Ads 468x60px

.

සේමිණීගේ සොඳුරු නිවහන

දක්ෂතාවයත් කැප වීමත් සුන්දරත්වයත් එක්තැන් වූ අප කලා ලොවේ අතළොස්සක් වූ නිළියන් අතරට ඇගේ නාමය ද එක් වන්නේ නිතැතිනි. 

ඈ සේමිණී ඉද්දමල් ගොඩයි. සේමිණී ගේ සොඳුරු නිවහනේ සුන්දරත්වයේ තොර තුරු ඔබ වෙත ගෙන එන්නට අපි කල්පනා ලා. රාජගිරිය මාදින්නාගොඩ පිහිටි සේමිණීගේ සොඳුරු නිවහනට අපි ගොඩවැදුණේ ඒ නිසයි. සේමිණී ඇගේ නිවහනේ සුන්දරත්වය ගැන අප සමඟ කතාකළේ මේ විදිහට.

“මීට වසර හතරකට පමණ පෙරාතුවයි ධම්මිකත් මමත් මේ නිවහන මිලදී ගත්තේ. ඒ වන විට නිවෙසේ අඩක් වැඩ නිම කරලා තිබුණේ. ධම්මිකත් මමත් අපි දෙදෙනාට අවශ්‍ය විදිහට මේ නිවහනේ බොහෝ වෙනස්කම් සිදු කළා.”

මහල් හතරකින් යුත් මේ අලංකාර නිවහනේ බිම් මහල වෙන් වන්නේ උද්‍යානය, ආලින්දය, විසිත්ත කාමරය හා ෆැන්ට්‍රිය සහිත ක්‍රමානුකූලව සකසන ලද කෑම කාමරය

වෙනුවෙනුයි.

“බිම් මහල සැලසුම් කරද්දී ඒ ගැන මම හුඟක් කල්පනාකාරී වුණා. විශේෂයෙන්ම නිවෙසට හොඳින් වාතාශ්‍රය ලැබීමටත් ආලෝකය ලැබීමටත් සැලැස්වීම ඒ අතර ප්‍රධාන අරමුණු වුණා. ඒ සඳහා විසිත්ත කාමරයට (Open glasses) විශාල ජනෙල් කවුළු යෙදුවා. 


බිත්තියේ වා කවුළු රටාවකට නිර්මාණ කළා. එයින් ලැබෙන හිරු සඳු එළියෙන් නිරතුරුවම ආලෝකය අපේ නිවෙසට ගලා එනවා. ඒ වගේම ධම්මික හරිම ආසයි සුරතල් මසුන්ට. 

ඒ වෙනුවෙන්ම නිවෙසේ විසිත්ත කාමරයට ගැළපෙන අයුරින් මාළුන්ගෙන් පිරුණු පොකුණක් ද නිර්මාණය කළා. එහි පිරී ඇති ජලයෙන් නිවෙස ඇතුළත සිසිලස රඳා පවතිනවා.” සේමිණී දිය පිරී ගිය පොකුණේ කෙළිදෙලින් එහෙ මෙහෙ පිහිනන මාළුන් පෙන්වමින් පවසයි.‍

සේමිණී ගේ නිවෙසේ විසිත්ත කාමරය සඳහා භාවිතා කර තිබෙන අලංකාර සෝෆාව කළුවර දැවයෙන් නිර්මාණය වී ඇත. එලෙසම ඊට යාබදව ස්ථාන ගත කර ඇති පුංචි දියණිය කුමලි ගේ පියානෝව විසිත්ත කාමරයට සුන්දරත්වයක් එක්කරයි.

“අපේ ගෙ‍දර විශේෂත්වයක් තමයි ගෘහ භාණ්ඩ අවම අයුරින් භාවිතා කර තිබීම‍. මම කැමැති නැහැ නිවෙසේ අනවශ්‍ය ලෙස ගෘහ භාණ්ඩ පිරී තිබෙනවාට. නිදහසේ නි‍ෙවසේ සුන්දරත්වය විඳින්න මම කැමැතියි.


නිවෙසේ ඉඩකඩට සරිලන අන්දමට චාම් ලෙසත් නෙතට ප්‍රිය උපදවන ලෙසත් ගෘහ භාණ්ඩ සැලසුම් කිරීමට එය සැලසුම් කළ ආයතනය මට සහයෝගය ලබා දුන්නා.”

මේ සොඳුරු නිවහනේ පියගැටපෙළ සම්පූර්ණයෙන්ම කළුවර ලීයෙන් නිර්මාණය වී ඇත. දෙවන මහල හෝම් තියටර් සිස්ටම් එක සඳහාත් අමුත්තන්ගේ කාමර සඳහාත් සේමිණීගේ ඇඳුම් කාමරය (Dressing room) සඳහාත් වෙන්වෙයි.

මෙතැනම ඔවුන් වෙනුවෙන් වෙන්වූ කුඩා පුස්තකාලයක් ද ඇත. සේමිණී මෙය නිර්මාණය කර ඇත්තේ පුංචි කුමලී ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙනුයි.

නිවහනේ තෙවන මහල වෙන්වන්නේ සේමිණීගේත් ධම්මිකගේත්, පුංචි කුමලිගේත් නිදන කාමර වෙනුවෙනුයි. මෙතැන හරිම සුන්දරත්වයකින් පිරුණ තැනකි. ඒ ගැන සේමිණී කතා කිරීමට අමතක නොකළාය.

“අපි මේ නිවහන මිලදී ගන්න කොට තුන්වන මහලේ විවෘත ඉඩකඩක් බැල්කනිය වෙනුවෙන් වෙන්කර තිබුණා.

ධම්මිකත් මමත් ඒ විශාල බැල්කනිය මාස්ටර් බෙඩ්රූම් එක විදිහට නිර්මාණය කළා. බැලූ බැල්මට එය කිසිවෙකුටත් හිතන්න බැහැ මෙතැන විවෘත බැල්කනියක් තිබුණු බවට. මගේ නිදන කාමරයෙත් විශේෂත්වයක් තිබෙනවා. ඒ තමයි නිදන ඇඳ ඇරෙන්නට වෙනත් කිසිදු ගෘහ භාණ්ඩයක් එහි ඇතුළත නොතිබීම.

එය මට මානසික වශයෙන් හරිම සැහැල්ලුවක් ගෙන දෙනවා. අනවශ්‍ය ලෙස බඩු භාණ්ඩ පුරෝගෙන නිදන කාමරයේ සුන්දරත්වය අඩුකර ගන්න ධම්මිකත් මමත් අකැමැතියි.

සිවුවන මහල බොහෝවිට අපේ ව්‍යායාම් කටයුතු වෙනුවෙන් වගේම යහළු යෙහෙළියන් පැමිණී විට සතුටු සාමීචියේ යෙදෙන්න තමයි භාවිතා කරන්නේ. ඒ වගේම මගේ නිවෙසට තීන්ත ආලේප කිරීමේ දීත් මම ඒ ගැන හුඟක් දුරට හිතුවා. 


නෙතට ප්‍රිය උපදවන කල් පවතින ස්පේස් එක හොඳින් පෙනෙන පාටක් වන සුදු පැහැයෙන් තමයි මුළු නිවෙසම වර්ණවත් කර තිබෙන්නේ. අනෙක නිවෙසේ ඉහළ මහලවල සිට පහළ සහ අවට පරිසරය බලන විට කිසිම විදිහකට කොළඹ කියලා හිතෙන්නේ නැහැ.”

අවට පරිසරයේ පෙනෙන හරිත වර්ණ කඳු වැටි කුඹුරු යාය පෙන්වමින් සේමිණී තම කැදැල්ල ගැන කතාබහ කළේ හද පිරි සතුටකිනි.


 
 
Related Posts with Thumbnails