Ads 468x60px

.

කසාද බඳිනවැයි කියා පෙම්වතාගේ ගෙදර නවතා ගත් දැරිය අමානුෂික ලෙස මරා දමලා

කාලයක්‌ තිස්‌සේ අඹුසැමියන් ලෙසත් ඉඳලා

නරක්‌ වූ මළ සිරුර ලඳු කැලෑවකින් හමුවෙයි


ඉකුත් 2012 වසරේ දෙසැම්බර් මස අධ්‍යයන පොදු සහතිකපත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට සූදානමින් සිටි පාසල් ශිෂ්‍යාවක්‌ තරුණයෙකු සමග හොර රහසේ පැනගොස්‌ දෙවසරකට ආසන්න කාලයක්‌ ඔහු සමග ජීවත්ව සිටියදී අභිරහස්‌ ලෙස ඝාතනයට ලක්‌ව ඉකුත් 5 දා එම දැරියගේ නරක්‌වී කුණුවී ගිය මළ සිරුර ලඳු කැලෑවකින් සොයා ගැනීමට දැරියගේ ඥතීන්ට හැකිවී ඇත.

මෙසේ ඉතා අවාසනාවන්ත අන්දමින් ඝාතනයට ලක්‌ව ඇත්තේ ඇල්පිටියේ ඇල්ල ශාසනචන්ද්‍ර මහා විද්‍යාලයේ 11 වසරේ අධ්‍යාපනය ලැබූ ඇල්පිටියේ ඇල්ල, පුවක්‌දොඩැල්ල ප්‍රදේශයේ පදිංචි කැටීපෙආරච්චි සඳුනි කාංචනා (18) නමැති දැරියකි.

සිද්ධිය සම්බන්ධයෙන් දැරිය සමග දෙවසරකට ආසන්න කාලයක්‌ අඹු සැමියන් ලෙස ජීවත් වූ දැරියගේ ප්‍රේමවන්තයා ඔහුගේ පියා මව සහ

සොහොයුරිය ඇල්පිටිය පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

මෙම දැරියගේ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අදහස්‌ දැක්‌වූ දැරියගේ මිත්තනිය වන ඇල්පිටිය ඇල්ල පුවක්‌දොඩැල්ල ප්‍රදේශයේ පදිංචි ආර්. ජී. කරුණාවතී (70) මහත්මිය මෙසේ පැවැසුවාය.


මියගොස්‌ ඇත්තේ මගේ ලොකු දුවගේ වැඩිමල් දියණියයි. මගේ ලොකු දුව දැනට වසර 4 කට පෙර විදේශ රැකියාවකට ගියා. ඒ යන විට මියගිය සඳුනි දුව මට බාරදීලයි ගියේ. මගේ ගෙදර සිටිමින් ඇය පාසල් ගියා. 


2012 දෙසැම්බර් (අ.පො.ස සාමාන්‍ය පෙළ) විභාගයට පෙනී සිටීමට සතියකට පෙර මිනිබිරිය ඇල්ල ගමේ ජනක නමැති තරුණයෙකු සමග හොර රහසේ පැනලා ගියා.

ඒ වන විට ඇයට යාන්තම් අවුරුදු 16 සම්පූර්ණ වූවා පමණයි. මම ජනකගේ දෙමාපියන් සමග කතාබස්‌ කරල නැවත මිනිබිරිය මා භාරයට ගත්තත් ඊට දින 2 කට පසු ඇය නැවතත් ජනක සමග ගියා. 


පසුව මේ සම්බන්ධයෙන් මා ඇල්පිටිය පොලිසියට පැමිණිලි කළා. එවිට දෙපාර්ශ්වයම පොලිසියට කැඳවා නැවත සඳුනි මට භාර දුන්නත් එයා නැවතත් ජනක සමග ගොස්‌ ඔහු සමග ජීවත් වුණා.

සඳුනිට වයස අවුරුදු 18 සම්පූර්ණ වූදා සිටම විවාහ වෙන්න ඕන කියල ජනකට පවසා තිබුණත් ජනක විවාහ වීමට එතරම් කැමැත්තක්‌ නෑ කියල සඳුනි මට කිහිප අවස්‌ථාවකදීම පවසා තිබුණා. විවාහ වෙන්න ඕන කියන වෙලාවට ජනක ඇයට පහරදී නොයෙක්‌ අඩන්තේට්‌ටම් කරනවා කියලත් සඳුනි මට පවසා තිබුණා.

පසුගිය 24 දා ජනක සඳුනි සමග මගේ ගෙදර පැමිණිය වෙලාවේ මම දෙන්නට රාත්‍රි කෑම කන්න දීල ජනකට කිව්වා දැන් ඉතින් සඳුනිට අවුරුදු 18 සම්පූර්ණ වී ඇති නිසා සඳුනිව විවාහ කරගන්න මම නිවසට අවශ්‍ය බඩු මුට්‌ටු අරගෙන දෙන්නම් කියලා.

එදාම රාත්‍රියේ දෙන්නම ගෙදරින් පිටව ගියා. 26 දා උදේ ජනක අපේ ගෙදරට ඇවිත් මට කිව්වා සඳුනි කාටවත් නොකියා ගෙදරින් පිටව ගිහිල්ල කියලා. මම ගමේ අය එකතු කරගෙන ජනකගේ සහ අපේ නෑදැයන්ගේ ගෙවල්වලට ගොස්‌ සඳුනි ගැන සොයා බැලුවත් කිසිම තොරතුරක්‌ දැනගන්න බැරිවුණා.

ජනකගේ හැසිරීම් ගැන සැක සිතී ජනක පදිංචි නිවස අවට තිබූ කැලෑ ප්‍රදේශවල සොයා බලන විටයි මිනිබිරියගේ මළ සිරුර හමුවුණේ. ඒ වනවිට ඇයගේ කඳින් වෙන් කළ හිස කොටස රෙදි කැබැල්ලක ඔතා එක තැනකත්, සිරුරේ කඳ කොටස තවත් තැනකත් තිබී සොයා ගත්තා. ඇය ඇඳ සිටි ඇඳුම්වලින් සඳුනිගේ සිරුර බවට හඳුනා ගත්තා.

මේ අපරාධය ජනක එයාගේ දෙමාපියන්ද සම්බන්ධ කරගෙන සැලසුම් සහගතව කරන ලද අපරාධයක්‌. මේ අපරාධය සිදුකළ එවුන්ට නීතියේ උපරිම දඬුවම් ලබාදෙන්න කියලා මා වගකිවයුත්තන්ගෙන් ඉල්ලා සිටිනවා.

සිද්ධිය වූ ස්‌ථානයේ ස්‌ථාන පරීක්‍ෂණයට ගිය ඇල්පිටිය වැඩබලන මහෙස්‌ත්‍රාත් මුනිදාස හාල්පන්දෙණිය මහතා කුණුවී නරක්‌ වී ගිය සිරුරේ අස්‌ථි කොටස්‌ පශ්චාත් වෛද්‍ය පරීක්‍ෂණය සඳහා කරාපිටිය ශික්‍ෂණ රෝහල වෙත යවන ලෙසටත්, ඝාතනයට සම්බන්ධ සැකකරුවන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට පමුණුවන ලෙසටත් පොලිසියට නියෝග කළේය.
 
Related Posts with Thumbnails