Ads 468x60px

.

එයා වෙන අයට ළංවෙලා ඉන්නවාට, මට ඊර්ෂ්‍යා හිතුණා - නවක නිළි නිරෝෂා


මගේ ඇඟේ 
තියෙන්නෙත් 
ඒකමද මන්දා

දඟකාර, කටකාර චරිතවලින් ප්‍රේක්ෂක අපි ඉදිරියට එන නවක නිළි නිරෝෂා තලගල මේ දිනවල ඉතා කාර්ය බහුල නිළියක් වෙලා. 

ඉතා අසීරුවෙන් ඇය පිළිබඳ තොරතුරු ටිකක් ලබා ගැනීමට අපි උත්සාහ කළා. ඇය සමග සිදුකළ කතාබහ එක් කළ අයුරුයි මේ.

නිරෝෂා මේ දිනවල මොකද කරන්නේ? 

කටකාර නිරෝෂා සමග මම කතාවට මුල පිරුවේ එහෙම.

“මම මේ දිනවල ‘ආලෝකෝ උදපාදි’ චිත්‍රපටයට දායකවෙලා ඉන්නවා. ‘වෙද හාමිනේ’ ටෙලි නාට්‍යයේ රූගත කිරීම් වලට දායක වෙලා ඉන්නවා. ඊට අමතරව භාරගත් ටෙලි නාට්‍යවල වැඩකටයුතු අවසන් කළා.” කියලා නිරෝෂා සුපුරුදු කටකාරකමින් වෙනදා වගේම එක හුස්මට කියාගෙන

ගියා.

කොහොමද ප්‍රේක්ෂක ප්‍රතිචාර?

 
“මතෛක් මම රඟපෑ නාට්‍යවලින් වැඩිපුරම ප්‍රතිචාර ලැබුණේ ‘මුතුපලස’ හා ‘රනා’ ටෙලි නාට්‍ය චරිතවලට. හිතුවට වඩා ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබුණා. ගොඩක් සතුටුයි.” ඇයගේ පිළිතුර ලබාදුන්ගේ විදිහෙන්ම අපිට ඇයගේ සතුට වැටහුණා.

ඇයි නිරෝෂාට දඟකාර, කටකාර චරිත වැඩිපුරම ලැබෙන්නේ? මම ඇහුවා

 
“මම හිතන්නේ මම ඒ චරිතවලට සාධාරණයක් කරමින් මගේ කාර්යය හොඳින් කරන නිසා. මගේ ඇඟේ තියෙන්නෙත් ඒකමද මන්දා. ඇත්තටම මම මට ලැබෙන චරිතය පුළුවන් උපරිමයෙන් කරනවා. ඒ නිසා වැඩිපුරම මට කටකාර චරිත ලැබෙනවා ඇති.” කියලා නිරෝෂා එක හුස්මට කියාගෙන ගියා. ඇත්තෙන්ම ඇය කටකාරයි කියලා මට තේරුම් ගියා.

එතකොට එකම චරිතවලට කොටුවෙලා වගේ නැද්ද?

 
නිතරම දඟකාර චරිතවලින් අපි හමුවට එන නිසා මම නිරෝෂාගෙන් එහෙම ඇහුවා.“නෑ. එකම චරිතවලට කොටුවෙලා නෑ මම. මම කළ හැම චරිතයක්ම එකිනෙකට වෙනස්. නමුත් ඒ චරිතවලින් මගේ කටකාරකම ඉස්මතු වෙනවා ඇති. එහෙම නැතිව එකම චරිතයකට කොටුවෙලා නෑ. පැහැදිලි වෙනසක් තියෙනවා.”

නිරෝෂා සාමාන්‍ය ජීවිතයේත් කටකාර, සැරපරුෂ චරිතයක්ද?

 
“සැර නම් නෑ. කටකාරයි. ඒ වගේම දඟකාරයි. මම මගේ වයසටත් වඩා දඟයි. මම හරිම සරල සැහැල්ලු කෙනෙක්. කියන්න තියෙන දේ කෙළින්ම කියනවා. හැබැයි මෑතකදී ඉඳලා මම හිතලාම කට අඩු කරන් ඉන්නවා.”

කට පාලනය කරගෙන ඉන්නේ කලාව ගැන කලකිරිලද?

 
“අ‍පෝ නෑ. මම මේ දිනවල ‍පොතපත කියවන්න කාලය වැය කරනවා. එහෙම ‍පොතපත ඇසුරු කරද්දී හිතුණා අවශ්‍ය දේ විතරක් කතා කළාම ඇති කියලා.” නිරෝෂා සුපුරුදු සිනාවෙන් අපට පිළිතුරු දුන්නා.

කට නිසා නිරෝෂට පාඩුවෙලා තියෙනවාද?

 
“අ‍පෝ කොහෙත්ම නෑ. මම කේලාම්, ඕපාදූපවලට මගේ කට යොදවන්නේ නෑ. ඒ නිසා පාඩුවෙලා නෑ. ඒත් පාඩුවක් වෙන්න කලින් මම කට පාලනය කරගන්න උත්සාහ කරනවා.”

ඔය කටකාරකම දේශපාලනයට යොමු කළොත් හොඳ නැද්ද?

 
“අනේ නැහැ. මැරෙන මොහොතකට කලින් කතා කළත් මම දේශපාලනයට නම් එන්නේ නෑ. මම දේශපාලනය දන්නේ නෑ. මම අකමැතිම විෂයයක් දේශපාලනය. ඇත්තම කියනවා නම් මම ස
හර ඇමැතිලාගේ නම්වත් දන්නේ නෑ. ඒ ගැන කියන්නත් ලජ්ජයි.”

සමහර නිළියන් දේශපාලනයට පිවිසෙන එක ගැන මොකද හිතන්නේ?

 
දේශපාලනය කරන්න නම් ඒ පිළිබඳ දැනුමක් තියෙන්න ඕන. කතාව විතරක් මදි. එහෙම සුදුසුකම් නැති අය දේශපාලනයට පිවිසෙන කොට නම් දුකයි. ඒත් සමහර නිළියන් රටට වැඩක් කරන්න දේශපාලනය කරනවා.”

රංගන ක්ෂේත්‍රයට පිවිසෙන්න හිතුවේ ඇයි?

 
“මම මුලින්ම නර්තනය කළා. මගේ මහත්තයා කිව්වා මට රඟපාන්න පුළුවන් කියලා. එයාගේ පෙරැත්ත නිසාමයි මම රංගනයට යොමුවුණේ.”

මහත්තයා ගැන විස්තර ටිකක් කිව්වොත්?

 
“මගේ මහත්තයා අසේල ප්‍රියදර්ශන. එයා විදේශගතවෙලා ඉන්නේ. එයා මුලින්ම නිරූපණ ක්ෂේත්‍රයේ රැකියාව කළේ. මම අකැමැති වුණා එයා වෙන අයට ළංවෙලා ඉන්නවාට. මට ඊර්ෂ්‍යා හිතුණා. ඒ නිසා එයා ඒ රැකියාවෙන් ඉවත්වෙලා පුද්ගලික ආයතනයක රැකියාවට ගියා. දැන් විදේශගතවෙලා ඉන්නවා.”

ඔබට තවත් කෙනෙක් අභියෝගයක් වෙලා තියෙනවාද?

 
“මට හැමෝම අභියෝගයක්. එහෙම හිතලා වැඩ කරනකොට ඉදිරියට යන්න පුළුවන්. මම මොන දේ කළත් ඒක අභියෝගයක්.”

පවු‍ලේ තව කවුද ඉන්නේ?

 
“අම්මයි, තාත්තයි, අක්කයි, නංගියි. එච්චරයි.”
 
Related Posts with Thumbnails