Ads 468x60px

.

ලොවම පුදුම කර සැඟවුණු ගුවන් යානයේ අබිරහස

මැලේසියානු ගුවන් සේවයට අයත් බෝයිං 777 එම්.එච්. 370 මගී යානය අභිරහස් ලෙස අතුරුදන් වූයේ ඉකුත් 8 වැනිදා මැලේසියානු වේලාවෙන් මධ්‍යම රාති‍්‍ර 12.21 ට පමණය

ඒ අවස්ථාවේදී යානය චීනයේ බීජීං නුවර බලා පියාසර කරමින් තිබුණේය. අතුරුදන් වූ යානය පැහැර ගැනීමකට ලක් වන්නට ඇති බවත්, අතුරුදන් වී පැය හතරකට පසු යානයේ ඇන්ජින් කි‍්‍රයාත්මක වූ බවට තමන්ට සාක්ෂි ලැබී ඇති බවත් ඇමෙරිකාව කියයි. 

ඇමෙරිකන් ත‍්‍රස්ත මර්දන පරීක්ෂකයන් මේ බව කියා සිටියේ අතුරුදන් යානයේ යැයි සැක කෙරෙන සුන්බුන් කොටස් චීන චන්ද්‍රිකා ඡුායාරූපවල සටහන් වූ බවත්, සෝදිසි මෙහෙයුම් පසු ඒවා යානයේ සුන්බුන් නොවන බවට පසුව තහවුරු වීමත් සමඟය.

රේඩාර් තිරයෙන් යානය අතුරුදන් වූයේ, යානයේ නියමුවා හෝ එහි සිටි වෙනත් කෙනකු හෝ යානයේ කි‍්‍රයාත්මක වෙමින් තිබුණු ‘හසුකර ගැනීමේ’ උපකරණ කි‍්‍රයා විරහිත කරවීම නිසා යැයි ඇමෙරිකන් පරීක්ෂකයෝ පෙන්වා දෙති. 


යානයේ ඇත්තේ රෝල් රොයිස් වර්ගයේ ඇන්ජින්ය. ඒවා පණ ගන්වා තිබියදී සං\ නිකුත් වෙයි. ඉකුත් 8 වැනිදා යානය රේඩාර් තිරයෙන්
අතුරුදන් වී පැය 4 ක් ගත වෙද්දී ද යානයේ ඇන්ජින් කි‍්‍රයාත්මක වුණු බවට තොරතුරු හෙළි වී ඇත්තේ ඒ අනුවය.

රේඩාර් තිරයෙන් අතුරුදන් වූ ස්ථානයේ සිට යානය දිගටම පියාසර කළේ නම්, එයට නාවික සැතපුම් 2,000 ක දුරක් පියාසර කිරීමට හැකි බවද ඇමෙරිකන් පරීක්ෂකයෝ පෙන්වා දෙති. ඒ අනුව, යානය පාකිස්තානයට හෝ අරාබි මුහුද දෙසට හෝ පියාසර කලා විය හැකි යැයි ද අනුමාන කෙරේ.


ඔවුන් සැකකරන්නේ යානය ත‍්‍රස්තවාදීන් විසින් පැහැර ගනු ලැබූ බවය. යානය මේ වනවිට කොතැනක හෝ ආරක්ෂිත ස්ථානයකට ගොඩ බා ඇති බවත්, ත‍්‍රස්ත කි‍්‍රයාවකට යානය යොදා ගනු ඇති බවටත් අනුමාන කෙරේ.

මේ සටහන ලියද්දී පවා යානය සොයා සෝදිසි මෙහෙයුම් දිගටම පැවැත් විණි. යානය අතුරුදන් වූයේ මැලේසියාවේ ක්වාලාලාම්පූර් නුවර අන්තර් ජාතික ගුවන් තොටුපොළෙන් ගුවන් ගත වී පැයක් ගත වූ පසුවය. ඒ වන විට ගුවන් යානය වියට්නාමයට ඉහළින් දකුණු චීන මුහුද ආසන්නයට පැමිණ තිබුණි.

මැලේසියානු ගුවන් ගමන් පාලක මැදිරියේ රේඩාර් තිරයෙන් යානය හිටිහැටියේ අතුරුදන් වන මොහොතේ එය ස්වයංකී‍්‍රය නියමු පාලනයට යොමු කර තිබුණි. ඒ අවස්ථාවේ දී යානය හිටිහැටියේ සිය ගමන් මඟ වෙනස් කරන්නට ඇත. එය රේඩාර් තිරයේ නොපෙනී යන්නට ඇත්තේ ඒ නිසාය. 


ඒ අනුව පළමුවෙන් යානය දකුණු චීන මුහුදට කඩා වැටෙන්න ඇතැයි අනුමාන කර සෝදිසි මෙහෙයුම් සිදු කෙරුණි. එහෙත් කිසිදු හෝඩුවාවක් සොයා ගැනීමට නොහැකි විය.

යානය අතුරුදන් වෙද්දී එහි සැකකටයුතු පුද්ගලයන් දෙදෙනකු, සොරකම් කරන ලද ඉතාලි සහ ඔස්ටි‍්‍රයානු ගමන් බලපත‍්‍ර දෙකක් යොදා ගනිමින් යානයට ගොඩ වී ඇත. මොවුන් දෙදෙනා ඉරාන ජාතිකයන් බව පසුව පරීක්ෂණවලින් හෙළි විය.

මොවුන් දෙදෙනාගෙන් එක් අයකු පොරියා මූර් මොහොමඞ් (21) ලෙසන් ද අනෙකා දෙලවාර් සයීඞ් (29) ලෙස ද හඳුනා ගැනුණි. මොවුන් ගැන පරීක්ෂණ සිදු කරද්දී ඉරාන ආරක්ෂක අංශවල සහාය ද මැලේසියානු ආරක්ෂක අංශවල නිලධාරිනට හිමි විය. 


ඉරාන බලධාරීන් කියා සිටියේ මොවුන් ‘ත‍්‍රස්තවාදීන්’ නොව, සොරකම් කළ ගමන් බලපත‍්‍ර යොදා ගනිමින් මැලේසියාවේ සිට චීනයට ගොස් පසුව ඉතාලිය, ඔස්ටි‍්‍රයාව හෝ ජර්මනියට ඇතුළු වීමට උත්සහ කළ අනවසර සංක‍්‍රමණිකයෙන් දෙදෙනකු බවය.

එම ඉරාන තරුණයන් දෙදෙනා යානයට ගොඩ වී ඇත්තේ ඉතාලි ජාතික ලූවීජී මැරල්ඩි සහ ඔස්ටි‍්‍රයානු ජාතික කි‍්‍රස්ටියන් කොසේල්ගේ ගමන් බලපත‍්‍රවලිනි. ලූවීජී මැරල්ඩි සහ කි‍්‍රස්ටියන් කොසේල් පවසා ඇත්තේ තම ගමන් බලපත‍්‍ර පසුගිය වසරේදී සොරකම් කෙරුණු බවය. ලූවීජී මැරල්ඩි සහ කි‍්‍රස්ටියන් කොසේල් දෙදෙනා සංචාරකයෝ වෙති.

යානයේ ගමන් කිරීමට නියමිතව සිට අවසන් මොහොතේ දී යානයට ගොඩ නොවූ තවත් පුද්ගලයන් තිදෙනකු ගැනත් පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. අවසන් මොහොතේ දී ඔවුන් එසේ කළේ ඇයි ද යන්න සෙවීම මැලේසියානු ආරක්ෂක අංශවල මූලිකත්වයෙන් සිදුවෙයි.

එම තිදෙනා යානයට පැටවීමට බාර දී තිබුණු ඔවුන්ගේ ගමන් මලූ ද ඉවත් කර ගත් බව පසුව වාර්තා විය. මැලේසියාවේ ක්වාලාලාම්පූර් ගුවන් තොටුපොළේ ආරක්ෂක කැමරා දසුන් පරීක්ෂා කිරීමේදී එම තිදෙනා යානයට ගොඩවීමට පැමිණෙනු ඒවායේ සටහන් වී ඇතැයි ද පැවැසෙයි. තවමත් පරීක්ෂණ සිදු වන හෙයින් මොවුන් ගැන විස්තර ඉකුත් 11 වැනිදා වන විටත් මාධ්‍ය වෙත නිකුත් කර තිබුණේ නැත.

යානය හදිසියේ ම ගමන් මඟ වෙනස් කළේ ඇයි ද යන්න සොයා පරීක්ෂණ දිගට ම පැවැත්වෙන අතර යානය ත‍්‍රස්ත ප‍්‍රහාරයකට ලක් වූයේ ද නැතිනම් පැහැර ගැනීමකට ලක් වූයේ ද යන අදහස බැහැර කිරීමට ආරක්ෂක අංශ තවමත් කටයුතු කර නැත. 


මේ අතර යානයේ සිටි 19 දෙනකුගේ සෙලියුලර් දුරකතන නාද වන බව එම 19 දෙනාගේ ඥාති මිත‍්‍රාදීහු පවසති. යානය අතුරුදන් වීමේ අබිරහස තවත් අභිරහසක් කිරීමට මෙම ප‍්‍රවෘත්තිය හේතු වී ඇත. යානය මුහුදට වැටුණේ නම් එය ගිලී යනු ඇත. 

යානයේ බඳට හානියක් සිදු නොවී එය මූදට වැටුණේ නම්, ඇතුළට වතුර කාන්දු නොවුණේ නම් සෙලියුලර් දුරකතන හානි නොවී තිබෙනවා විය හැක. කෙසේ නමුත් එය එසේ වූයේ නම් දින ගණනක් ගත වී ඇති හෙයින් ඔක්සිජන් අඩුවීම නිසා යානයේ සිටි සියල්ලෝම මේ වන විට මියගොස් සිටිනවා විය හැකිය. මේ සියල්ල අනුමාන පමණි.

යානය සොයා සිදු කෙරෙන සෝදිසි මෙහෙයුමට මැලේසියාව, සිංගප්පූරුව, වියට්නාමය, චීනය, පිලිපීනය, ඉන්දියාව, ජපානය සහ ඇමෙරිකා එක්සත් ජනපදය ඇතුළු රටවල් 12 ක් පමණ එක්ව සිටිතිි. ගුවන් යානා 34 ක් සහ නැව් 40 ක් ඊට ඇතුළත්ය. පෘථිවි කක්ෂයේ රඳවා ඇති චන්ද්‍රිකා 10 ක සහාය ලබා ගන්නා බව ද පැවැසෙයි.

මැලේසියානු යානය, ඉකුත් 8 වැනිදා, එරට වේලාවෙන් අලූයම 12.21 ට මැලේසියාවේ ක්වාලාලාම්පූර් ගුවන්තොටුපොළෙන් ගුවන් ගත වූයේ මගීන් 227 දෙනකු, ප‍්‍රධාන නියමුවා සහ සහායක නියමුවා  ද ඇතුළු කාර්ය මණ්ඩලයේ දොළොස් දෙනකු ද සමඟය. යානයේ සිටි මගීන්ගෙන් වැඩිදෙනා මැලේසියානු සහ චීන ජාතිකයෝ වූහ. ඊට අමතරව වෙනත් විදේශිකයෝ රැසක් ද එහි සිටියහ.

අලූයම 1.21 වෙද්දී, බීජීං ගුවන් තොටුපොළටත්, ක්වාලාලාම්පූර් ගුවන් තොටුපොළටත් යානයෙන් පණිවුඩයක් ලැබීමට නියමිතව තිබුණි. පොළොවට සමාන්තරව පියාසර කරමින් තිබුණු යානය හිටිහැටියේ රේඩාර් තිරයෙන් අතුරුදන් විය. 


ක්වාලාලාම්පූර් ගුවන්තොටුපොළ බලධාරීන් සහ මැලේසියානු ගුවන් ගමන් පාලන අධිකාරියේ නිලධාරීහු කලබලයට පත් වූහ. ඔවුන් ඒ බව මැලේසියානු ගුවන් සේවයේ ප‍්‍රධානීන්ට ද දැනුම් දුන්හ. මැලේසියාවත් වියට්නාමයත් අතර මුහුදට ඉහළ ස්ථානයකදී යානය අතුරුදන් විය. යානයට අනතුරක් සිදුවුණු බව අවබෝධ කර ගනිමින් අලූයම 2.40 වෙද්දී සෝදිසි මෙහෙයුම් ලහිලහියේ ආරම්භ කෙරුණි.

උදේ 6.30 වන විට චීනයේ බීජීං නුවරට පැමිණීමට නියමිතව තිබුණ ද එය එසේ නොවූ නිසා යානයේ ගමන් කළ මගීන්ගේ ඥාති මිත‍්‍රාදීහු කලබලයට පත් වූහ. 


ක්වාලාලාම්පූර් ජාත්‍යන්තර ගුවන් තොටුපොළට මෙන්ම, බීජීං අගනුවර ගුවන්තොටුපොළට ද පැමිණි ඔවුහු යානය ප‍්‍රමාද ඇයිදැයි විමසන්නට වූහ. යානය අතුරුදන් වූ බවත්, නරක ආරංචියකට සූදානම් වන ලෙසත් බලධාරීන් ඔවුන්ට දැනුම් දෙද්දී, ඔවුන් හඬා වැළපෙන්නට වූහ.

සෝදිසි මෙහෙයුමේ නාය
ත්වය ගෙන කටයුතු කළේ වියට්නාම හමුදාව සහ වෙරළාරක්ෂක නිලධාරීන්ය. කිලෝ මීටර් 190 ක් ඈත මුහුදේ දුටු තෙල් පැල්ලමක් අනුව සෝදසි කරද්දී, 9 වැනිදා රාති‍්‍රය වන විට යානයේ සුන්බුන් යැයි සැක කෙරෙන කොටස් මුහුදේ තිබෙනු ඔවුන්ට දකින්න ලැබුණි. යානය දකුණු චීන මූදට කඩා වැටුණු බව අනුමාන කෙරුණි.

එපමණක් නොව, රේඩාර් තිරයෙන් අතුරුදන් වීමට මොහොතකට පෙර යානයේ මඟ වෙනස් වුණු බවත්, යානය ආපහු හැරවීමට නියමුවන් කටයුතු කළ බවත් රේඩාර් වාර්තා අනුව තමන්ට පෙනී ගියේ යැයි ගුවන්තොටුපොළ බලධාරීහු පවසති.

අතුරුදන් වූ මැලේසියානු ගුවන් සේවයට අයත් යානයේ ප‍්‍රධාන නියමුවා, සහරේ අහ්මද් ෂා ය. 53 හැවිරිදි ඔහු දක්ෂ පළපුරුදු ගුවන් නියමුවෙකු වූවා පමණක් නොව, ජීවිතයෙන් වැඩි කාලයක් වෙන් කළේ ගුවන් යානා පැදවීමටය. ඔහු ගුවන් සමාගමට එක් වී ඇත්තේ 1981 වසරේ සිටය. ඔහු පළපුරුදු ගුවන් නියමුවෙකි. ලොව හොඳම ගුවන් නියමුවන් පස් දෙනා අතරට ද ඔහු අයත් විය.

යානයේ නියමුවන් උදව් ඉල්ලා ගුවන්තොටුපොළට පණිවුඩ එවා නොතිබීමෙන් පෙනී යන්නේ ඔවුනට හිටිහැටියේ කුමක් හෝ බිහිසුණු සිද්ධියකට මුහුණ පාන්න සිදුවුණු බවය. එපමණක් නොව, යානය බිමට හෝ මුහුදට හෝ කඩා වැටුණේ නම් එය ද ක්ෂණිකව සිදුවී ඇත. 


හේතුව ගුවන් යානයක් ඉහළ අහසේ සිට පහළට පැමිණෙද්දී යානය පහළට එන අයුරු රේඩාර් තිරයේ සටහන් වීමය. මැලේසියානු ගුවන් සේවයට අයත් බෝයිං 777 අතුරුදන් වූයේ හිටිහැටියේය.

එසේ වීමට නම්, යානයේ ඇන්ජින් සියල්ල එකවර අකි‍්‍රය විය යුතුය. නැතිනම් ඒවාට හානි සිදු විය යුතුය. ආරක්ෂාව අතින් ලොව අංක එකේ ගුවන් යානයක් ලෙස බෝයිං 777 යානා පිළිගැනීමකට ලක් වී ඇති හෙයින් එවැනි දෙයක් සිදුවීමේ අවස්ථාව ඉතා අඩුය. 


බෝයිං 777 වර්ගයේ මගී ගුවන් යානයකට ප‍්‍රබල එන්ජින් දෙකක් ඇතුළත් වෙයි. 2008 වසරේ දී බි‍්‍රතාන්‍ය ගුවන් සේවයට අයත් බෝයිං 777 යානයක් ලන්ඩනයේ හීත්රෝ ගුවන්තොටට ගොඩ බෑසීමට පහත් කරද්දී අකි‍්‍රය විය. 

යානය කෙසේ හෝ ගුවන් පථයට ගොඩ බෑමට නියමුවෝ සමත් වූහ. කිසිවකුටවත් අනතුරක් සිදු නොවිණි. යානය හදිසියේ එවැනි ගොඩබෑමක් කළා නම්, නියමුවන්ට ඒ ගැන පාලන මැදිරියට හදිසි තත්ත්වයක් පිළිබඳ දැනුම් දීමට ඇති තරම් කල්වේලා තිබේ.

වැහි සහ සුළි කුණාටු පමණක් නොව අකුණු කුණාටු හේතුවෙන් ද මගී යානා කඩා වැටී ඇත. එහෙත් අයහපත් කාලගුණයක් පැවැති බවට කාලගුණ වාර්තාවල කිසිවක් සඳහන් වී නොතිබුණි. යානයේ නියමුවන් ද අයහපත් කාලගුණ තත්ත්වයක් ගැන පවසා නොතිබුණි. යානය ගමන් කරද්දී අහස ඉතා පැහැදිලි වූ බව දැන ගන්නට ලැබේ.

බෝයිං වර්ගයේ ගුවන් යානා ගුවන් ගත වීමෙන් පසු, ගමනාන්තයේ දී ගුවන්තොටුපොළට ළං වනතුරු ස්වයංකී‍්‍රයව පියාසර කරයි. එය සිදුවන්නේ නියමුවන්ගේ අනුදැනුම මතය. අවශ්‍ය නම්, ස්වයංකී‍්‍රය පාලනය ඉවත් කර නියමුවන්ට යානය පියාසර කිරීමට ද පුළුවනි.


මැලේසියානු 777 යානය, එසේ ස්වයංකී‍්‍රය පියසැරි පද්ධතියෙන් මිදී, නියමුවන්ගේ අතට පත් වී ගමන් මඟ වෙනස් වුණා විය හැකි යැයි ද අදහසක් පවතී. යානය ස්වයංකී‍්‍රය පාලනයෙන් ගමන් කරද්දී එය වේගය අඩාල නොකර ආපහු හැරුණේ නම් එය ගුවනේදී දෙකඩ වී පුපුරා යෑමට ඉඩ ඇතැයි ද පැවැසෙයි. සිදුවූයේ එවැන්නක් දැයි සහතික කළ කිව නොහැකිය.

බෝයිං 777 මගී යානය අතුරුදන් වෙද්දී, විදෙස් පුවත් සේවා වාර්තා කළේ එම අතුරුදන් වීමත් සමඟ 2009 වසරේ අනතුරට පත් වී අතුරුදන් වුණු එයාර් ෆ‍්‍රාන්ස් හෙවත් ප‍්‍රංශ ගුවන් සේවයට අයත් එයාර්බස් ඒ 330-203 යානයේ අනතුර යළි මතකයට නැගුණු බවය. 


ප‍්‍රංශ මගී ගුවන් යානය අතුරුදන් වූයේ බ‍්‍රසීලයේ රියෝ ඩි ජනියිරෝ නුවර සිට පැරිස් නුවර බලා පියාසර කරමින් තිබියදීය. යානයේ සුන්බුන් සොයා ගැනුණේ වසර දෙකකට පසුවය. යානය අනතුරට පත් වීමෙන් මගීහූ 216 දෙනෙක් සහ කාර්ය මණ්ඩලයේ 12 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.

යානය හිටිහැටියේ අනතුරට පත් වූයේ එයට අකුණක් වැදීමෙන් යැයි අනුමාන කෙරේ. කෙසේ නමුත් එය සහතික කර ගැනීමට නොහැකි විය.

ගුවන් යානා සම්බන්ධ ව්‍යසන අතර, 2001 වසරේ සැප්තැම්බර් 11 වැනිදා ඇමෙරිකාවට එල්ල වූ අල් කයිඩා ප‍්‍රහාරය අමතක කළ නොහැකිය. ඇමෙරිකන් ගුවන් යානා පැහැර ගනිමින් ඒවා යොදා ගෙන අල් කයිඩා ත‍්‍රස්තයන් එල්ල කළ එම ප‍්‍රහාරයෙන් සිදුවුණු ජීවිත හානිය අතිමහත්ය. මෙය ගුවන් අනතුරක් නොව, ලොව කැළැඹූ මහා පරිමාණයේ ත‍්‍රස්ත ප‍්‍රහාරයක් ලෙස ගුවන් යානා ඉතිහාසයට එක් වී ඇත.

‘ටෙනෙරීෆ්’ අනතුර සිදුවුණේ 1977 වසරේ මාර්තු 27 වැනිදාය. මෙම අනතුරට ලක් වූයේ බෝයිං 747 මගී යානයකි. අනතුරින් 583 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. ඒ යානය පාලන මැදිරියේ අණ නොතකා ගුවන් ගත වීමට උත්සහ දරද්දී තවත් මගී යානයක ගැටී පුපුරා සුණුුවිසුණුු විය. එය සිදු වූයේ ස්පාඤ්ඤයට අයත් ‘ටෙනෙරීෆ්’ දුපතේ පිහිටි ගුවන් තොටුපොළේදීය.

ජපන් ගුවන් සේවයට අයත් බෝයිං 747 ‘ජේ.ඒ.එල්. 123’ මගී යානය අනතුරට පත් වෙද්දී එහි 520 දෙනෙක් සිටියහ. යානය කන්දක හැපී පුපුරා විනාශ වූයේ 1985 වසරේ අගෝස්තු 12 වැනිදාය. ඒ, හිටිහැටියේ යානයේ පීඩනයේ වෙනසක් සිදුවී නියමුවන්ට එය පාලනය කර ගැනීමට නොහැකි වුණු නිසාය.

ගුවන් යානයක් අනතුරට ලක් වෙද්දී, කාගේත් උනන්දුව යොමු වන්නේ ‘කළු පෙට්ටියට’ කෙරෙහිය. කළු පෙට්ටිය යනු, ගුවන් යානයක පියසැරි දත්ත සටහන් වන ඉලෙක්ට්‍රොනික උපාංගයයි. 


නියමුවන්ගේ කතා බහ, යානයේ ඉලෙක්ට්‍රොනික උපකරණ කි‍්‍රයා කරන අයුරු ආදී සියලූම දත්ත මෙහි පටිගත වෙයි. කළු පෙට්ටිය යැයි කීවත්, මෙම ‘කළු’ පැහැයෙන් යුත් එකක් නොවේ. මෙය දීප්තිමත් තැඹිලි හෝ කහ වර්ණයක් ගනී. ඒ, අනතුරකදී මෙය සොයා ගැනීම පහසු කරවීමටය. 

නියමු කුටියේ සවි කර ඇති මෙම උපාංගය සකසා ඇත්තේ  ඕනෑම ආපදා තත්ත්වයකට ඔරොත්තු දෙන අයුරිනි. යානය කඩා වැටී කැබලිවලට සුන් වුවත්, මුහුදේ ගිලූණත්, ගිනි ගත්තත් කළු පෙට්ටිය ඉතිරි වෙයි. එය අධික තාපයටත් අධික සීතලටත් ඔරොත්තු දෙන්නකි. 

නවීන තාක්ෂණය යොදා ගනිමින් නිර්මාණය කෙරෙන කළු පෙට්ටියෙහි එය කොතැනක තිබුණත් සොයා ගත හැකි වන පරිදි සංඥා නිකුත් කළ හැකි ක‍්‍රමවේදයක් හා ඊට අදාළ සංවේදක ඇත. 

යානයක් අනතුරට පත් වෙද්දී එය සකී‍්‍රය වෙයි. ඒ අනුව, කළු පෙට්ටිය ඇති ස්ථානය නිශ්චිතව සොයා ගැනීමට එය සොයන පිරිසට පහසු වෙයි. ගුවන් යානයක් අනතුරට පත් වූ පසු අනතුර සිදුවුණේ කෙසේදැයි සොයා බැලීමට උපකාරී වන වැදගත් ම ‘සාක්ෂිය’ මේ කළු පෙට්ටියයි.

කළු පෙට්ටියේ නිර්මාතෘ ඕස්ටේ‍්‍රලියානු විද්‍යාඥයෙකි. ඔහු ඬේවිඞ් වොරන් ය. ඔහු මෙල්බෝන් නුවර ගගන පර්යේෂණ ආයතනයේ පර්යේෂකයකු ලෙස කටයුතු කරද්දී, එනම් 1950 දශකයේ දී, ගුවන් අනතුරක් ගැන සොයා බැලීමේ අසීරු කාර්යයකට අත ගැසීය. 


අනතුරට පත් වී තිබුණේ ලොව ප‍්‍රථම ජෙට් බලැති ‘කොමට්’ නමැති මගී ගුවන් යානයයි. යානය අනතුරට පත් වූයේ ඇයි ද යන්න සෙවීම අසීරු විය. යානයේ දත්ත සටහන් වූ විශේෂ උපකරණයක් තිබුණේ නම් එය පහසුවක් විය හැකියයි වොරන් කල්පනා කළේය. 

ඒ අනුව ඔහු ඉතා සරල පියැසරි දත්ත සටහන් කෙරෙන උපාංගයක් නිපදවීය. ඒ, 1957 දීය. මෙම උපාංගය ගුවන් යානාවලට සවි කිරීමට කටයුතු කරනු ලැබුවේ 1960 වසරේදීය. ඊට හේතු වූයේද තවත් අභිරහස් ගුවන් අනතුරකි. එම ගුවන් යානය අනතුරට පත් වූයේ ක්වීන්ස්ලන්ඞ් හිදීය. 

ඒ අනුව 1960 වසරේ සිට සෑම ගුවන් යානයකටම පියැසරි දත්ත සටහන් උපාංගයක් සවි කළ යුතු යැයි  ඕස්ටේ‍්‍රලියානු රජය තීරණය කළේය. පියැසරි දත්ත සටහන් උපාංගයක් ගුවන් යානාවලට අනිවාර්ය කළ පළමු රට වන්නේ ද ඕස්ටේ‍්‍රලියාවයි.

ගුවන් යානා හිටිහැටියේ අතුරුදන් වීම අපට ද අමුත්තක් නොවේ. පසුගිය යුද සමයේ දී කොටි ත‍්‍රස්තවාදින්ගේ ප‍්‍රහාරවලින් අපේ හමුදාවට අයත් ‘ඇන්ටනෝව්’ සහ ‘වයි. 12’ යානා අතුරුදන් විය. යුද්ධය අවසන් වීමෙන් පසු එවැනි යානා කිහිපයක සුන්බුන් මූදු පතුළෙන් සොයා ගැනීමට ද නාවික හමුදාවේ කිමිදුම්කරුවෝ සමත් වූහ.

ගුවන් යානා පමණක් නොව නැව් පවා අතුරුදන් වීම් ගැන කතා බහ කරද්දී බර්මියුඩා ති‍්‍රකෝණය අපට අමතක කළ නොහැක. යක්ෂයාගේ ති‍්‍රකෝණය එසේත් නැතිනම් බර්මියුඩා ති‍්‍රකෝණය නැමැති මුහුදු කලාපය පිහිටා ඇත්තේ අත්ලන්තික් සාගරයේ ඇමෙරිකාවේ ෆ්ලොරීඩාව, පුවර්ටා රීකෝ සහ බර්මියුඩා දුපත් අතර පිහිටි ති‍්‍රකෝණාකාර කලාපයයි. 


මේ කලාපය හරහා යාත‍්‍රා කළ නැව් සහ ඉහළින් පියාසර කළ ගුවන් යානා හිටිහැටියේ අතුරුදන් වී ඇත. එම යානාවලට සිදුවූයේ කුමක්දැයි තවමත් අබිරහසකි. බර්මියුඩා ති‍්‍රකෝණය ලොව ප‍්‍රධාන පෙළේ අබිරහස් අතරට එක් වී ඇත්තේ ද එහෙයිනි. මැලේසියානු ගුවන් යානය අතුරුදන් වූයේ බර්මියුඩා ති‍්‍රකෝණය අයත් අත්ලාන්තික් සාගර කලාපයේ නොවේ.

බර්මියුඩා ති‍්‍රකෝණයේ අබිරහසට හේතුව පිටසක්වළ ජීවීන් යැයි සමහරු කියති. එම සාගර කලාපය වෙනත් ලෝකයකට යන දොරටුවක් යැයි ද කියති. මේ කිසිවක් විද්‍යාවෙන් තහවුරු වී නොමැත. එපමණක් නොව ලෝකයේ අන්තරායකාරී සාගර කලාප 10ට බර්මියුඩා සාගර කලාපය ඇතුළත් වන්නේ නැති බව ඇසුවොත් ඔබ පුදුම වේවි. 


 
Related Posts with Thumbnails