Ads 468x60px

.

ඩෙංගු උණ වැළඳීමෙන් ගමක්‌ හඬවා දැයෙන් සමුගත් විනුමි දින්සදී දැරිය

ඩෙංගු මදුරුවා ගිලගත් කවුඩානේ දුලත්මාගේ දුක්‌බර කතාව

මගේ සුද්දිට ගමේ හැමෝම ආදරෙයි. ඒ නිසා තමයි, හැමෝම අඬන්නේ. මීට පස්‌සේ මම වැඩට ගිහින් එන කොට මා ළඟට ඇවිත් හුරතල් වචන කිය කියා අතින් අල්ල ගෙන ගෙදරට එන්න කෙනෙක්‌ නැහැ. 

මට හිතෙන්නේ නැහැ මහත්තයෝ මගේ සුද්දි මැරිල කියලා" යෑයි ඩෙංගු උණ වැළඳීමෙන් මියගිය දෙහිවල කවුඩාන පාර, පොකුණ පාර ගම ඇතිගේ දොන් දුලත්මා විනුමි දින්සදී දැරියගේ පියා වන ගමඇතිගේ දොන් සරත් මහතා දැඩි වේදනාවකින් යුතුව පැවැසීය.

සරත් මහතා අප හා කතාබහ කරමින් සිටින අතරතුර දෙහිවල ගල්කිස්‌ස නගර සබාවට අයත් ට්‍රැක්‌ටරයක්‌ හා සේවකයන් පැමිණ අවට තිබූ කැළි කසළ පිරිසිදු කරමින් සිටිනු දැකිය හැකි විය.

ඒ දෙස බලා සිටි ප්‍රදේශවාසියකු පැවසුවේ "බලන්නකො මහත්තය අපි ඊයේ ඉඳල කොච්චර නගර සභාවට කිව්වද මේව අස්‌කර දෙන්න කියලා. පැත්ත පළාතේ ආවේ නැහැ. දරුව නැතිවුණාට පස්‌සේ ඇවිත් බොරුවට

ශුද්ධ කරනවා. බලන්න මේ කාණුවක හැටි. 

කිසිම දවසක සම්පූර්ණයන් ශුද්ධ කරන්නේ නෑ. බාගෙට ශුද්ධ කරල යනවා. ආයිමත් එන්නේ ඊළඟ අවුරුද්දේ." අඩි 5-6 ක්‌ පළල එම කාණුව තුළ මදුරුවන් බෝවිය හැකි හිස්‌ ප්ලාස්‌ටික්‌ බඳුන්, තැඹිලි කෝම්බ ඇතුළු කැළි කසළ විශාල ප්‍රමාණයක්‌ තිබුණු අතර තැන තැන රැඳුණු වතුරවල මදුරු කීටයන් විශාල වශයෙන් සිටිනුද දැකගත හැකි විණ.

මෙහිදී අප සමග කතා බහේ යෙදී සිටි දැරියගේ පියා වන සරත් මහතා එක්‌වරම අත්දෙකෙන් මුහුණ වසා ගනිමින් මහ හඬින් අඬන්නට විය. මඳ වේලාවකට පසුව යළි කටහඬ අවදි කළ ඔහු මට දරුවෝ මහගොඩක්‌ නැහැ මහත්තයෝ. වැඩිමල් පුතාල දෙන්න නිවුන්නු. 


ඒ දෙන්නට අවුරුදු 7 යි. බාලය වගේම පවුලේ බඩ පිස්‌සි තමයි, මගේ සුද්දි. එයාට අවුරුදු 2 යි. මාස 8 යි. මගේ සුද්දිව හොරු අරන් ගියා වගේ. මට පේන්නෙම සුද්දි නිදාගෙන ඉන්නව වගේ හවසට මගේ අතින් අල්ලගෙන ගෙදරට එක්‌ක එන්න මීට පස්‌සෙ මට දුවෙක්‌ නැහැ මහත්තයෝ. මොකක්‌ද මේ අපරාදේ.

දරුවට උණ හැදුනෙ 18 වැනිදා. අපි හැමදාම දොස්‌තර මහත්තයගෙන් දුවට බෙහෙත් ගත්ත. ඒ බෙහෙත් ගත්ත වෙලාවට අඩුවෙනව ආයිමත් වැඩිවෙනව. පස්‌සෙ 19 වැනිදත් ගෙදර ඉඳල 20 වැනිදා දරුව ඉස්‌පිරිතාලෙ ගෙනිච්චට පස්‌සේ 15 බී වාට්‌ටුවට ඇතුල් කරල ප්‍රතිකාර කළා. 


ඒත් දුවගේ අසනීප තත්ත්වයේ, වෙනසක්‌ දැක්‌කේ නැහැ. පස්‌සේ 22 වැනිදා දුවට ටිකක්‌ අසාධ්‍ය වුණා වගේ දැනුණ නිසා අයි.සී.යූ. එකට දැම්ම. එතැන හිටිය දෙවිවරු වගේ දොස්‌තර මහත්තුරු 4 දෙනෙක්‌ දරුව බේරගන්න පැය ගණනාවක්‌ ලොකු සටනක්‌ කළා. නමුත් එකක්‌ වත් සාර්ථක වුණේ නැහැ.

ඒ අතරතුර අපි අම්බලන්ගොඩ ගිහින් සිංහල බෙහෙත් අරගෙන ආවා. ඒ වෙලාවේ වෙදමහත්තය කියපු කතාවක්‌ මට තවමත් ඇහෙනව වගේ.

මහත්තයෝ ඉංගී්‍රසි වෙදකම හුඟක්‌ දියුණු බව ඇත්ත. ඩෙංගු උණට තවම ඒ අයට ප්‍රතිකර්මයක්‌ හොයාගන්න බැරිවෙලා. ඒත් අපේ ආයුර්වේද ශාස්‌ත්‍රයට හැදුව බෙහෙත 99% ක්‌ විතර සාර්ථකයි. 


සමහර විට දොස්‌තර මහත්තුරු අකැමැති වේවි මේ බෙහෙත් දරුවාට දෙන්න. ඒත් හොරෙන් හරි හැන්දක්‌ දරුවට ඔයාල පොවාගත්තොත් දරුවගේ ජීවිතේ බේරගන්න පුළුවන්. ඒක දොස්‌තර මහත්තුරුන්ගේ රාජකාරියටත් පහසු බව පැවසීය.

දැඩිසත්කාර ඒකකය තුළ සිටි වෛද්‍යවරුන්ගේ යහපත් කම නිසාම, මම සුහදත්වයෙන්, බෑගෑපත්ව දරුවාට බෙහෙත් හැන්දක්‌ පොවා ගැනීමට අවසර ඉල්ලුවත් ඔවුන් එය තරයේ ප්‍රතික්‌ෂේප කළා. ඒත් මට හිතෙනව ඒ බෙහෙත් හැන්දක්‌ දරුවට පොවා ගන්න පුළුවන් වුණා නම් දරුව බේරගන්න තිබුණ කියල. ඒත් ඒ වාසනාව අපට තිබුණේ නැහැ.

මෙහිදී මියගිය දැරියගේ මව වන ලලනි කුමාරි මහත්මිය (44) අප හා එක්‌වෙමින් දුව ඉස්‌පිරිතාලෙට ඇතුළු කළාට දොස්‌තර මහත්තුරුන්ට හොයාගන්න බැරි වුණා මොකක්‌ද ලෙඩේ කියල. දුවට අමාරු වුණාම තමයි හරියට දැනගත්තේ ඩෙංගු රක්‌තපාත උණ දුවට වැළඳිලා තියෙන්නේ කියල. ඒකට බෙහෙත් කරන්න ගන්න කොට ප්‍රමාද වැඩියි.

ඒ නිසා මේ වගේ අසනීප වෙලා ඉස්‌පිරිතාලෙට ඇතුළු කරපු ගමන් වගේ අසනීපය හඳුනාගන්න විදිහක්‌ තිබුණා නම් මේ වගේ අවාසනාවන්ත මරණ සිද්ධ වෙන්නේ නැහැ.

මෙලෙස ඩෙංගු උණ වැළඳීමෙන් අවාසනාවනන්ත ලෙස මියගිය දුලත්මා විනුමි දින්සදී දැරිය ගමක්‌ හඬවා ඊයේ (28 දා) සවස දැයෙන් සමුගත්තාය.
 
Related Posts with Thumbnails