Ads 468x60px

.

රනා ටෙලි නාට්‍යයේ "සුදුනෝනි" රනා ගැන පෙමින් බැඳෙයිද...?

ඒක දන්නෙ ඒ අයගේ හිත්

ආශා එදිරිසිංහ කියන නමට වඩා අද ප්‍රේක්ෂක ජනතාව ඇයව හඳුනන්නේ ශ්වේතා හෙවත් සුදුනෝනි ලෙසයි. 

මේ දිනවල විකාශය වන රනා ටෙලි නාට්‍යයේ දක්ෂ ලෙස රංගනයෙන් දායක වන නිසා ඇයට මෙවර රයිගම්  ටෙලි සම්මාන උළෙ‍ලේ ජනප්‍රියම නිළියට හිමි සම්මානය හිමිවුණා. ඒ නිසාම ඇගේ  අලුත් තොරතුරු දැනගන්න අපි ඇයට කතා කළා.

මේ දවස්වල සතුටින් නේද කාලය ගත කෙරෙන්නේ.?

 
ඔව්. ගොඩක්ම සතුටුයි. රනා ටෙලිනාට්‍යයට ලැබෙන ප්‍රතිචාරවලට ඒ වගේම මට දෙවැනි වතාවටත් රයිගම් ටෙලි සම්මාන උළෙ‍ලේ ජනප්‍රිය නිළියට හිමි සම්මානය ලැබුණා. 


සම්මානයෙන් පසුව හිතුවටත් වඩා ප්‍රේක්ෂක ප්‍රතිචර ලැබෙනවා. මගේ සම්මානය සඳහා එස්.එම්.එස්. එවපු ආදරණීය ප්‍රේක්ෂක ජනතාව මම මේ මොහොතේ  ආදරෙන් මතක් කරනවා.

රනා ටෙලි නාට්‍යයේ ශ්වේතා හෙවත් සුදුනෝනි ලෙස රංගනයෙන් දායක වීම සඳහා අවස්ථාව ලැබිම ගැන මොකද හිතෙන්නේ.?

 
රනා ටෙලි නාට්‍යයට රංගනයෙන් දායක වීමට අවස්ථාව ලැබිම මම ලබපු ලොකු භාග්‍යයක්. මොකද මගේ මව විදියට රංගනයෙන් දායක වෙන්නේ මම ගොඩක් ආදරය කරන සිනමා නිළි මාලනී ෆොන්සේකා මහත්මිය.


ඊට අමතරව ගොඩක් ප්‍රවීණ අය එක්ක මට වැඩ කරන්න ලැබුණ එක මගේ හීනයක් සැබෑ වුණා වගේ. මම ගොඩක් කල් හීන මැව්වා මාලනී
ෆොන්සේකා මහත්මියත් එක්ක එකට රංගනයේ යෙදෙන්න. ඉතින් රනා ටෙලි නාට්‍යයෙන් මගේ ඒ හීනය  සැබෑ වුණා.

යශේන්ගේ ඈත්වීම ශ්වේතාට දැනෙන් නැත්තේ රනා නිසාද?

 
යශේන්ගේ ඈත්වීම ශ්වේතාට ගොඩක් දැනුණා. මොකද ශ්වේතා හිතන්නෙ එයා ඉක්මනින් ජීවිතෙන් සමුගන්නකම් යශේන් එයත් එක්ක ඉඳීවී කියලා.  ශ්වේතාගේ ජීවිතේ අවදානමත් එක්ක යශේන්ව අනතුරකට දාන්නද හොඳ නෑ කියලා ශ්වේතා විශ්වාස කරනවා.

ඒ කියන්නේ රනා ගැන ‍පොඩි බලා‍පොරොත්තුවක් ශ්වේතාට නැද්ද?


දැනට ශ්වේතාට රනා ගැන තියෙන්නේ ලොකු ගෞරවයක්. පස්සේ ඒ ගෞරවය ආදරයකට හැරේවිද කියලා කියන්න බෑ.

රනා කියන්නේ මෙගා ටෙලිනාට්‍ය කලාවට අලුත් වෙනසක්  කරපු ටෙලි නාට්‍යයක්. ඒ වෙනස සාර්ථකයි කියලා ආශා හිතනවද?

 
ඔව්. ලැබෙන ප්‍රතිචාරත් එක්ක ඒ වෙනස සාර්ථකයි කියලා තමයි හිතෙන්නේ. ස්වාධීන රූපවාහිනි සේවයේ සභාපතිතුමාගේ අදහසකට අනුව තමයි මේ ටෙලි නාට්‍යය නිර්මාණය වුණේ. 


එතුමා ඒ ගත්ත තීරණය සාර්ථකයි කියලා හිතෙන්නේ ලැබෙන ප්‍රතිචාරත් එක්ක. දීර්ඝ ටෙලි නාට්‍යකරණයට ගුණාත්මක දෙයක් කරන්න හදපු මේ රනා ටෙලි නාට්‍යය සියයට සීයක් සාර්ථකයි කියලා මම විශ්වාස කරනවා.

රනා ටෙලි නාට්‍යයේ රූපගත කිරීම් වැඩි වශයෙන් සිදුවුණේ රන්මිනිතැන්න ටෙලි සිනමා ගම්මානයේ කොහොමද ඒ අත්දැකීම.

 
සැප පහසු පරිසරයක් නෙමේ එහේ තියෙන්නේ. ඒ පරිසරය හරිම කර්කශයි. ඒත් වියළි බවට එහා ගියා සුන්දරත්වයක් තියෙනවා කියලයි මට දැනෙන්නේ.  රන්මිනිතැන්නේ තියෙන පහසුකම් නම් ඉතාම ඉහළ මට්ටමක තියෙන්නෙ. 


ඒ නිසා පරිසරය කර්කශ වුණත් ඒ විඩාව එච්චර දැනෙන් නෑ. ඒ වගේම ඒ දර්ශනතල එකිනෙකට ගොඩක්ම වෙනස්. ඒ නිසා දර්ශනවලින් පුදුමාකාර සහයෝගයක්  තියෙනවා.

පුංචි තිරයෙන් විතරද ආශාට ආරාධනා ලැබෙන්නේ.

 
නෑ. මට  සිනමාවටත්  ආරාධනා කිහිපයක් ලැබුණා. සමහර නිර්මාණ රූපගතකිරීම්වලට විදේශගත වෙන එක නිසා මම පිටරටකට යනවා නම් අනිවාර්යෙන්ම අම්ම හරි  තාත්තා හරි එක්ක තමයි යන්නේ. 


ඒ නිසා සමහර ආරාධනා ප්‍රතික්ෂේප කරන්න වුණා. අනිත් චරිතවලට සාධාරණයක් කරන්න බෑ කියලා හිතුනා. ඒ වගේම මම මගේ රාමුවකට ප්‍රතිපත්තිවලට පිටින් වැඩකරන්න කැමති නෑ.

රංගනයට එකතු වෙන නවකයන් ගැන මොකද හිතෙන්නේ.?

 
නවක පිරිස ගැන මට ගොඩක්ම සතුටුයි. මොන ක්‍ෂේත්‍රයක වුණත් නවකයන් නැතුව අපට පැවැත්මක් නෑ. පරම්පරාවක් යනකොට අලුත් පරම්පරාවක් එකතු වෙන්න ඕනෑ. අද එක්වෙන අය ඉතාමත් දක්ෂ රූපය අතින් ලස්සන අය ඉන්නවා.


මේ ක්‍ෂේත්‍රයේ ඉස්සරහට යන්න නම් මනුස්සකම් අතින් ඉස්සරහට යන්න ඕනෑ. දක්ෂතාවය  වැඩිදියුණු කරගන්න. එතකොට පරිසරය පවා ආශිර්වාද කරනවා. කරුමය අනුව පලවිපාක දෙනවා. අපි මොන වැරැද්ද කළත්.

අධ්‍යක්ෂවරුන්ගෙන් නිළියන්ට අයුතු බලපෑම් එල්ල වෙනවා කියන කතාව ඇත්තද?

 
ඒ වගේ සිද්ධි ගැන කියවද්දි අහද්දි කොයි පැත්තෙද වැරැද්ද තියෙන්නේ අපි දන්නේ නෑ. දෙපැත්තෙන්ම වැරදි තියෙන්නත් පුළුවන්.  ඒක දන්නෙ ඒ අයගේ හිත්. අපි යහපත් ගමනක් යනවානම් ඒ වගේම දක්ෂතාවය, හොඳ මනුස්සකම තියෙනවානම් අපිට ප්‍රශ්න ඇතිවෙන් නෑ. 


අද ජනප්‍රියත්වය වෙනුවෙන් ඕන දෙයක් කරන්න පුළුවන්. ඒත් ඒ දේට පැවැත්මක් නෑ. මොකද ඒ දේවල් තාවකාලිකයි.

ආශාට එහෙම බලපෑම් ඇවිත් තියෙනවාද?

 
මට කවදාවත් බලපෑම් ඇවිත් නෑ. මොකද මම හැම කෙනෙක් එක්කම ඉන්නේ සහෝදරයෝ වගේ. ඒ වගේම මම කාටවත් වචනයකින්වත් වැරදි කරන්න කැමති නෑ.

නිෂ්පාදිකාවක් විදියට රංගනයෙන්  දායක වෙන්නෙ තමන් නිෂ්පාදනය කරන ටෙලි නාට්‍යවල විතරද?

 
එහෙම නෑ. හැබැයි මම රංගනයෙන් දායක වන නිර්මාණ ප්‍රමාණය ගොඩක්ම අඩුයි. හොඳ නිර්මාණයක් ලැබුණොත් මට ලැබෙන චරිතෙට සාධාරණයක් කරන්න පුළුවන් කියලා හිතුනොත් මම ඒක භාරගන්නවා. හැබැයි එක ටෙලි නාට්‍යයක් කරන අතරතුර තවත් ටෙලිනාට්‍යයක් භාරගන්න මම කැමති නෑ.
 
Related Posts with Thumbnails