Ads 468x60px

.

සමාජය මෝහය කරා ගෙන අපගේ ජාතික පුවත්පත්

මිත්‍යාව සහ බොරුව විකුණාගෙන කමින් ජනතාව තවදුරටත් ගොනාට ඇන්දීම සඳහා ලංකාවේ පුවතපත් කරන සේවය අති විශාලය​.

සක්විතිගේ සිට රුවන්වැල්ලේ සෝභිත දක්වා කපටීන් ජනතාව රැවටුවේ අපගේ ජාතික පුවතපත් උපකාරයෙනි. 

මේ නිසා අපගේ පුවත්පත් යනු බොරුව මිත්‍යාව ජනතාවට පිදුරු සේ කවන හෝටල් ලෙස නම් කලාට වරදක් නොමැත​. මව්බිම පුවත්පතේ මළවුන්ගේ ඉරණම යනුවෙන් සතිපතා ලිපියක් පළවේ. එම ලිපියට අනුව ඇතුල්කෝට්ටේ ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානයක කසුන් නාගොඩවිතාන පුද්ගලයෙකු ශක්ති කිරණ එල්ල කිරීම  මගින් පෙරේතයන් එලවයි.  

මේ කිරණ ගැන බයිලාව ලියන්නේ මෙසේය​. 

........මෙය මානසික රෝගයකැයි මනෝ වෛද්‍ය ප්‍රතිකාර පවා ලබා ගත්තේය. මාස අටක් නවයක් එක දිගට මනෝ වෛද්‍ය ප්‍රතිකාර ලබමින් පෙති ගිල්ලත් කිසිම වෙනසක් දක්නට නොලැබිණි. අපල උපද්‍රව ඇතැයි තොවිල් පවිල් කළද ලැබූ සහනයක් නැත.  

“මව්බිම” පත්‍රය කියවන දිස්නා එහි පළවන “මළවුන්ගේ ඉරණම” විශේෂාංගයේ සඳහන් ඇතුල්කෝට්ටේ ගුප්ත ගවේෂණ මධ්‍යස්ථාන උපදේශක කසුන් නාගොඩවිතාන මහතා මුණගැසී තම විස්තරය පැහැදිලි කළාය.  පළමු දිනයේ ශක්ති කිරණ එල්ල කරන විට ජයසේන පැද්දෙන්නට විය (මළවුන්ගේ ඉරණම මව්බිම)

මේ ශක්ති කිරණ  එක්ස් රේ, ගැමා රේ හෝ ලේසර් ද කියා සඳහන් කොට නැත​. නමුත් මානසික හෝ කායික රෝග සඳහා අදාල වෛද්‍ය උපදෙස් නොව කිරණ මගින් පෙරේතයන් එලවීමට උපදෙස් දෙයි. මෙවැනි මිත්‍යාවන් ප්‍රධාන ධාරාවේ පුවත්පත් මගින් සමාජ ගත කිරීම නිසා සිදුවන හානි දිනපතා පුවත් පත් වලින් දැකිය හැක​. පසුගිය කාලයේ මිත්‍යාවන්  විසින් සිදු කල හානි පුවත්පත් විසින්ම වාර්තා කරන්නේ මෙසේය​. 

1) මංගල දැන්වීම්වල මනාලියන් සොයා ගොස් අපල උපද්‍රව දුරු කිරීමටත්, මනාලයා වශී කර දීමටත් ඉදිරිපත් වී රුපියල් ලක්ෂ 10ක පමණ රන් වංචා කළැයි කියන හඳහන් බලන්නෙක් මහර මහේස්ත්‍රාත් දර්ශිකා විමලසිරි මෙනවිය විසින් ලබන 21 වැනි දා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය. 


අනුරාධපුර සේන පුරයේ එච් කේ රුවන් රංජන (43) එම පුද්ගලයාය. වශී ගුරුකම සඳහා මනාලිය ලවා රන් භාණ්ඩ පහක් ඔතවා රතු රෙදි කඩක තැමීමෙන් පසු එම රන් වංචා කර ඇතැයි පොලිසිය අධිකරණයට දැන්වීය. ඔහු මේ ආකාරයට මාරාවිල, අනුරාධපුරය, බටුවත්ත ගෙවල් තුනකින් රන් ආබරණ වංචා කර ඇතැයි පොලිසිය කියයි.

2) පේන අහන්න ගිය කාන්තාව නිරුවත් කරන්න හැදූ කපුවා අත්අඩංගුවට ( අමරනන්ද විඡේසේකර - මහවැව ) රෝගී තත්ත්වයක තොරතුරු විමසීම සඳහා ආනමඩුව ප්‍රදේශයේ දේවාලයකට ගොස්‌ පේනයක්‌ බැලීමට ගිය 24 හැවිරිදි කාන්තාවක්‌ නිරුවත් කිරීමට උත්සාහ කළ කපුවා ආනමඩුව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.  


නිකවැරටිය ප්‍රදේශයේ කාන්තාවක්‌ ඉකුත් 12 දා සවස මෙම දේවාලයට ගොස්‌ ඇත්තේ කාලයක සිට පීඩා විඳින රෝගී තත්ත්වයක්‌ විමසා බැලීම සඳහාය.  ඒ සඳහා පේනයක්‌ බැලීමට නිරුවත් කොට සිරුර පරීක්‍ෂා කිරීමට අවශ්‍ය බව කපුවා පවසා තිබේ. 

මීට අකමැත්ත ප්‍රකාශ කළ ද කපුවා කීප වතාවක්‌ම දේව කැමැත්තට හිස නැමිය යුතුයි පවසා කාන්තාවගේ කැමැත්ත ලබා ගැනීමට උත්සාහ කළ ද එය අසාර්ථක වී තිබේ. කාන්තාව එම උගුලෙන් ගැලවී මේ පිළිබඳව ආනමඩුව පොලිසියට පැමිණිලි කිරීමෙන් අනතුරුව දේවාලයේ කපු මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු යොදා තිබේ.

3) ඇඟේ විෂ ඉවත් කරන්නම් කියා තරුණියට අතවර කළ කපුවා අත්අඩංගුවට - රත්මල්ගහ ඇල ප්‍රදේශයේ පවත්වා ගෙන ගිය දේවාලයකට ශාන්ති කර්මයක්‌ සඳහා පැමිණි 16 හැවිරිදි තරුණියකට අතවර කිරීමේ චෝදනාවට දේවාලයේ තරුණ කපුවෙකු දඹුල්ල පොලිසිය මගින් 9 දා රාත්‍රියේ අත්අඩංගුවට ගෙන ඇත.  

4) හොරණ ප්‍රදේශයේ නිවසක ශාන්ති කර්මයකට පැමිණි කපු මහතෙකු එම නිවසේ සිටි අවුරුදු 13ක බාල වයස්කාර දැරිය දූෂණය කර තිබේ. මෙම දැරියගේ මවට මානසික රෝගයක් වැළදි ඇති අතර එම රෝගය සුව කිරීම සදහා කපු මහතෙකු නිවසට ගෙන්වා තිබේ. 


මෙම කපු මහතා විසින් මවගේ රෝගය සුව කර ඇති අතර ඉන්පසුව මෙම නිවසේ ටික කාලයක පටන් රැදි සිට පසුව අසල්වැසි නිවෙස්වල පුද්ගලයන්ගේ මානසික රෝග වලටද ප්‍රතිකාර ලබාදි තිබේ.

5) කළුකුමාර දෝෂය දුරු කර ගැනීමට දේවාලයක පිහිට පතා ගෙන ගිය 17 හැවිරිදි අතවර කිරීමට තැත් කළැයි කී කපුවකු (51) පෙරේදා (27) අත්අඩංගුවට ගත් බව කහතුඩුව පොලිසිය කියයි.  

6) හොරොව්පතාන මොරකෑව සුව උදාන ගම්මානයේ ඒ රංජනී කුමාරී නම් පාසල් සිසුවියට භූත දෝශයක් වැළඳී ඇති බව කියා ගුරුකම් කරන්නෙකු විසින් යකා එළවා දැමීම පිණිස යකඩ බටයක් රත් පැහැවන තුරු රත් කර ඇයගේ යටි පතුල් පුළුස්සා ඇත. 

අද දිනයේ මව්බිම පමණක් නොව සිළුමිණ, ලක්බිම​, දිවයින, වැනි පුවත් පත් වල මහා පරිමානයෙන් පළ කරන්නේ ගුරුකම්, හාස්කම්, හදි හූනියම්, විශ්ව ශක්තිය වැනි ප්‍රලාප වේ. මේ පුවත්පත් විසින් ඉතා වේගයෙන් අපගේ සමාජය මෝහය කරා ගෙන යමින් සිටිති. ඒ නිසා සිදුවන සමාජ හානිය පිලිබඳව  වගකිව යුත්තන් දැනුවත් විය යුතුය​.


- අමිල ගුණරත්න
 
Related Posts with Thumbnails