Ads 468x60px

.

පොලිස්‌ නිලධාරීන් දෙදෙනාගේ නිල ඇඳුම් පමණක්‌ නොව යට ඇඳුම් පවා ගලවාගෙන කරපු දේ...


දිවි ගලවාගත් පොලිස්‌ නිලධාරියා 
ආවේ සරමක්‌ ඉල්ලාගෙන ඇඳගෙන

කුරුණෑගල නගරයේ රාජකාරි කරමින් සිටි පොලිස්‌ නිලධාරීන් දෙදෙනකු ඊයේ (6 වැනිදා) අලුයම පැහැරගෙන ගොස්‌ වැල්ලවදී ඔවුන්ට අමානුෂික ලෙස පහර දී නිරුවත් කර එක්‌ නිලධාරියකු වෙඩි තබා ඝාතනය කර අනෙක්‌ නිලධාරියාට බරපතළ තුවාල සිදුකර පලා ගිය සන්නද්ධ කණ්‌ඩායම අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මේ වනවිට පරීක්‍ෂණ ආරම්භ කර තිබෙනවා.

මෙහිදී ඝාතනයට ලක්‌ව ඇත්තේ කුරුණෑගල පොලිසියේ රථවාහන අංශයට අනුයුක්‌තව රාජකාරි කරමින් සිටි කොස්‌තාපල් (41497) සම්පත් සිසිර බණ්‌ඩාර මහතාය. සන්නද්ධ කොල්ල කණ්‌ඩායම සමඟ සටන් කර ඔවුන් සමඟ පොර බදා ජීවිතය බේරාගෙන ඇත්තේ කොස්‌තාපල් (34097) වීරසූරිය මහතාය.

සන්නද්ධ පිරිසගේ පහරකෑමට ලක්‌ව බරපතළ තවාල ලැබූ වීරසූරිය මහතා මේ වන විට කුරුණෑගල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී. මෙම පොලිස්‌ නිලධාරීන් දෙදෙනා පැහැරගෙන යැමට හේතුව ඊයේ සවස්‌ වනතුරුත් අනාවරණය වී නොතිබිණි.

කුරුණෑගල - දඹුල්ල මාර්ගයේ ගැට්‌ටුවාන හන්දියේ රාජකාරි කරමින් සිටියදී පොලිස්‌ නිලධාරීන් දෙදෙනා මෙම සිද්ධියට මුහුණපා ඇත.

කුරුණෑගල - දඹුල්ල මාර්ගයේ ධාවනය වන වාහන පරීක්‍ෂා කිරීමට සහ මාර්ග නීති කඩකරන රියෑදුරන් නීතියේ රැහැනට නතුකර ගැනීම සඳහා

පොලිස්‌ නිලධාරීන් දෙදෙනෙක්‌ සෑම දිනකම රාත්‍රි ගැට්‌ටුවාන හන්දියේ රථවාහන රාජකාරියේ යෙදී සිටිති.

මෙම පොලිස්‌ නිලධාරීන් දෙදෙනා පෙරේදා රාත්‍රි ගැට්‌ටුවාන හන්දියේ රථවාහන රාජකාරි සඳහා පැමිණ තිබේ. රාජකාරි සඳහා යද්දී ගිනි අවි රැගෙන යන ලෙස උපදෙස්‌ දී තිබුණ ද මෙම නිලධාරීන් දෙදෙනා එදින ආයුධ රැගෙන ගොස්‌ නැත.

ඊයේ අලුයම 12.30 ට පමණ කුරුණෑගල ප්‍රදේශයේ නීතිඥවරයකු සහ ඔහුගේ බිරිඳ ගැට්‌ටුවාන හන්දියේදී බහින් බස්‌ වී ගැටුමක්‌ ද ඇතිකරගත් අතර මෙම පොලිස්‌ නිලධාරීන් එම ගැටුම සමථයකට පත්කර ඔවුන් පිටත් කර යවා තිබේ.

මෙම සිද්ධිය වන අවස්‌ථාවේ සුදු පැහැති වෑන් රථයක්‌ ගැට්‌ටුවාන හන්දියේ නතර කර තිබී ඇත. ඒ අවස්‌ථාවේ වෑන් රථයේ ආ පිරිස පොලිස්‌ නිලධාරීන් අසලට පැමිණ ඔවුන් වෙත ටී. 56 ගිනි අවියක්‌ එල්ල කර තිබේ.

සන්නද්ධ පුද්ගලයන් පොලිස්‌ නිලධාරීන්ට ගිනි අවි එල්ල කරමින් ඔවුන් සතු ආයුධ ඉල්ලා ඇත. එහෙත් පොලිස්‌ නිලධාරීන් පවසා ඇත්තේ තමන් සතුව ගිනි අවි නැති බවයි.

පසුව පොලිස්‌ නිලධාරීන් දෙදෙනාට පහර දී ඔවුන් වෑන් රථයට දමාගත් සන්නද්ධ පිරිස වැල්ලව ප්‍රදේශයට ගොස්‌ තිබේ. වෑන් රථයේ ගමන් කරන අතරතුර පොලිස්‌ නිලධාරීන් දෙදෙනාට අමානුෂික ලෙස පහර දී ඇති සන්නද්ධ පුද්ගලයන් ඔවුන් ඇඳ සිටි පොලිස්‌ නිල ඇඳුම් පමණක්‌ නොව යට ඇඳුම් පවා ගලවාගෙන ඇත. 


වැල්ලව රණවාන ප්‍රදේශයේ පිහිටි බඩගමුව රක්‍ෂිතය අසලදී වෑන් රථය නතර කළ සන්නද්ධ පිරිස කොස්‌තාපල් සම්පත් මහතා ඉන් බිමට බස්‌සවා තිබේ. පසුව සන්නද්ධ පුද්ගලයකු ටී 56 ගිනි අවියකින් සම්පත් මහතාට වෙඩි තබා ඝාතනය කර ඇත.

සම්පත් මහතාට වෙඩි තැබීමත් සමඟම කලබලයට පත් වූ වීරසූරිය මහතා සන්නද්ධ පුද්ගලයන් සමඟ පොර බදා ටී 56 ගිනි අවියේ මැගසිනය උදුරාගෙන තිබේ. පසුව වීරසූරිය මහතා සන්නද්ධ පුද්ගලයන්ගෙන් මිදී කැලෑවට පලාගොස්‌ ඇති අතර ඔහුට වෙඩි ප්‍රහාර කීපයක්‌ එල්ල කර ඇතත් අනතුරක්‌ සිදුවී නැත.

දිවි ගලවාගත් පොලිස්‌ නිලධාරියා අසල තිබූ නිවසකට ගොස්‌ තමන් මුහුණදුන් සිදුවීම පවසා එම නිවස හිමියාගෙන් සරමක්‌ ඉල්ලාගෙන එය ඇඳගෙන තිබේ. පසුව මෙම සිද්ධිය පිළිබඳව කුරුණෑගල පොලිසිය වෙත දැනුම් දීමට වීරසූරිය මහතා කටයුතු කර ඇත.

සිද්ධිය සැළවීමෙන් පසු වහාම ක්‍රියාත්මක වූ කුරුණෑගල පොලිසිය ප්‍රදේශය වටකර විශේෂ මෙහෙයුමක්‌ ක්‍රියාත්මක කළ ද පලාගිය පිරිස අත්අඩංගුවට ගැනීමට හැකි වී නැත. මෙම අපරාධය සිදු කළ සන්නද්ධ පිරිස අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස්‌ කණ්‌ඩායම් 6 ක්‌ යොදවා ඇත.

මේ අතර පොලිස්‌පතිවරයාගේ නියෝග මත අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂවරයාගේ ප්‍රධානත්වයෙන් විශේෂ කණ්‌ඩායමක්‌ ද කුරුණෑගලට ගොස්‌ සිය පරීක්‍ෂණ ආරම්භ කර තිබේ.

පොලිස්‌ නිලධාරීන් පැහැරගත් වෑන් රථයේ සන්නද්ධ පුද්ගලයන් පස්‌දෙනකු සිට ඇති බව පරීක්‍ෂණවලින් හෙළිවී ඇත. ඔවුන් සතුව ටී. 56 ගිනි අවියක්‌, පිස්‌තෝලයක්‌ සහ කඩුවක්‌ තිබී ඇත.


 
Related Posts with Thumbnails