Ads 468x60px

.

බිරිඳගෙන් පළිගන්නට බිරිඳයි දියණියයි දෙන්නාම මරා දැමූ සැමියා

කුරුවිට ‍පොලිස් ස්ථානයේ සිට කිලෝ මීටර් දහයක් පහළොවක් පරකඩුව පැත්තට ගිය විට හමුවන කිරිබත්ගල ගම්මානයේ ජීවත්වන්නේ අව්‍යාජ අහිංසක ගැමියන් පිරිසකි. 

සබරගමුවේ  ඇති අති දුෂ්කර ගම්මානයක් වන එහි ජීවත්වන ගැමියන් සාමකාමීය. ගොවිතැන් බතක් කරගෙන සරල ගති පැවතුම් ඇතිව ජීවත්වන මේ ගැමියන්ට පසුගිය 06 වෙනිදා හිරු නැග  එමින් තිබියදී අසන්නට ලැබුණේ සිත් කම්පා කරවන අසුභ පුවතකි. 

ඒ ගම්මානයේ නිවසකට ගිනි තබා මුළු පවුලක්ම මරා දැමීමට තැත් 
කිරීමක් ගැනය. මුළු පවුලක්ම මරා දැමීමට ඒ ඝාතකයා ගත් උත්සාහය මුළුමනින් සාර්ථක නොවුණත් අහිංසක මල් කැකුළක්වන් සිඟිති දියණියක් ඒ ගින්නට බිලිවූයේ ඇගේ මවත් සමගිනි. 

තවමත් වයස අවුරුදු දෙකක් වූ මේ  සුරතල් දියණිය තරුෂි මෙත්සරාය. ඇගේ මව අංජානි ප්‍රේමකාන්තිය. ඇය විසිතුන් වියැතිය. මේ දෙදෙනා පණපිටින් පුළුස්සා මරා දැමූ බවට චෝදනා එල්ලවන්නේ වෙන කිසිවෙකුට නොව ඒ දරුවාගේ පියාටමය. නැති නම් අංජානිගේ
සැමියාටය.  විසිහය වියැති ඔහු වෙනුර ප්‍රියන්තය.

වෙනුර නිවසට කළ ගිනි තැබිමෙන් ඔහුගේ බිරිඳත්, සිඟිති දියණියත් මිය ගිය අතර තවත් දෙදෙනෙක් තවමත් බරපතළ පිළිස්සුම් තුවාල ලබා රෝහල්ගතව ප්‍රතිකාර ගනිමින් සිටිති. ඒ අංජානිගේ මව සහ සහෝදරයාය. ඒ විතරක් නොව, වෙනුරද පිළිස්සුම් තුවාල ලැබිය. 


දැන් ඔහු සිටින්නේ බන්ධනාගාර නිලධාරීන්ගේ දැඩි ආරක්ෂාව යටතේ රත්නපුර මහරෝහ‍ලේ පිළිස්සුම් තුවාල වලට ප්‍රතිකාර ලබමිනි. මෙයට වසර තුනකට පමණ පෙර අංජානිත් වෙනුරත් දෙමාපිය ආශිර්වාදය ඇතිව එක වහලක් යටට එන්නේ වසරක ප්‍රේම සම්බන්ධයක ප්‍රතිඵලයක් වශයෙනි. 

අංජානිගේ ගම කිරිබත්ගලය. වෙනුර දැරණියගල, ඉළුක්තැන්න වත්තේය. වෘත්තියෙන් පෙදරේරුවෙකු වන වෙනුරට අංජානිව මුණ ගැසුණේ යැයි සඳහන් වන්නේ පෙදරේරු රැකියාවට පරකඩුව පැත්තේ ආගිය විටකදීය.

විවාහයෙන් පසු මේ යුවලට දාව උපන් සුරතල් දියණිය තරුෂිය. ඇය සමග ඔවුන් සතුටින් සමාදානයෙන් කිරිබත්ගල අංජානිගේ මහ ගෙදර ජීවත්වුවත් පෑල දොරින් ඒ සමගිය පලායන්නේ දෙදෙනා අතර ඇතිවූ සුළු ආරවුල්වලට ඇගේ මව සහ සහෝදරයන් මැදිහත්වීමට පටන් ගැනීමත් සමග බව පැවසේ. 


එහි අවසාන ප්‍රතිඵලය වසර දෙකක් යන්නට මත්තෙන් ඒ විවාහය දෙදරා යාමය. අංජානි සිය සැමියාට එරෙහිව නඩත්තු නඩුවක් පවා ගොනු කළාය. එහි තීන්දුව වන්නේ ඇයටත් දියණියටත් ජීවත් වන්නට මාසිකව රුපියල් 4,000 ක මුදලක් ගෙවන ලෙසය. 

ඔහු මාස නවයක් තිස්සේ අධිකරණ නියෝගයට ගරුකරමින් නඩත්තු ගෙවන්නට ගත්තත් ඇය කිසි විටක ඔහු සමග වචනයක්වත් කතා කළේ නැත. අනාවරණය වී ඇති ආකාරයට අනුව දියණියව බලන්නටවත් ඇය ඔහුට ඉඩ දී නැත. 

දැරණියගල ඥාති නිවසක රැඳී සිටි ඔහු කිහිපවිටක්ම දරුවා බැලීමට උත්සාහයක නිරතවුවත් එයට ඉඩක් නොලැබුණු තැන තීරණයකට එළඹෙන්නේ තමාට දියණිය බලන්නට ඉඩ නොදෙන සියල්ලන්ම මරා දමන්නටය.

ඊට සූදානමින් වෙනුර දැරණියගල සිට ඉකුත් 05 වෙනිදා සවස පරකඩුවට එන්නේ  දැරණියගල නගරයේ ඇති ඉන්ධන පිරවුම්හලකින් පෙට්‍රල් ලීටර හතරක් බූලියකටද පුරවාගෙනය.


ඔහු පරකඩුවට ඒ එන විට හතර වටින් අඳුර වැටී තිබිණි. පරකඩුවේ සිට කිලෝමීටර හය හතක් අඳුරේම පාගමනින් කිරිබත්ගලට පැමිණි ඔහු මැදියම පසුවනතුරුම නිවසේ පිළිකන්නේ සැඟවී සිට ඇත. 


එතරම් කාලයක් සැඟවී සිටින්නට සිදුවන්නේ රූපවාහිනී නාලිකාවක් සංවිධානය කළා වූ රියැලිටි සංගීත වැඩසටහනක් සජීවීව රූපවාහිනියෙන් විකාශය වූ බැවින් නිවැසියන්  එය නරඹමින් අවදියෙන් සිටි බැවිනි.


මැදියම පසුවී සියලු දෙනාම නින්දට ගිය පසු අලුයම එකට කිට්ටු වනවිට සැඟවී සිටි තැනින් වෙනුර එළියට ආවේය. ගසකට හේත්තුකර තිබුණු ඉනිමගක් සොයාගත් ඔහු එය නිවසේ කාමරයක ජනේලයක් අසල තැබුවේය. අංජානිත්, දියණියත්, අංජානිගේ මවත් නිදා සිටියේ එම කාමරයේය. අංජානිත්, දියණියත් ඇඳමත සිටියදී මව ඇඳ පාමුල බිම නිදාගෙන හුන්නාය.


ජනේලය අසල තැබුණු ඉනිමග දිගේ වෙනුර ඉහළට නැග ජනේලය වැසෙන්නට දැමුණු ඉටි කොළය වාකවුළුව අසලින් කපා දැමුවේය. අනතුරුව ඒ හිඩැසෙන් කාමරයට පෙට්‍රල් විසි කළේය.


පෙට්‍රල් වැටෙන විට ඇඟට දැනුණු සීතලයට අංජානි ඇහැරුණේය. ජනෙල් කවුළුවෙන් බලා සිටින වෙනුරව දුටු ඇයට එකවරම කෑගැසුණේය. එයින් කලබලවූ වෙනුර ගිනි පෙට්ටිය අතට ගෙන ගිනි කූරක් දැල්වීය. 


එය කාමරය තුළට වා කවුළුවෙන් විසිකරනවාත් සමගම බෝම්බයක් පුපුරන්නාක් මෙන් හඬක්ද සමග ගිනි ජාලාවකින් කාමරය පිරී ගියේය. ඒ ගිනි ජාලාව වාකවුළුවෙන්ද පිටතට ආවේ ඉනිමගේ එල්ලී සිටි වෙනුරගේ පපු පෙදෙසද පුළුස්සා දමමිනි.

ගිනි ජාලාවෙන් වැසුණු කාමරයේ එකම කෑමොර හඬකි. ඒ හඩින් අවදි වන, අසල කාමරයක නිදා සිටි අංජානිගේ සහෝදරයා අඩ නින්දෙන්ම දිව ආවේය. ගිනි ජාලාව මැදින් කාමරයට ගිය ඔහු ඇඳ මත පිළිස්සෙමින් සිටි තරුෂිව අතට ගෙන පිටතට විසි කළේය. 


අනතුරුව ගිනි ගනිමින් සිටි අංජානිවත් මවවත් කාමරයෙන් පිටතට රැගෙන ආවේය. ඒ වන විට ඔහුද හොඳ හැටි පිළිස්සී සිටියේය. ඒ අයව රත්නපුර රෝහලට රැගෙන යන්නේ අසල්වාසීන්ය.

රත්නපුර රෝහ‍ලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කළ ඒ අයගෙන් තරුෂි දියණිය,  රෝහල් ගතකර පැය කිහිපයක් තුළ මෙලොව හැර දා ගියාය. අංජානි මිය යන්නේ දින තුනකට පසුවය. අංජානිගේ මව සහ සහෝදරයා වන වසන්ත සිටින්නේ තවමත් රෝහල් ගතවය.
 
Related Posts with Thumbnails