Ads 468x60px

.

ගුටිකෙලියට මුල දුම්රියේ රියෑදුරා පෙර දැනුම් දීමක්‌ නැතිවම දුම්රිය ඇද්දවූ නිසාලු...

දුම්රිය රියෑදුරෝත් දුම්රිය මගීනුත් මේ දිනවල ඉවක්‌ බවක්‌ නැතිව ගුටි කෙළ ගනිති. දුම්රිය පමා කර ධාවනය කරවී යෑයි මගීහු රියෑදුරන්ට පහර දෙති. 

අරගලය සමාදාන වී යළි ගමන් අරඹන දුම්රිය මරදානට පැමිණි පසු දුම්රිය රියෑදුරෝ මගීන්ට පහර දෙති. ඊළඟට ගුටි කෑමට ලක්‌වූ මගීන් පොලිසියට ගෙන යනු ලැබේ. 

ඔවුන් රැගෙන යන මරදාන පොලිසියේ රාළහාමිලාගේ මූඩ් එක හොඳ නම් පොලිස්‌ කූඩුවෙන් පමණක්‌ ප්‍රශ්නය නිරාකරණය කර ගත හැකිය. රාළහාමිලාගේ මූඩ් එක අවුල්නම් දෙවන වතාවටත් ගුටි කන්නට මගීන්ට සිදුවේ. 

රජයේ සේවකයන්ට පහර දීමට සිවිල් වැසියන්ට අයිතිවාසිකමක්‌ නැත. එසේම සිවිල් වැසියන්ට පහර දීමට රජයේ සේවකයන්ටද අයිතියක්‌ නැත. මෙහිදී නිතර දෙවේලේ සිවිල් වැසියන්ට පහරදෙන පොලිසිය
නමැති රජයේ සේවක කොට්‌ඨාසය අත්හැර දමා කතා කළ යුතුය. 

කැරලි මර්දනය කිරීමේ මුවාවෙන් සාමාන්‍ය ජනයාට ඇති තරම් පහර දීමට, සාමාන්‍ය ජනයා කුදලාගෙන ජීප් එකේ බිම නිදි කරවා ඔවුන්ගේ සිරුරු මත කකුල් තබාගෙන යැම, පොලිසිය තුළදී සැකකරුවන්ගේ ඇඟට වතුර වත් කරමින් පහරදීම යනාදියට ඉඩකඩ ඔවුන් හදාගෙන ඇත.

මෙය සමාන කළ හැක්‌කේ මිනිසුන් එල්ලා මැරීම අපට තහනම් නමුත් අළුගෝසුවාට තහනම් නැත යන්නටය. රේල් පාරවල් දිගේ සහ කෝච්චි පෙට්‌ටි තුළ ගුටි ඇන ගැනීමට මහජනතාව සහ එන්ජින් ඩ්‍රැයිර්වලා පුරුදු වුවහොත් ඇති විය හැකි තත්ත්වය කුමක්‌ද?

මහව සිට කොළඹ බලා ධාවනය වූ දුම්රියක්‌ පුරුදු පරිදි පමා වීමෙන් පසු හටගත් බහින්බස්‌ වීමකදී දුම්රියේ රියෑදුරා පෙර දැනුම් දීමක්‌ නැතිවම දුම්රිය ඇද්දවූ බවත් ඉන් කෝප වූ ජනයා කොන්ක්‍රීට්‌ සිල්පර කඳන් දුම්රිය පාර හරහා දමා ගමන අවහිර කළ බවත් ඉන්පසු දෙපාර්ශ්වය ඉතා දරුණු සටනක නිරතවූ බවත් ඊයේ (21 දා) පුවත්පත්වල පළ විය.


ගුටිකෙලියට මුල දුම්රිය පමාවනම් ඒ නිමිත්තෙන් ගහ මරා ගැනීම මෝඩ කමකි. මන්ද, දුම්රිය යනු හැමදාමත් පමා වෙන දෙයකි. පමා නොවන්නේ නම් එය දුම්රියක්‌ නොව පුද්ගලික මෝටර් රථයකි. එසේම ප්‍රමාදය යනු මේ රටට ආවේණික දෙයකි. 

මේ රටේ සිටි එක්‌තරා රාජ්‍ය නායිකාවකගේ ප්‍රමාදය නිසා උදේ 8 ට පටන් ගැනීමට තිබූ උත්සවයක්‌ සවස 2 ට පටන් ගැනීමට සිදුවිය. විශේෂයෙන් ගත් කල ආණ්‌ඩුවේ ආයතනවලින් 75%ක පමණ සේවකයන් හැමවිටම ප්‍රමාදය. එසේනම් මේ රටේ ජනයා සංවිධානය වී රජයේ ආයතනවලින් 75% කට නිතරම පහරදිය යුතුය. 

මිනිසකු මළ බව දන්වා යවන විදුලි පණිවුඩය හත් දවසේ දානය දා උදේ ලැබෙන පිළිවෙළක්‌ මෙයට පහළොස්‌ අවුරුද්දකට පෙර මේ රටේ තිබිණි. එහෙත් ජංගම දුරකථන බහුල වීමත් සමගම සන්නිවේදන ජාල පුළුල් වීම නිසා අද මිනිහකු මැරෙන්නටත් කලින් මළ බව දන්වා SMS යවන නිසා පණ අදින එකාගේ මරණ මංචකයට සහභාගි වීමට ඥතීන්ට පුළුවන.

කෙසේ වුවද ප්‍රමාදය යනු ජාතියකට වැදිය හැකි නපුරුම හෙණයකි. එසේම මහ මගදී, වැඩ පොළේදී දිගින් දිගටම ගුටි කෙළ ගැනීමද ලොකු අභාග්‍යයකි. අප නිර්භීත ජාතියක්‌ බව ඇත්ත. එහෙත් අප නිර්භීත විය යුත්තේ කෝච්චිවලට බෙල්ල තැබීමට නොව බෙල්ල බේරා ගැනීමට ය.
 
Related Posts with Thumbnails