Ads 468x60px

.

සදාචාරය?

සදාචාරය පුද්ගලිකය, එය හැසිරීමෙන් සහ භාෂිතයෙන් ඔබ්බට ගිය, යමෙක් පුද්ගලිකව පිළිපදින්නා වූ චින්තන රටාවකි. සදාචාරාත්මක බවෙහි මූලික ම ගුණාංගය වන්නේ අන් අයගේ සදා චාරය පිලිබඳ ඇති නිහඬ පිළිවෙතයි. 

අන් අයගේ සදාචාරාත්මක භාවය පිලිබඳ ඇඟිලි දිගු කරමින්, ඔවුන් පහත හෙලමින්, අන්තර්ජාලයෙහි ඇති පොදු සමාජ ජාලවල ගිරිය යටින් කෑගසන් නන් සියල්ලම පාහේ වදවෙන්නේ ඔවුන්ගේ සදාචාරත්මක භාවය ගැන නොවේ. 

තමන්ට කිසි සේත්ම අදාලත්වයක් නැති, තමන් අන්තර්ජාලයෙන් පමණක් දැක ඇති, අන් තැනෙක වෙසෙන අයගේ හැදියාව ගැන ප්‍රශ්න කිරීමට තරම් නිර්ලජ්ජිත භාවයක් සහ මුග්ධ බවක් අපේ තරුණ පරපුරට
ලැබී ඇත්තේ මෙවැනි රටක වෙසෙන්නේකුගේ ස්වභාවික මානසික පීඩනය සහ ලිංගික අසහනය “ ජාතික ව්‍යාපාරය” නමැති කිණිහිරය මත තැලුම් කන විටය.

බොදු බල සේනාව හා අනෙකුත් “ජාතික ව්‍යාපාර” වලින් රටට සිදු වන හානිය හුදෙක් ජාතිවාදය හෝ ප්‍රචණ්ඩත්වය පමණක් නොවේ - රටෙහි තරුණ පරපුරෙහි මනස තුල පසුගාමී චින්තනයක් වැපිරීමේ හානිය මේ දෙකටම වඩා භයානකය, 


“හම්බයින්ට” සහ “කුරුසකාරයින්ට” එල්ල වන ප්‍රචණ්ඩත්වය පිළුණු වූ විට එය නැවතත් හැරෙන්නේ මේ රටේ සාමාන්ය ජනතාවගේ එදිනදා නිදහසට, රටෙහි කාන්තාවගේ අයිතිවාසිකම්වලට එරෙහිව අන්තවාදී සහ පසුගාමී “සිංහල බෞද්ධ” යුටෝපියාවකට රට ගෙනයන බෞද්ධ සෞදි රාජයකට පාර කපන බල කඳවුරකටය.  

ජාතික ව්‍යාපාරයට පෙර මෙවැනි ආකල්ප තිබුනානම් එය සුළුතරයකි, සිංහලකමද නොවන, බෞද්ධකමද නොවන මෙවැනි ආකල්ප වලට මුල් වන්නේ ඊර්ෂ්යාව සහ කාලකන්නිකමයි. රටෙහි “ගැහැනුන්” සදාචාරාත්මක කිරීමට වලිකන පිරිමින් තුල ඇත්තේ සදාචාරය නොවේ, ආතතිය සහ පැරනොයාවකි, 

අරාබිකරයේ වෙසෙන ඔවුනේ ඉස්ලාමික අන්තවාදී සහෝදරයින් මෙය දෑනටමත් අත්පත් කරගෙන ඇත්තේ සිය කාන්තා පරපුර හිසේ සිට පාද තෙක් වසා, සමාජයෙන් කොන්කර, භාෂණයට හෝ අධ්‍යාපනය ඇති අයිතීන් උල්ලංගනය කොට මුහුණක්, හඬක් හෝ සිතිවිලි නැති හුදෙක් ප්‍රජනන උපාංග බවට පත් කිරීමෙනි.

ඔවුන්ට එරෙහිව හඬ නගන අපේ කරුමක්කාරයින් වෙනස් වන්නේ ජාතියෙන් සහ ආගමෙන් පමණි, ආකල්ප අතර වැඩි වෙනසක් නැත...  

සිය මව හැරෙන්නට අන් කිසි ගැහැණියකට සමීප නොවන්නෙකු ගේ මනසේ වෙසෙන ගැහැණිය, සිය මව වැනි දරදිය අදින, පියාට කීකරු, පුද්ගලිකත්වයක් නැති තැනැත්තියකි, එබැවින් සමාජයට පිළිපන් කල්හි මොවුන් අන් ගැහැණුන්ගෙන් බලාපොරොත්තු වන්නේ ඔවුන්ගේ මනෝ භාවයන්ට අභියෝග නොකරන ඉතා කීකරු ඇවිදින මළකඳන්ය.

ඔවුන් තනාගන්නා රාමුවෙන් පිට ජීවත් වන ගැහැණිය යනු “නිවැරදි මගට ගත යුතු” වෛශ්‍යාවකි.  ගැටුම් විසඳිය හැක, දේපල පිළිසකර කල හැක, නමුත් මෙවන් ආකල්ප සමාජය පුර ඔඩු දිවීම ඒ දෙකටම වඩා පිළිසකර කිරීමට අපහසු තත්වයකි.

- වජිර සූරියාරච්චි
 
Related Posts with Thumbnails