම පැවැති වකවානුවේ හමුදා සේවයට ගිය ඔහු ඒ වන විට සිටියේ හමුදාවෙන් පලා ඇවිත්ය. තැන තැන සැඟවුණු ජීවිතයක් ගත කරන ඔහු සිටින ස්ථානයක් ගමේ කිසිවෙකුවත් දැන සිටියේ නැත.

අනුරාධපුරයේ විමර්ශන කණ්ඩායම ඉකුත් ඔක්තෝබර් 08 වෙනිදා ඔහු බකමූණ ‍පොලීසියට කොටුවන විට පදවාගෙන යමින් සිටි ත්‍රිරෝද රථයේ ලියාපදිංචි විස්තර ලබාගෙන, තවත් පැත්තකින් ජගත් කුමාර සොයා මෙහෙයුමක් දියත්කරන්නට විය. 


ත්‍රිරෝද රථයේ ලියාපදිංචි අයිතිකරු වූයේ කාන්තාවකි. ඇය හසලක පැත්තේය. රුපියල් 60,000 ක මූලික ගෙවීමක් කර කල්බද්දට  ඒ ත්‍රිරෝද රථය මිලටගෙන තිබුණේ සැප්තැම්බර් 30 වෙනිදාය.

ලියාපදිංචි තොරතුරු ඔස්සේ විමර්ශකයන් ජගත් කුමාර පසුපස එසේ පන්නමින් සිටින අතරතුර මහේෂ් සේනාරත්න මහතා හසලක ‍පොලිස් ස්ථානාධිපති ප්‍රධාන ‍පොලිස් පරීක්ෂක රුවන් කුමාරට දැනුම් දෙන්නේ 04 වෙනිදා හසලකින් අනුරාධපුරයට නිවසක බඩු රැගෙන ගිය ලොරි රථය සොයා ගන්නා ලෙසය.


එසේ සොයාගත් ලොරි රථයේ රියැදුරාගෙන් ප්‍රශ්න කරන්නට වූයේ පෙර දින ඔවුන් සමග ගමන් කළ ලග්ගල අයියා ලෙස හඳුන්වනු ලැබූ ජගත් ගැනය. ඒ වන විට විහාරහල්මිල්ල කුලමේ සමූහ ඝාතනය පිළිබඳව කිසිවක් රියැදුරා දැන සිටියේ නැත. එසේම ඔහු ජගත් සමගද දැන හැඳුනුම්කමක් නොවීය. ජගත්ව ඔහුද දැක තිබුණේ එදාමය. 


ඒ ගැන මහේෂ් සේනාරත්න මහතා දැනුවත් කළ රුවන් කුමාරට නැවතත් ඔහුගෙන් උපදෙස් ලැබෙන්නේ රිය සහයක සොයාගෙන ඔහුගෙන්ද ප්‍රශ්න කරන ලෙසය. එදා ඔහු ලොරියේ වැඩට පැමිණ සිටියේ නැත. 

ඒ නිසා හසලක ටවුමට ඔහු පැමිණෙන තුරු රුවන් කුමාර බලා සිටියේය. සවස දෙක තුන වන විටත් ඔහු නගරයට නොපැමිණි බැවින් රුවන් කුමාර මහතා ජීප් රථයේ නැගී ඔහු සොයා යන්නේ මහේෂ් සේනාරත්න මහතාගේ උපදෙස් මතය. 

ඒ ගිය ඔහු රිය සහයකයාව ජීප් රථයේ දමාගෙන ‍පොලීසියට පැමිණෙන්න ට වූයේ  අනුරාධපුරයට පෙරදින ගිය ලග්ගල අයියා ගැන ප්‍රශ්න කරමිනි. ලග්ගල අයියා නමින් එදා ඔහුව දැන හඳුනාගත්තා මිස ඔහු ගැන කිසිවක් නොදන්නා බව රිය සහයකයා පවසන්නට වූයේ දස අතේ දිවුරමිනි.

එවිට වේලාව සවස හතරට පමණ ඇත. ජීප් රථය ඒ වනවිට නගරය හරහා ‍පොලිස් ස්ථානය වෙත ගමන් කරමින් තිබිණි. “සර්, සර්, ජීප් එක නවත්වන්න” රිය සහයකයා එකවරම කෑමොර දෙන්නට වූයේ “අර ,අර ඉන්නේ සර්ල හොයන මිනිහා” යැයි කියමිනි. 


ඒත් සමගම ජීප් රථය ඔහු සිටි තැනට වේගයෙන් ළංකර ගත් රුවන් කුමාර ඔහුව අල්ලා ජීප් රථයට නංවා ගන්නේ අහම්බෙන් වුවත් හසුවූ ගොදුර ගිලිහී යන්නට ඉඩ නොදීය.

“සර් මම නමෛයි ඒ අයව මැරුවේ.” ‍පොලිස් ස්ථානයට රැගෙන ගොස් ප්‍රශ්න කරන්නටත් මත්තෙන් ජගත් කුමාර ජීප් රථයේ සිටම පවසන්නට වූයේය. 


ඒ එම සමූහ ඝාතනය පියදාසගේ බිරිඳ වූ ඉන්දුමතීගේ බාල සහෝදරයා සහ බ්‍රෝකර් විසින් කරන ලද බවට දීර්ඝ පා‍පොච්ඡාරණයක් කරමිනි. නමුත් ජගත් කුමාරගේ ඒ පා‍පොච්ඡාරණය ව්‍යාජ එකක් බව අනාවරණය වන්නේ පසුව ජගත් කුමාරගෙන්  කෙරුණු දැඩි ප්‍රශ්න කිරීම් හමුවේය.

මෙම සමූහ ඝාතනයන් සිදුවන විට ජගත් සහ  ප්‍රියන්ත එකිනෙකා දැන හඳුනාගෙන  එතරම් දීර්ඝ  කාලයක් ගතවී නොතිබිණි. දෙදෙනා දැන හඳුනාගෙන ඇත්තේ බකමූණ සහ හසලක අතර දිවෙන පෞද්ගලික බස් රථයකදීය. 


ප්‍රියන්ත එම බස් රථයේ කොන්දොස්තරවරයෙකු ලෙස සේවය කර තිබිණි. දිනක් ඒ බස් රථයට ගොඩවන ජගත් බස් රථයෙන් බසින්නේ ප්‍රියන්ත අත කොළ කැබැල්ලක් තබා එය බස් රථයේ සිටි තරුණියකට දෙන ලෙස පවසාය. එම කොළ කැබැල්‍ලේ වූයේ ජංගම දුරකථන අංකයකි. ඒ ජගත්ගේය. 

බස් රථයේදී අහම්බෙන් දුටු ඒ තරුණියට ඔහු දුරකථන අංකය ලබා දෙන්නට හිතෙන්නේ ඇය කෙරෙහි ඇතිවුණු ආකර්ෂණය හේතුවෙනි. ජගත්ගේ හිත ගිය ඒ තරුණිය ප්‍රියන්තගේ පෙම්වතියගේ වැඩිමහල් සහෝදරියය. ජගත් ඒ බවක් දැන සිටියේද නැත. ඇය දරුවන්ද සිටින විවාහක කතකි. 

නමුත් ඇය බසයෙන් බසින විට ප්‍රියන්ත අතවූ කොළ කැබැල්ලද රැගෙන බසින්නේ ජගත් ඒ කොළ කැබැල්ල ප්‍රියන්තගේ අතට දෙන විට, එය ඔහුගෙන් ලබා ගන්නා ලෙස ඇයට ඉඟියක් කර තිබූ බැවිනි. ඒ කොළ කැබැල්‍ලේ වූ දුරකථන අංකයට ඇය ඇමතුමක් ගන්නේ අනියම් සම්බන්ධයකට මුල පුරමිනි.

ලග්ගල පැත්තේ පතලක හවුලකින් රුපියල් අනූදහසක් ජගත් අතට ලැබෙන්නේ මේ අතරතුරදීය. ඇගේ නමින් ත්‍රිරෝද රථයක් ඔහු මිලදී ගන්නේ එම මුදලිනි. බකමූණ ‍පොලීසියට ඔහු කොටුවන්නේ ඇය සමග එම ත්‍රිරෝද රථයේ නැගී දඹුලු වන්දනාවේ යමින් සිටියදීය. 


බන්ධනාගරගතවූ ජගත්ගේ සුවදුක් විමසා බලන්නට ‍පොළොන්නරුව බන්ධනාගාරයට යන්නේත්, ඔහුට ඇප දී ඉකුත් ඔක්තෝබර් 21 වෙනිදා නිදහස් කරගන්නට මුල්වන්නේත් ප්‍රියන්තය. ඒ මාස එකහාමාරක හිතවත්කමක ප්‍රතිඵලයක් ලෙසිනි.

පරීක්ෂණවලින් හෙළි වී ඇති ආකාරයට මෙම ඝාතන සිද්ධිය වූ දින  ඔහු අනුරාධපුරයට ඇවිත් ඇත්තේ ප්‍රියන්ත සමග ඇති හිතවත්කම නිසා වුවත් මුළු පවුලක්ම මරා දමන්නට සිතුවිල්ලක් ඇති වන්නේ ගේ දොර විකුණ මුදල් ප්‍රියන්ත අත ඇති බව දැන ගැනීමත් සමගිනි.  


ඒ නිසාම ඔහු එදා රාත්‍රියේ මත්පැන් පානය කළත් එය පමණ ඉක්මවා යන්නට ඉඩ දී නැත. ඒ නිවස එතරම් විශාල, සැප පහසුකම් ඇති එකක් නොවීය. නිවසටම තිබුණේ එක් කාමරයක් පමණි. ඒ කාමරයේ තිබූ ඇඳක පියදාසගේ බිරිඳත්, දියණියත් නිදාගෙන සිටියහ. 

ප්‍රියන්තත් ඔහුගේ මවත් නිදා ගත්තේ සාලයේ පැදුරක් එලාගෙනය. කුස්සියට ඇතුළුවන තැන හිස් තීරුවක ඇඳන් දෙකකි. ඒ එක් ඇඳක පියදාසත් ඔහුගේ පුතාත් නිදාගත් අතර අනිත් ඇඳ වෙන්වූයේ ආගන්තුකයෙකු වූ ජගත්ටය.

‍පොලීසිය හෙළි කරගෙන ඇති ආකාරයට අනුව ජගත් නින්දට ගියාට ඔහුගේ සිතේ හොල්මන් කරන්නට වූයේ ප්‍රියන්ත තම ගේ දොර විකුණා රැගෙන ආ මුදල් කොල්ලකන අයුරු ගැනය. 


ඊට කල්යල් මරමින් සිටි ජගත් අවදි වන්නේ අලුයම 2ට පමණය. හිමින් සීරුවේ කුස්සියට රිංගාගන්නා ඔහු තම ජංගම දුරකථනයේ ඇති විදුලි පන්දම් එළියෙන් සොයා ගන්නේ මන්නා පිහියකි. 

ඒ පිහියත් අතැතිව සාලයට එන ඔහු තම මුළු සිරුරේම වැර යොදා ඒ මන්නා පිහියෙන් මුලින්ම කොටන්නේ ප්‍රියන්තගේ මවගේ හිසටය. ඒ ඇයව එක් පහරකින්ම මරුතුරුළට යවමිනි. ඊළඟ පහර ඔහුගේම මිතුරා වූ ප්‍රියන්තටය. 

ඒ මවගේ හිසට පිහිපහර එල්ලවන හඩින් ඇහැරී ඔහු හිස ඔසවා බලනවාත් සමගය. ඊළඟට ඔහු බිල්ලට ගන්නේ පියදාසගේ බිරිඳ සහ දියණියය. පියදාසටත් ඔහුගේ පුතාටත් කොටන්නේ ඉන් අනතුරුවය.

ගෙතුළින් සොයාගත් ලක්ෂ දෙකහමාරක් සහිත මුදල් පසුම්බියද කිහිල්‍ලේ රඳවාගත් ජගත් ‍ලේ තැවුරුණූ සරමත් බැනියමත් ගලවා දමා වැලක තිබුණු පියදාසගේ පුතාගේ කලිසමක් සහ කමිසයක් හැඳගෙන පලා යන්නේ පියදාසගේ දියණියගේ පාපැදියේ නැගීය. 


පාපැදියෙන් දහයියාගම හන්දියට යන ඔහු හන්දියේ ඇති කොළකැඳ කඩයෙන් කොළකැඳ වීදුරුවක්ද බි, සිගරට්ටුවක්ද දල්වාගන්නේ අලුයම හතරේ කණිසම නාදවී මද වේලාවක් ගිය තැනය. 

පාපැදිය එම කොළකැඳ කඩේ හිමිකාරිනියට බලා ගන්නැයි කියමින් එතැනින් ත්‍රිරෝද රථයකට ගොඩවන ඔහු අනුරාධපුරය නගරයට පැමිණ එතැනින් ගොඩවන්නේ වවුනියාවට යන බස් රථයකටය. රඹෑවෙන් එම බස් රථයෙන්ද බසින ඔහු ඊළඟට ගොඩවී ඇත්තේ වවුනියාවේ සිට කොළඹ බලා ධාවනය වන බස් රථයකටය. ඒ උදෑසන 7.00ට පමණය.

එම බස් රථයෙන්ද දඹුල්‍ලේදී බැස ගන්නා ඔහු කොල්ලකන ලද මුදල වියදම් කරන්නට පටන් ගන්නේ එවිටය. ඒ රුපියල් 1,500 කට කැන්වස් සපත්තු ජෝඩුවක් මිලටගෙන පැළඳ ගනිමිනි. 


අනතුරුව දඹුල්ලෙන් බකමූණ බලා යන ඔහු ජුවලරියකට ගොඩවැදී අසූ දහසක මුදලක් වැය කරනුයේ රන් මාල හතරක් සහ බේ්‍රස්ලට්ටුවක් මිලදී ගන්නටය. ඒ මාල හතරම කරේ දමාගෙන දහවල් ආහාරයද නගරයේ හෝටලයකින් ලබාගන්නා ඔහු අනතුරුව ගොඩවන්නේ බකමූණෙන් හසලක බලා යන බස් රථයකටය.

හසලක ‍පොලිස් ස්ථානාධිපති වරයාට ඔහු කොටුවන්නේ බකමූණේ සිට පැමිණි බස් රථයෙන් බිමට පා තැබිමත් සමගිනි. ඒ වන විටත් ඔහු අත රුපියල් එක් ලක්ෂ පනස් තුන් දහසක මුදලක් ඉතිරිව තිබුණේය. 


මුළු පවුලක්ම ඔහු මරා දමන්නේ රුපියල් ලක්ෂ දෙකහමාරක මුදලකට බව විමර්ශකයන්ට වැටහෙන්නේ  එකී ඉතිරි මුදල සමග  සියලු වියහියදම් ගැළපීමේදීය.

ඉඩම් විකිණු සල්ලි ගන්න යාහළුවා සමග පස් දෙනකු මැරූ සෙබළාගේ පා‍පොච්චාරණය මෙන්න.
 
Related Posts with Thumbnails