Ads 468x60px

.

නැන්දම්මාගේ කුම්මැහිකම්වලින් අඳුරුව ගිය අනුෂ්කාගේ දීගය

අනුෂ්කා ඇගේ පවු‍ලේ එකම දරුවා. අනුෂ්කා ගෙ තාත්තා වෙද මහත්තයෙක්. කවදා හරි ඉගෙන ගෙන වෛද්‍යවරියක වීමේ සිහිනයක් අනුෂ්කාගේ හිතෙත් තිබුණා. 

ඒත් අනුෂ්කාගෙ තාත්තා ඇය රැකියාවක් කරනවට අකමැති වුණා විතරක් නෙමේ විශ්වවිද්‍යාලයට යවන්නවත් කැමැත්තක් දැක්වූයේ නෑ. 

ඒ නිසා වෛද්‍යවරියක වීමේ සිහිනය සිත ඇතුළේ බොඳවෙලා යද්දී අනුෂ්කා උසස් පෙළින් පස්සෙ ගෙදර නතර වුණා. තමන්ගෙ දියණියට දෙන්න සෑහෙන වත්කම් අනුෂ්කාගෙ තාත්තාට තිබුණා. ඔවුන් ඒ වන විට පදිංචිව සිටියේ පැරණි තාලෙට හදපු ලොකු ගෙදරක. ගෙදර වටා ඉඩම අක්කර දහයක්. මුළු ඉඩමෙම ‍පොල් වගේම ගම්මිරිස්, කරාබු වැනි විවිධ වාණිජ බෝග වර්ගත් වගා කරල තිබුණ.

මේවායින් ඔවුන්ට හොඳ ආදායමක් ලැබුණා. වත්තෙ වැඩ කරන්න වෙන මම ද්‍රවිඩ ජාතික සේවකයෙක් හිටියා. මේ වගේ කිසිම අගහිඟයක් නැතිව හැදෙන තමන්ගේ එකම දරුවා රස්සාවල්වලට යවමින් මහ මග රස්තියාදු
කරවන්න අනුෂ්කාගෙ පියා හිතුවෙ නෑ.

මේ දියණියට ගැළපෙන විවාහයක් අනුෂ්කාගෙ පියා සොයමින් සිටියෙ ඇයට අවුරුදු විස්ස පහුවුණු ගමන්මයි. ඒත් අනුෂ්කාගෙ කේන්ද්‍රයේ පාප ග්‍රහයින් හිටපු නිසා ඒකට ගැළපෙන කේන්ද්‍රයක් හිමි කෙනෙක් හොයා ගන්න පහසු වුණේ නෑ. අනුෂ්කාත් කවදාවත් පෙම්වතෙක් ගැන උනන්දු වුණේ නැත්තෙ තමන් කැමති දේකට තාත්තා ඉඩ නොදෙන බව දැනගෙන හිටපු නිසයි. 


අන්තිමේ අනුෂ්කාට විවාහයක් තීන්දු වෙනකොට ඇගේ වයස අවුරුදු තිස් හතරකුත් වෙලා. අනුෂ්කාත් දීපාලුත් අතර විවාහය සිද්ධ වුණේ ඒ විදිහට. දීපාල් කලින් විවාහ වෙලා හිටපු කෙනෙක්. බිරිඳ ඔහු අතහැර ගිහින් තිබුණා. ඉන්පස්සෙ දික්කසාදයකින් දෙන්නා වෙන්වෙලයි හිටියේ.

ඔවුන්ට දරුවන් සිටියෙ නෑ. මෙවැනි කෙනෙක් බෑණා කරගන්න අනුෂ්කගෙ තාත්තා කවදාවත් හිතල තිබුණෙ නෑ. ඒත් විවාහ යෝජනා හොයල හෙම්බත්ව හිටපු අනුෂ්කාගේ තාත්තා මේ යෝජනාවට අන්තිමේ එකඟ වුණේ අනුෂ්කාගෙ කේන්දරේට දීපාල්ගෙ කේන්දරේත් හොඳින් ගැළපුණු හින්දයි.

විවාහයෙන් පස්සෙ අනුෂ්කගෙ ගෙදර පදිංචි වෙන්න දීපාල් කැමති වුණේ නෑ. දීපාල්ටත් වෙනම ගේ දොර තිබුණු නිසා අනුෂ්කාත් සමග ඔහු තමන්ගෙ ගෙදර පදිංචියට ගියා. ඒ ගෙදර හිටියෙ දීපාල්ගෙ අම්මා විතරයි. දීපාල්ගෙ තාත්තා හිටියෙ දීපාල්ගෙ අක්කගෙ ගෙදර. 


ජීවිතේ ගැන හරිහැටි අත්දැකීම් ලබලා තිබුණෙ නැති අනුෂ්කාට දීපාල්ගෙ ගෙදර දැනුණෙ ගොඩක් අමුතු තැනක් විදිහට. දීපාල්ගෙ අම්මා අනුෂ්කා එක්ක කතා කළේ වුවමනාවකට විතරයි. මුළු ගෙදරම වැඩ අනුෂ්කා පිට පැටවුණා. ඒ ගෙදරත් අනුෂ්කාගෙ ගෙදර වගේම ලොකුයි. 

මුළු ගේම අතුපතු ගාල සුද්ද කරන්න, මිදුල අතුගාලා කුණු ටික දවස ගානෙ ගිනි තියන්න විතරක් නෙමේ තුන්වේලම උයන්නත් අනුෂ්කාට
සිද්ධ වුණා. දීපාල්ගෙ අම්මා කිසිම දේකට උදව් කළේ නෑ. අසල්වැසි ගෙදරක කාන්තාවක් උදේට ඇවිත් අනුෂ්කාට උදව් කරලා හවසට ආපහු ගියා. ඒක තමයි අනුෂ්කාට තිබුණු එකම සහනය. 


ඒත් ඒ ගෑනු කෙනා ගෙදරට ආපු වෙලාවෙ ඉඳලා දීපාල්ගෙ අම්මා හිටියෙ ඇහැ ගහගෙන. කොස් ගහයට වවුලන් කාල දාපු කොස් ඇට හැමතැනම වැටිල තිබුණා. ඒත් ඒ කොස් ඇට ටිකක්වත් ප්‍රේමාට ගෙනියන්න දීපාල්ගෙ අම්මා අවසර දුන්නෙ කලාතුරකින්. 

ප්‍රේමාට දුන්නෙ දවස් පඩි. බැරිවෙලාවත් ගෙදර ඉතිරි වුණ කෑම ටිකක් ප්‍රේමාට දුන්නොත් ඒකට හිලව් වෙන්න පඩියෙන් කීයක් හරි අඩුකරන එක දීපාල්ගෙ අම්මාගෙ සිරිත.

කවදාවත් තමන්ගෙ දෙමාපියන් තුළ අනුෂ්කා මේ වගේ ගතිගුණ දැකල තිබුණෙ නෑ. අහල පහළ අය එක්ක, නෑදෑයො එක්ක බෙදා හදා ගෙන කන පුරුද්දක් අනුෂ්කාගෙ අම්මලට තිබුණා. ඒත් මේ ගෙදර හැමදාම හාල් ළිපේ තිබ්බෙ ගාණට මිම්මට. 


උයන පිහන කළමනා විතරක් නෙමේ සුදුලූනු ගෙඩිය, මිරිස් කරල පවා දුන්නෙ දීපාල්ගෙ අම්මයි. දවසක් හදිස්සියෙ දීපාල්ලගෙ නෑදෑ කෙනෙක් ගෙදරට ආවා. ඒ වෙලාවෙ හැටියට ඒ මනුස්සයට බත් කටක් නොදී අරින්න පුළුවන්කමක් තිබුණෙ නෑ.

“අම්මෙ මං ප්‍රේමාත් එක්ක එකතු වෙලා ඉක්මනට බතකුයි, මාළු පිනි දෙකකුයි හදල ගන්නද?” කියලා අනුෂ්කා ඇසුවේ ඒ මනුස්සයා දීපාල්ලගෙම නෑදෑයෙක් හින්දයි.


“ඔළුව හොඳ නැද්ද? විකාර නටන්න ලෑස්ති වෙන්න එපා. ඔය තියන බත් ටික බෙදලා මේසෙට යවන්න. මදිහරියට ප්‍රේමාට කියලා පාන් බාගයක් ගෙන්වගන්න” අම්මා දුන්නු පිළිතුර ඒක.


අන්තිමේ එදා පාන් බාගය දෙකට කපලා හොදි ඇතිලියෙ පිහිදාලයි අනුෂ්කාටයි ප්‍රේමාටයි දවල්ට කන්න සිද්ධ වුණේ. ඒත් මේ කිසිදෙයක් අනුෂ්කා දීපාල්ට කිව්වේ නෑ.


බැරිම තැන කාටත් රහසේ මේ හැමදෙයක්ම අනුෂ්කා තමන්ගෙ ගෙදර ගිය වෙලාවක අම්මාට කිව්වා. අම්මායි තාත්තායි කම්මු‍ලේ අත ගහ ගත්තා තමන්ගෙ දරුවට සිද්ධ වුණු දේ ගැන.


“අම්මලා කවදාවත් වේලක් කන්න බලා ගෙන එහෙ එන්න එපා. ඔය කුම්මැහි ගෑනි ඒකටත් කියවයි.” අනුෂ්කා කිව්වේ තමන්ගේ අසරණකම නිසාමයි.


ඊට පස්සෙ අනුෂ්කාගෙ අම්මයි තාත්තයි අනුෂ්කාව බලන්න ආවෙ හත් අට දෙනෙකුට සෑහෙන්න බතුයි හොදි මාළු පිණියි උයාගෙන. එදාට දීපාල්ගෙ අම්මාගෙ මූණ හරි එළියයි.


“අනේ මොකට කරදර වෙනවද? අපට කන්න වේලක් දෙන්න බැරුවයැ” කියමින් දීපාල්ගෙ අම්මා ඒ කෑම එදාටත් කාලා ඊට පස්සෙ ඉතුරු ටික පහුවදාට කන්න ශීතකරණයෙත් දාලා තියනවා. පහුවදාට ගෙදර උයන්නෙ නෑ.


ප්‍රේමාත් එක්ක අනුෂ්කා වැඩි කතාබහට යනවට දීපාල්ගෙ අම්මා කොහෙත්ම කැමති නෑ. ඇය හිතුවෙ ඔවුන් දෙන්නා එකතු වෙලා තමන් ගැන වැරදි කියනව කියලයි. ඒ නිසා ඒ දෙන්නා කුස්සියෙ උයන පිහන කොට පවා දීපාල්ගෙ අම්මා හැංගිලා ඔවුන්ගෙ කතා අහගන හිටියා.


ගෙදරදි කුස පිරෙන්න කැමති කැමති දේවල් කාපු බිපු අනුෂ්කාට දීපාල්ගෙ ගෙදරදි තදින්ම කෑම හිඟය දැනුණා. දීපාලුයි අම්මයි කෑම කෑවට පස්සෙ ඉතුරු වෙන දංකුඩය තමයි හුඟක් වෙලාවට අනුෂ්කයි ප්‍රේමායි කෑවෙ. 

බඩගින්නට කහට තේ එකක්වත් අමතර වෙලාවකදි හදා ගන්න විදිහක් නෑ. සේරම බඩු පැන්ට්‍රි කබඩ්වල දාල ලොක් කරලා යතුරු කැරැල්ල තිබුණෙ අම්මගෙ ඉණේ.

“මට දැන් මේ ජීවිතේ ඇතිවෙලා. බඩගින්නෙ ඉඳලම මගෙ පණ ගිහින් තියෙන්නෙ.” බැරිම තැන දීපාල්ට අනුෂ්කා පැමිණිලා කළා.
“මං මොනව කරන්නද අනුෂ්කා?


අම්මට හොරෙන් ඔයාට මොකුත් ගෙනත් දෙන්නත් මට බෑනේ. අම්මා දැක්කොත් මහ විනාශයක් වෙයි.” දීපල් කනගාටුවෙන් කිව්වා.
“අපි යමු අපේ ගෙදර” බැරිම තැන අනුෂ්කා යෝජනා කළා.


“අම්මාව දාලා යන්නෙ කොහොමද? මොනව වුණත් ඒ මනුස්සයව මැරෙන කල් මං බලාගන්න එපැයි.”
දීපාල් දුන්නු උත්තරය ඒක.


මේ වෙනකොට අනුෂ්කා හරිහැටි කෑමක් බිමක් නැතුව කෙට්ටු වෙලා හිටියා. වැඩක් පලක් කරන්නත් අමාරුයි. ඇඟට කිසි පණක් නෑ. ඊට පස්සෙ එක දවසක කාටත් නොදැනෙන විදිහට ප්‍රේමා ලවා තාත්තට දුරකථන ඇමතුක් දීලා තාත්තත් එක්ක අනුෂ්කා දීපාල්ටත් නොකියම මහ ගෙදර ගියා. 


දීපාල් ආවෙ නෑ අනුෂ්කාව බලන්න. ඒත් දුරකථනයෙන් කතා කරමින් ගෙදර එන්න කියල බල කරනවා. සදාකාලිකවම තනිව හිටියත් ආයෙමත් දීපාල්ගෙ ගෙදරට යන්න අනුෂ්කාගෙ අදහසක් නෑ.
 
Related Posts with Thumbnails