Ads 468x60px

.

තොටළඟ තොරණේ අතීත කතා වස්තුව - ලංකාවේ පැරණිම තොරණ පිළිබඳ විස්තරයක්

ගෞතම බුදුරජාණන් වහන්සේගේ තෙමඟුල සමරමින් ඉදිවෙන වෙසක් සැරසිලි අතර වෙසක් තොරණට හිමිවන්නේ සුවිශේෂ තැනකි. මෙවරත් කොළඹ හා තදාසන්න නගරවල වෙසක් තොරණ රැසක් ඉදිවෙමින් තිබේ.

තොරණ ඉතිහාසය ගැන විපරම් කර බැලූ විට ශ්‍රී ලංකාවේ පැරණිම තොරණ ලෙස සැලකෙන්නේ තොටළඟ ශ්‍රී වෛශ්‍යාලෝක සමිතිය ඉදිකරන වෙසක් තොරණටය. එය මුලින්ම ඉදිවූයේ 1955 වසරේදීය.


එදා තොටළඟ ඉදිවූ මෙම තොරණින් පිළිබිඹු වූයේ මහා භද්‍ර කල්ප කතාවස්තුවයි. එම තොරණ ඉදිකෙරුනේ එවකට තොටළඟ ප්‍රසිද්ධ

වෙළෙඳ ව්‍යාපාරිකයකු ලෙස කටයුතු කළ හෙට්ටිආරච්චිගේ විල්බට් පෙරේරා (විල්බට් සිංඤෝ) මහතාය. එදා සිට තවත් වසර ගණනාවක් ඔහු මේ කටයුත්ත අපූරුවට සංවිධානය කළේය.

විල්බට් පෙරේරා මහතාට දැවැන්ත තොරණ අදහස එසේත් නැත්නම් තොටළඟ තොරණක් ඉදිකළ යුතුය යන අදහස මුලින්ම පැමිණ තිබුණේ කොලු ගැටවුන් වෙසක් සමයේ ඉදිකළ පුංචි පුංචි තොරණ දුටුවිටය. එහිදී ඔහුට උදව් කළේ කොල්වින් පීරිස් නම් දරුවෙකි.


ඒ වෙද්දී කොල්වින්ගේ වයස අවුරුදු 12කි. විදුලි බුබුළු නැතිව ඔහුගේම දෑතින් නිර්මාණය කළ චිත්‍ර උපයෝගි කර ගනිමින් මේ පුංචි තොරණට කාගෙත් අවධානය යොමු විය.


කෙසේ හෝ අවසානයේදී කොල්වින් පීරිස් මහතාවත් සම්බන්ධ කර ගනිමින් විල්බට් පෙරේරා මහතා තොටළඟ දැවැන්ත තොරණ රාජයාගේ මූලික වැඩකටයුතු ඇරඹීය. එදා සිටම කොල්වින් පීරිස් මහතා මියයනතුරු තොටළඟ තොරණෙ දළ සැලැස්ම නිර්මාණය කිරීමේ වගකීම ඔහු සතුවිය.


තොටළඟ තොරණට මුලින්ම බරපැන යෙදවූයේද විල්බට් පෙරේරා මහතාය. ඔහුගේ සහයට තවත් වෙළෙඳ ව්‍යාපාරික මහත්වරුන් කීප‍ පොළක් එක්වූහ.


“මුල්ම තොරණ උස අඩි 85ක් කියල තමයි සඳහන් වෙන්නේ. ඒ වගේම විදුලි බුබුළු 25000ක් විතර තිබුණු බවත් කියැවෙනවා.” “අපේ තාත්තා තොටළඟ තොරණ වසරක් පාසා ඉදිකරන්න ගත්තේ මහ පුදුමාකාර වෙහෙසක්. ඒකෙ ප්‍රතිඵල අනුව තමයි එක දිගට මේ තොරණ තොටළග ඉදිවෙන්නේ.” මෙසේ කීවේ විල්බට් පෙරේරා මහතාගේ පුත් වෙළෙඳ ව්‍යාපාරික අනුර පෙරේරාය.


දින ගණනාවක් පුරාවට පැවැති මේ තොරණට විදුලි ආලෝකය සැපයුවේ ආරියදාස මහතාය. චිත්‍ර ඇන්දේ පුෂ්පානන්ද දන්පිටිය මහතාය.


“මුල් කා‍ලේම මේ තොරණට ලක්ෂ 5-6ක් විතර යොදවල තිබෙනවා. ඒ කා‍ලේ වැඩිපුරම මුදල් වුවමනා වී තිබෙන්නේ විදුලි බලය ලබා ගන්නයි. මොකද තොරණ ඉදිකරන කා‍ලේ මේ පළාතට විදුලි බලය පවා තිබිල නැහැ. බොහෝ ගෙවල්වල පත්තු වෙන්නෙත් කුප්පි ලාම්පු” අනුර යළිත් කීවේය.


ඒ කාලයේ විශාල විදුලි බුබුළු ප්‍රමාණයක් දැල්වීමද තොරණට වඩා සාමාන්‍ය ජනතාව තුළ විශ්මිත සිතුවිලි ඇති කරවන කාරණයක් බවට පත්වී තිබුණි. ඒ විදුලි බුබුළු දැල්වෙමින් නිවෙමින් විවිධ ආකාරයේ අපූරු රටා මැවීම තුළය.


මේ නිසාම බොහෝ ජනතාව පැය ගණනාවක් තොරණ ආශ්‍රිත ප්‍රදේශය තුළ ගැවසෙමින් ඒ පුදුමාකාර බව සතුටින් අත්විඳි බව ඉතිහාසය කියයි.
“මිනිස්සු තොරණ ළඟට එන්නේ හවස. ඒ ආවම පැය ගණනක් තොරණ ළඟ රැඳෙමින් කාලය ගත කරනවලු”


තොටළඟ තොරණ ඉදිවන කාලයේ කොළඹ බහුලව තිබුණේ ට්‍රැම්ප් කාර්ය. මේ ට්‍රැම්ප් කාර්වල අවසාන තිප්‍පොළ වන්නේද තොටළඟය.
“මිනිස්සු පුදුමාකාර විදිහට ට්‍රැම්ප් කාර්වල නැගලා තොටළඟට ආවා. ඒ අන්ධකාරයෙන් තොර විදුලි බුබුළු ගණනාවකින් ආලෝකය ලබාදුන් තොටළඟ තොරණ අසිරිය විඳින්න”

මුල්ම තොටළඟ තොරණ කතා වස්තුව පටිගත කර තිබුණේ ප්‍රවීණ ගුවන්විදුලි නිවේදක කරුණාරත්න අබේසේකර මහතාගේ කටහඩිනි.
“ඒ විතරක් නමෛයි තොටළඟ තොරණ විවෘත කරන උත්සවයට ආවේ බණ්ඩාරනායක අගමැතිතුමා. එතුමා තොරණ විවෘත කරද්දී හෙළිකොප්ටරයකින් පහළට මල් දැම්මා. ඒක හරියට මල් වැස්සක් වහිනව වගේ තමයි සංවිධානය කරලා තිබුණේ”


බණ්ඩාරනායක ශ්‍රීමතාණන් මෙසේ තොරණ විවෘත කරද්දී ඒ අවස්ථාව දැක බලා ගන්නට දුර බැහැර සිට විශාල ජනතාවක් තොරණ වටා එක්වූ බවද ඉතිහාස තොරතුරුවල ඇත. එමෙන්ම එහි තුළ ඇති අනිකුත් සුවිශේෂත්වය වන්නේ මෙසේ එන සෑම පුද්ගලයකු අත පන්දමක් හෝ ලාම්පුවක් තිබිමය.


“මොකද තොරණ ළඟ විතරයි විදුලි ආලෝකය තියෙන්නේ. ඉතින් තොරණ බලල යන අය වගේම එන අය අතේ අනිවාර්යයෙන්ම ලාම්පුවක් හෝ පන්දමක් තිබෙනවා” අනුර තවත් අපූරු කතාවක් අප සමග කීවේය.


තොටළඟ තොරණට විවිධ අවස්ථාවලදී යම් යම් බාධක ඇතිවීමද මේ ඉතිහාසය තුළ තිබෙන තවත් සත්‍යයකි. එහිදී ප්‍රධානතම අභියෝගය වූයේ මහ වැස්ස සමග ඇති වූ දැවැන්ත සුළං තත්ත්වයය. තොටළඟ තොරණ දැවැන්ත භාවය වැඩිවන සෑම අවස්ථාවකදීම ඒ අවදානමට වෛශ්‍යාලෝක සමිතිය මුහුණ දුනි. එහෙත් කාලයක් පුරාවට ලබා තිබූ අත්දැකීම නිසා ඒ තත්ත්වය අවම කර ගැනීමට ඔවුන් සැමවිටම ක්‍රියා කළහ.


“මුල් කා‍ලේ නම් අපේ තාත්තලට සමහර දේවල් ලොකු අභියෝග වෙලා තිබුණලු. උදාහරණයක් විදිහට කියනවනම් ඒ කා‍ලේ අපේ තාත්තාට අයත් ගෙදරක ඇතුළේ තමයි තොරණ චිත්‍ර ඇඳලා තියෙන්නේ.”
කොහොම හරි චිත්‍ර ඇඳලා ඉවරවෙලා ඒවා එළියට ගන්න හදද්දී ඒ රූප රාමු ගන්න බැරිවෙලා. දොරවල් ‍පොඩියි කියලා මතක් වුණේ ඒ වෙලාවටලු.


අන්තිමට වහල ගලවල ඒ උඩින් තමයි රූප රාමු එළියට අරන් තියෙන්නේ. ඒකටත් විශාල පරිශ්‍රමයක් දරන්න වුණාලු. කෙසේ හෝ එදා විල්බට් පෙරේරා මහතා මැදිහත් වී ඔහුගේ මූලිකත්වයෙන් තොටළඟ තොරණ ඉදිනොවන්නට ශ්‍රී ලංකාවේ පළමු තොරණ රාජයා ලෙස තොටළඟ තොරණ ඉතිහාසයට එකතු නොවන්නට ඉඩ තිබුණි. 


කෙසේ හෝ අද තොටළඟ ශ්‍රී වෛශ්‍යාලෝක සමිතිය ආඩම්බරයෙන් ඒ අසිරිය සමරන්නේ විල්බට් පෙරේරා මහතාගේ මැදිහත්වීම මැනවින් ඊට ලැබි තිබුණු නිසාය.

“ඒ කා‍ලේ අද වගේ එක රැයකින් තොරණකට අවශ්‍ය අමුද්‍රව්‍ය එකතු කරගන්න බැහැ ඒ වගේම තොරණට අවශ්‍ය විදුලි බුබුළු වගේම විදුලි බලය ලබා ගැනීමත් පහසු නැහැ. මේවා හැම එකක්ම ඉදිරියේ සුපිරි වෙහෙස මහන්සියක් වුවමනයි“ අනුර පෙරේරා මහතා කියයි.


සැබැවින්ම මේ සුපිරි මහන්සිය වෙසක් සමය උදාවීමත් සමගම බෞද්ධ අබෞද්ධ සෑම ශ්‍රී ලාංකිකයකු තුළම හට ගැනීම සාමාන්‍ය තත්ත්වයකි. වෙසක් සමයේ තිබෙන සුවිශේෂී තත්ත්වය වන්නේද එයමයි. එය එසේ නොවන්නට රට පුරා තොටළඟ තොරණ මෙන් තවත් වෙසක් සැරසිලි ඉදිවන්නේ නැත.


- සමන් ප්‍රියංකර නම්මුනිගේ
 
Related Posts with Thumbnails