දිනය ඉකුත් 24 වැනිදාය. වේලාව උදෑසන 11.00 පමණ විය. මහානාම පාලම මතින් ගමන් කළ සියලූ දෙනාටම දැක ගත හැකි වූයේ කුඩා දැරියන් දෙදෙනෙකු නිල්වලා ගඟ මැද ගිලෙමින් සිටින අයුරුය.
ගෙඟ් සිටිනා කිඹුලියගේ පැටියා මිනී නොකන බවට ප‍්‍රසිද්ධ ජන කවියක් තිබුණද ඒ කිසිවකුත් දැරියන් බේරා ගැනීමට ගඟට නොපැන්නේ මිනීමරු කිඹුලන් නිල්වලා ගෙඟ් සිටින බව හොඳින් දන්නා නිසාය. ඔවුන් සියලූදෙනාට කළ හැකිව තිබුණේ අත් උස්සමින් මහ හඬින් කෑ ගැසීමය.
අනේ දරුවෝ දෙන්නෙක් ගඟට දමලා. බේරා ගන්න කියමින් ඔවුන් මර ලතෝනි දුන්නේ මාතර නගරයම කම්පාවට පත් කරමිනි. තවත්
කාන්තාවන් හිසට අත ගසාගෙන ක්ලාන්තය සෑදුනාක් මෙන් ගල් ගැසී බලා සිටියේ එය මහ පොළොව නුහුලන දර්ශනයක් නිසාය.
ජනතාවගේ කෑ ගැසීම ඒ අසළ පිහිටි යුද හමුදා කඳවුරේ නිලධාරීන්ටද ඇසුණි. ක්ෂණයකින් යුද හමුදා සාමාජිකයින් සිව් දෙනෙකු නිල්වලාවට පැන්නේ රැස්ව සිටි පිරිස මවිතයට පත් කරමිනි. ඔවුන් වහා ගඟ මැදට පිහිනා ගොස් දැරියන් දෙදෙනා දෑත්වලින් අල්ලා ගෙන ගොඩට රැගෙන ආවේ මහානාම පාලම මත සිටි පිරිසේ දෑස්වලට කඳුළු එක් කරමිනි.
ඔවුන් ගඟට විසි කළ පියා මාතර නගරය දෙසට දුව ගිය බව සිද්ධිය ඇසින් දුටුවෝ පවසති. කෙසේ වෙතත් සිය ජීවිත ගැන නොසිතා දෙවිවරුන් මෙන් එම දැරියන්ගේ ජීවිත බේරා ගැනීමට ක‍්‍රියා කළෝ ශ්‍රී ලංකා යුද හමුදාවේ 3 වැනි ගැමුණු හේවා බළඇණියේ ලාන්ස් කෝප‍්‍රල් එස්.එස්. මානගේ, සාමාන්‍ය සෙබළුන්වන කේ.එල්.ඒ.සී. මධුශංක, ද සිල්වා හා 10 වැනි ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ ඉංජිනේරු සෙබළ පුෂ්පකුමාර යන මහත්වරුය.
කෙසේ වෙතත් දැරියන් දෙදෙනා ගඟට විසි කළ සැකකාර පියා කරණවෑමියකු ලෙස රැකියාව කරන්නෙකි. ඔහුට හා බිරිඳට අවුරුදු 12 ක් වයසැති පුතෙකුද සිටී.
මීට මාස තුනකට පමණ ඉහතදී බිරිය ශාස්ත‍්‍රයක් ඇසීම සඳහා බතීගම ප‍්‍රදේශයේ යකදුරෙකු හමුවීමට ගියාය. ඒ ශාස්ත‍්‍රයට කියැවුණේ තමන් පදිංචි නිවසට කොඩිවිනයක් කර තිබෙන බවයි.
ඒ අනුව තමන්ගේ දියුණුවද ප‍්‍රමාද වන නිසා පුද පුජාවක් පවත්වා කොඩිවිනය ඉවත් කරමුයි ඇය සිය සැමියාට කීවාය. සැමියා ගුරුකම් පිළිබඳව එතරම් විශ්වාසයක් නොතිබූ අයෙකි. සිය බිරිඳගේ ඉල්ලීමට ඔහු ඉඩ දුන්නේය.
ක‍්‍රමයෙන් යකදුරා එම නිවසට යාමට හා ඒමටද පටන් ගත්තේය. ඒ නිසා සැමියාගේ සිත තුළ බිරිඳ පිළිබඳ සැකයක්ද ඇතිවී තිබුණි. වෙනදා ඉඳහිට මත්පැන් පානය කරන ඔහු දිනපතා මත්පැන් පානය කර නිවසට පැමිණෙන්නට පටන් ගත්තේය. ඊට අමතරව බිරිඳට ගුටිබැට දෙන්නට ද පටන් ගන්නා ලදී.
ඒ වනතෙක් ඒ පවුල ඉතා සතුටින් සාමයෙන් සිටියේය. අවුරුදු 18 වූ විගස එම තැනැත්තිය ඔහු තම බිරිඳ කරගෙන තිබුණේ පේ‍්‍රම සම්බන්ධතාවයක් මතයි. ඔහු බිරිඳට මෙන්ම සිය දරු දෙදෙනාටද පණමෙන් ආදරය කළේය. සැලකුවේය.
එහෙත් ඔවුන්ගේ පුංචි කැදැල්ල යුද පිටියක් බවට පත් කළේ කපුවෙකු නිවසට යාමට හා ඒමට පටන් ගැනීමත් සමගය. සිය සැමියාගෙන් සිදුවන ගුටිබැට එන්න එන්නම වැඩිවූ නිසා බිරිඳ ඉකුත් 21 වැනි දින රාත‍්‍රී දික්වැල්ල පොලිසිය වෙත ගොස් සැමියාට විරුද්ධව පැමිණිල්ලක් කළාය.
පවුල් ආරවුලක් සම්බන්ධයෙන් එම දෙදෙනාගෙන් දික්වැල්ල පොලිසියේ පොතේ සටහන් වු පළමු පැමිණිල්ල එය විය. පැමිණිල්ල විභාග කිරීම සඳහා එම දෙදෙනාටම ඉකුත් 24 වැනි දින දික්වැල්ල පොලිසිය වෙත පැමිණෙන ලෙස දැනුම් දී තිබුණි.
කිසිදාක තමාට විරුද්ධව පැමිණිල්ලක් නොදැමූ සිය බිරිඳ ඒ ආකාරයට ක‍්‍රියා කිරීම පිළිබඳව සැමියා තුළ දැඩි කළකිරීමක් ඇති වී තිබුණි. ඒ නිසා ඔහු ඊට පෙර දිනද බිරිඳ සමග රණ්ඩු කළේය.
24 වැනි දින උදාවිය. ඔවුන්ගේ වැඩි මහල් දරුවා උදෑසනින්ම පාසල වෙත පිටත්ව ගියේය. ”දැරියන් දෙදෙනා පොලිසියට එක්ක ගිහින් රස්තියාදු කරන්න ඕනෑ නැහැ. මම ඒ අය පුංචිලාගේ ගෙදර නවත්තලා පොලිසියට එන්නම්. ඔයා පොලිසිය ඉදිරිපිටට වී ඉන්න” කියමින් සැමියා සිය දියණියන් දෙදෙනා කැටුව නිවසින් පිටත්ව ගොස් ඇත.
ඒ අනුව බිරිඳද සූදානම් වී දික්වැල්ල පොලිසිය අසලට ගොස් සිය සැමියා එන තෙක් බලා සිටියාය. ඇයගේ ඉල්ලීම වූයේ තමාට පහර නොදෙන ලෙසට සිය සැමියාට පොලිසිය මගින් අවවාදයක් කරවීමයි.
පැය කිහිපයක් ගත විය. සැමියා පෙනෙන්නට නොවීය. සවස් වනවිට එතැනට පැමිණියේ මාතර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි වරුණි කේශලා බෝගහවත්ත මහත්මිය ප‍්‍රධාන නිලධාරීන් කණ්ඩායමකි.
”ඔයාද චමිලා කියන්නේ” වරුණි බෝගහවත්ත මහත්මිය විමසන විට ඇය ඒ අසලට පැමිණියාය. ඇය ජීප් රථයට නංවා ගත් පසු වරුණි බෝගහවත්ත මහත්මිය සිදුවූ විපත ඇයට කීවාය.
”අනේ මගේ දරුවෝ දෙන්නා” ඒ බිරිඳ මහ හඬින් හඬා වැළපෙන්නට වූවාය. මගේ සැමියාට මොකද වුණේ කියලත් ඇය විමසුවේය. ඇය මාතර පොලිසිය වෙත කැඳවාගෙනවිත් ප‍්‍රකාශයක් සටහන් කර ගැනීමට පොලිසිය ක‍්‍රියා කළේය.
ඉන් අනතුරුව ඇය මාතර මහ රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටින සිය දියණියන් දෙදෙනා ළඟට ගොස් ඔවුන් බදාගෙන හඬා වැළපුණාය. කුඩා දැරියන් අම්මේ, තාත්තා කෝ කියා විමසුවාය. ඒ කුඩා දැරියන් දෙදෙනා තමන් ගඟට විසි කළ පියා එන තෙක් මග බලා සිටින්නේ ඔහුට ඒ තරමටම ආදරය නිසාය.
සැකයක් නිසා සතුටින් සිටි පුංචි කැදැල්ලකට විසිරීයාමට සිදු වූයේ කිසිවකුත් නොසිතූ ආකාරයටය. එහෙත් යුද හමුදා සාමාජිකයින්ට පිංසිද්ධ වන්නට මල් කැකුළුවන් දැරියන් දෙදෙනකුගේ ජීවිත බේරා ගැනීමට හැකි විය