Ads 468x60px

.

ධනිඳු බේරා ගැනීමේ මහා වික්‍රමය මුල සිට අගට...

ධනිඳු යෂේන් පුතා පිංවන්තය. ආකර්ෂණීය මුහුණක්‌ ඔහුට තිබුණේය. ඒ ආකර්ෂණය මුළු රටේම අවධානය තමන් වෙත යොමුකර ගැනීමට ඔහු සමත් වුණේය. ධනිඳු පැහැරගෙන ගිය දා මුළු රටම හඬා වැළපුණේය. හදවත් ඇති කාටත් දැනුණේ තමන්ගේ දරුවකු අහිමි වුණාක්‌ බඳු හැඟීමකි.

සිව් දිනක්‌ තිස්‌සේ ලක්‌වාසීන්ගේ හදවත් කම්පනයට පත් කළ පුංචි ධනිඳු අද තම සෙනෙහෙබර පියාගේ තුරුලේ සුරතල් වෙමින් සිටියි. කප්පම් කල්ලියක්‌ තමන් පැහැරගෙන ගොස්‌ සිරකරගෙන සිටි බවක්‌ ඔහු තවමත් දන්නේ නැත. තම ජීවිතය අවිනිශ්චිත තත්ත්වයක තිබූ බවවත් ඔහු දන්නේ නැත. තමන් වෙනුවෙන් මුළු රටම හඬා වැටුණු බවද ධනිඳු දන්නේ නැත.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ධනිඳු බේරාගෙන ආ දිනය මීගලෑවට පමණක්‌ නොව මුළු රටටම ප්‍රීතිජනක දිනයක්‌ විය. තම දරුවා බේරාගෙන ආ දින ධනිඳුගේ පියා රහස්‌ පොලිසියේ වීරයන්
ඉදිරියේ වැඳවැටුණේය.

සී. අයි. ඩී. එකේ මහත්තුරුන්ටයි පොලිසියටයි බුදුබව අත්වෙන්න ඕනෙ. මගේ පුංචි දරුපැටියා අද ජීවතුන් අතරේ ඉන්නේ ඒ අය නිසා...සී. අයි. ඩී. මහත්තුරු මීගලෑවට ඇවිත් දවසක්‌ ගත වුණේ නැහැ. මගේ රත්තරං පැටියා අතටම ගෙනල්ලා දුන්නා.

පුංචි ධනිඳුගේ පියා මහින්ද කුමාර ඒකනායකගේ දැස්‌වලින් සට සට ගා උණු කඳුළු කැට කඩාහැලෙයි. ඒ සතුටු කඳුළුය. සතුටු කඳුළු අතරින් ඔහු සිනාසුණේය. මහා ඉඩෝරයක්‌ නිම වී වර්ෂාවක්‌ ඇදහැලුණාක්‌ මෙන් මුළු මීගලෑවම පිබිදී ගියේ ධනිඳුගේ පැමිණීමත් සමඟය.

කප්පම්කරුවන්ගෙන් බේරාගත් පුංචි පුතු ඒ වන විට සිටියේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්‌පති රවී සෙනෙවිරත්න මහතාගේ තුරුලේය. මව්පිය උණුසුම අහිමිව දින ගණනක්‌ තිස්‌සේ වේදනා විඳිමින් සිටි පුංචි ධනිඳු පුතා පියාගේ තුරුලට ආවේ රටක්‌ රාජ්‍යයක්‌ ලබාගත්තකු ලෙසය.

ගම්භාර දෙවියෝ මගේ දරුවා ආරක්‍ෂා කළා. පොලිසියේ දෙවිවරු මට දරුවා ආපසු ගෙනල්ලා දුන්නා.

ධනිඳු ඔසවාගෙන ගොස්‌ නිවසේ බුදු පහන අසලින් තැබූ මහින්ද වැඳ වැටුණේය. මේ සිදුවීම් මාලාව හද කකියවන සුලුවිය. එය රැස්‌ව සිටි ගම්වාසීන්ගේ පමණක්‌ නොව නිල ඇඳුම් ලාගත් පොලිස්‌ නිලධාරීන්ගේ පවා දැස්‌ කඳුළින් තෙත් කරවන්නට සමත් වුණේය.

පුංචි ධනිඳු අතුරුදන් වීම මීගලෑවට පමණක්‌ නොව මුළු රටටම ප්‍රශ්නයක්‌ වී තිබුණේය. ඉකුත් 28 වැනිදා ඒ මූසල රාත්‍රියේ සිදු වූ ෙ€දවාචකය මුළු රටේම ජනතාව කම්පාකරවන සුලු එකක්‌ විය. ජුලි 28 වැනිදා රාත්‍රියේ සිදු වූ ඒ බිහිසුණු කතාන්තරයේ මුල් ජවනිකා දිගහැරෙන්නේ මීට මාස කීපයකට පෙර සිටය.

ධනිඳු යෂේන් ලංකානාත් කුමාර ඒකනායක පුංචි පුතුගේ පියා මීගලෑව ප්‍රදේශයේ ධනවත් වී මෝල් හිමියකු විය. මහින්ද කුමාර ඒකනායක නම් වූ මේ ව්‍යාපාරිකයාගේ බිරිඳ උදේශිකා හේරත්ය. 

උදේශිකාගේ පියා හේරත් මුදලාලි (ධනිඳුගේ සීයා) ද මේ ප්‍රදේශයේම ධනවත් ව්‍යාපාරිකයකු වුණේය. හේරත් මුදලාලිගේ බාල දියණිය විවාහ වී සිටියේ නැත. බාල දියණියට මනාලයෙක්‌ සෙවීමට හේරත් මුදලාලි උනන්දු වුණේය.

"දුවගෙ දැවැද්දට රුපියල් කෝටියක්‌ දෙනවා. තව ඔය තියන ඉඩකඩම් වලින් කොටසකුත් එයාට ලැබෙනවා." හේරත් මුදලාලි තම දියණියගේ දැවැද්ද වෙනුවෙන් විශාල මුදලක්‌ වෙන් කර තිබෙන පුවත මීගලෑව පමණක්‌ නොව අහල ගම් හතේම ප්‍රසිද්ධව තිබුණේය.

මීට මාස කීපයකට උඩදී හේරත් මුදලාලිගේ බාල දියණිය බැලීමට තරුණයකු ආවේය. ඔහු ආවේ විඡේ නමැති තරුණයකු ද සමගය. ඒ තරුණයා වෙන කවරකුවත් නොව ධනිඳු පුතා පැහැරගෙන ගොස්‌ රුපියල් කෝටියක කප්පම් මුදල ඉල්ලූ සංවිධානාත්මක කල්ලියට නායකත්වය දුන් පුද්ගලයාය.

හේරත් මුදලාලිගෙන් කප්පම් මුදල් ලබාගැනීමේ අදහස විඡේගේ සිතේ මුල්වරට ඇතිවන්නේ මේ සිදුවීමෙන් පසුවය.

"හේරත් මුදලාලි ළඟ මහා ධනස්‌කන්ධයක්‌ තියනවා. හොඳ ප්ලෑන් එකක්‌ ගැහුවොත් ලොකු මුදලක්‌ අපට ගන්න පුළුවන්. විඡේ තම සමීපතම මිතුරන් වූ මධුර ජයනාත් සහ සාරංග සමග කීවේය. අවුරුදු 22-23 වයස්‌ සීමාවල පසු වූ මොවුන් සිව්දෙනා වෘත්තියෙන් පෙදරේරුවන් වූහ. විඡේ සහ ජයනාත් පදිංචිව සිටියේ අඹන්පොලය. අනෙක්‌ දෙදෙනා කුලියාපිටියේය.

හේරත් මුදලිලාගෙන් කප්පම් ගැනීම සඳහා මොවුන් සැලසුම් සකස්‌ කරන්නේ ඉන් පසුවය. "හේරත් මුදලාලිගෙ බෑනව (ධනිඳුගේ පියා) උස්‌සමු. එතකොට අපට ලොකු මුදලක්‌ ගන්න පුළුවන් වෙයි."

විඡේ සිය සගයන්ට කීවේය. හේරත් මුදලාලිගේ බෑනා මහින්ද කුමාර පැහැරගෙන ගොස්‌ රුපියල් කෝටියක කප්පම් මුදලක්‌ ලබාගැනීමට ඔවුන් සැලසුම් කළහ.

වී මෝල් හිමියකු වන මහින්ද කුමාර පැහැරගෙන ගොස්‌ සිරකර තැබීමට අඹන්පොල ප්‍රදේශයේ නිවසක්‌ ද මොවුහු කුලියට ගත්හ. ඒ මාසයකට රුපියල් විසිදහසක කුලී පදනම මතය. ජුලි 28 වැනිදා රාත්‍රිය මේ සැලසුම ක්‍රියාත්මක කිරීමට මොවුහු යොදා ගත්තෝය.

මහින්ද කුමාරලාගේ නිවස පිහිටා තිබුණේ මීගලෑව නගරයේ සිට කිලෝ මීටර් 25 ක්‌ පමණ දුරින් වූ අති දුෂ්කර කැලෑ ප්‍රදේශකය. කිසියම් හදිසි අවස්‌ථාවකදී පොලිසියට මේ ප්‍රදේශය වෙත ළඟාවන්නට පැය කීපයක්‌ ගත වන බව කප්පම්කරුවෝ දැන සිටියහ. කප්පම්කරුවෝ එදින රාත්‍රියේ ක්‍රියාත්මක වූහ.

සිදුවන්නට යන මහා ෙ€දවාචකය පිළිබඳ හාන්කවිසියක්‌ නොදැන සිටි මහින්ද ඒකනායක ධනිඳු පුතාට බත් කවමින් සිටියේය.

වේගයෙන් ආ යතුරුපැදි දෙකක්‌ මහින්දගේ නිවස අසල නතර කරන්නේ මේ මොහොතේය. මහින්ද සිතුවේ වෙලට වතුර හැරවීමට යන්නට උක්‌කුබණ්‌ඩා පැමිණි බවයි. ඔහු එකවරම දොර විවෘත කළේ කිසිදු සැකයකින් තොරවය.

එහෙත් සිදු වුණේ කිසිවකුත් නොසිතූ දෙයකි. ව්‍යාඝ්‍රයන් රංචුව එකවරම නිවස තුළට කඩා පැන්නේය. ඔවුන් සියලු දෙනා සිටියේ මුහුණු වසාගෙනය. මහින්ද ඔවුන් නතර කිරීමට උත්සාහ කළේය. 

එහෙත් ව්‍යාඝ්‍රයන් මහින්දගේ ගෙල හරහා පිහි පහර කීපයක්‌ එල්ල කළේ ඔහු අඩපණ කිරීමටය. මහින්ද ඒ ව්‍යාඝ්‍රයන් රංචුව සමග පොරබදන්නට වුණේය. පුංචි ධනිඳුත් වැඩිමහල් සොහොයුරියත් තුෂ්ණිම්භූතව සිටියේ සිදුවන්නට යන්නේ කුමක්‌ දැයි යන්න සිතාගැනීමට නොහැකිවය.

මහින්ද පැහැරගෙන යැම පහසු එකක්‌ නොවන බව කප්පම්කරුවන්ට තේරුම් ගොස්‌ තිබිණි. වැඩි වේලාවක්‌ නිවස තුළ රැඳී සිටීමද භයානක බව ඔවුහු දැන සිටියහ.

තම ග්‍රහණයට ගැනීමේ පහසුම ගොදුර කුමක්‌ දැයි ඔවුහු සොයන්නට වූහ. පුංචි ධනිඳු පුතා මේ ව්‍යාඝ්‍රයන්ගේ නෙත ගැටෙන්නේ ඒ අතරේදීය. මහින්ද පැහැරගෙන යැම පසෙක තැබූ කප්පම්කරුවෝ හය හතර නොතේරෙන අහිංසක දරුවා තම ග්‍රහණයට ගත්තෝය.

"අප්පච්චි මාව බේරගන්න... අනේ අම්මේ..."

පුංචි ධනිඳු පුතා විලාප දෙන්නට පටන් ගත්තේය. එහෙත් ඒ වන විට මහින්දගේ නිවස තුළ තිබුණේ යුද පිටියක ස්‌වරූපයකි. පුංචි පුතාට සිදු වූ දෙය කිසිවකුගේත් නෙත ගැටී තිබුණේ නැත.

"අනේ අප්පච්චි උන් අපේ මල්ලිව අරගෙන යනවා එයාව බේරගන්න...

ධනිඳුගේ හය හැවිරිදි අක්‌කා විලාප නගන්නට වූවාය. ධනිඳු පුතා ව්‍යාඝ්‍රයන් රැල රැගෙන ගිය බව නිවැසියන් දැනගත්තේ එවිටය. මහින්ද පලායන කප්පම්කරුවන් ලුහුබැඳ ගියද ඔවුන් සොයා ගැනීමට හැකි වුණේ නැත.

ධනිඳු පුතා පැහැර ගැනීමේ සිද්ධියෙන් මීගලෑව ගිනිගත්තේය. පසුදා පහන් වන විට මේ සිදුවීම ලැව් ගින්නක්‌ මෙන් රට පුරා පැතිර ගොස්‌ තිබිණි. ධනිඳු පුතා පැහැරගෙන යැම පිළිබඳව මීගලෑව, ගල්ගමුව, ගිරිවැව පොලිසි ඒකාබද්ධව පරීක්‍ෂණ ආරම්භ කළේය. පොලිසිය මීගලෑව පීරන්නට පටන් ගත්තේය.

එහෙත් ධනිඳු පුතා ගැන කිසිම ආකාරයක තොරතුරක්‌ ලැබුණේ නැත. වයඹ පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති ජගත් අබේසිරි ගුණවර්ධන මහතාගේ අධීක්‍ෂණයෙන් පොලිස්‌ කණ්‌ඩායම් පහක්‌ යොදවනු ලැබීය.

ඒ වන විට මහින්දගේ නිවස අපායක්‌ බවට පත්ව තිබුණේය. අසල්වාසීන් මෙන්ම දන්නා හඳුනන බොහෝ දෙනෙක්‌ මහින්දගේ නිවසට රැස්‌ව සිටියේ ධනිඳු පුතා ගැන තොරතුරක්‌ ලබාගන්නා අටියෙන්ය.

මහින්දගේ පවුලේ අයගේ විලාප හඬින් මුළු මීගලෑවම කම්පා වුණේය. පුංචි ධනිඳු වැඩිපුරම සමීපව සිටියේ පියාටය. හේරත් මුදලාලි ද තම මුණුබුරාට අසීමිතව ආදරය කළේය. මවගේ තුරුලේ සුරතල්වීමට ඔහු හැම විටම ප්‍රිය කළේය. "අනේ මගේ පුංචි දරුවට ගහන්න බණින්න එපා. එයාගේ ජීවිතේ රැකෙන්න කන්න ටිකක්‌ දෙන්න. පුතා කිරි බොන්න හරි ආසයි. කිරි ටිකක්‌ එයාට දෙන්න."

මහින්ද හඬා වැළපෙමින් ඉල්ලා සිටියේ දරුවාගේ ජීවිතයට අනතුරක්‌ නොකරන ලෙසය. 29 වැනිදා දවස ගෙවී ගියේ පුංචි ධනිඳු පුතා ගැන කිසිම තොරතුරක්‌ නොමැතිවය. සැකකටයුතු හැම අස්‌සක්‌ මුල්ලක්‌ නෑරම පොලිසිය සොයන්නට වූහ. සැක හිතෙන සෑම පුද්ගලයකුගෙන්ම ප්‍රශ්න කර කටඋත්තර ලබා ගන්නට පොලිසිය ක්‍රියා කළේය.

ඒ වන විට ගම පුරා විවිධ කට කථා පැතිර යන්නට විය. කප්පම් ගන්න පුංචි දරුවා අරගෙන ගිහින් තියෙන්නෙ. ඇතැමුන් කියන්නට වූහ. තවත් අය කීවේ නිධානයක්‌ ගැනීමට බිලි දීම සඳහා ඔහු රැගෙන ගිය බවයි. 

"හේරත් මුදලාලිගෙන් සල්ලි ගන්න ධනිඳු පුතාගෙ තාත්තා ඔය වැඩේ කරවලා තියෙන්නෙ." මෙවැනි කට කථා නිමක්‌ නොවීය. ඒ සියලු දේ පිළිබඳව ද පොලිසිය එකින් එක විමර්ශනය කරන්නට වූහ. එහෙත් කරුමයකි. ධනිඳු පුතා ගැන කිසිම තොරතුරක්‌ නොවීය.

පුංචි දරු පිටියා නිරුපද්‍රිතව ගෙන්වා දෙන ලෙස අයෑදිමින් මීගලෑව පුරා බෝධි පූජා බාරහාර කිරීමට ගම්වාසීන් කටයුතු කළේ හදවතින්මය. මීගලෑවේ පමණක්‌ නොව රටපුරා වෙහෙර විහාරවල කෝවිල්වල, දේවාලවල, මුස්‌ලිම් පල්ලිවල කතෝලික දේවස්‌ථානවල පවා දරුවා වෙනුවෙන් පුද පූජා පැවැත්වූවේ ජාති ආගම් භේදයකින් තොරවය. 

ඕස්‌ටේ්‍රලියාව, නවසීලන්තය, ඉතාලිය ඇතුළු රට වල් ගණනාවක විහාරස්‌ථානවලට රැස්‌වූ ශ්‍රී ලාංකිකයන් ධනිඳු ලැබෙන්නැයි අයෑදිමින් බෝධිපූජා පැවැත්වූහ.

ධනිඳු දරුවා රැගෙන ගොස්‌ දින දෙකක්‌ ගත විය. එහෙත් ඔහු ගැන කිසිදු තොරතුරක්‌ නැත. ඒ වනවිට මුළු රටම කම්පාවට පත්ව සිටියහ. ධනිඳු අතුරුදන් වීම මුළු රටේම ප්‍රශ්නයක්‌ බවට පත්වෙමින් තිබුණේය.

දරුවා අතුරුදන් වී තුන්වැනි දිනයත් එළඹුණේය. 31 වැනිදා පෙරවරුවේ හේරත් මුදලාලිගේ ජංගම දුරකථනයට ඇමතුමක්‌ ලැබුණේය. පුතා අපි ළඟ ඉන්නවා. එයාට කරදරයක්‌ නැහැ. පුතාව ඕනෙනම් අපිට රුපියල් කෝටියක්‌ ඕනෙ. එහෙම නොවුණොත් දරුවා ගැන ආසාව අතහැර ගනිල්ලා...

දුරකථනය හරහා ආ රෞද්‍ර කටහඬින් හේරත් මුදලාලි භීතියට පත් වුණේය. "අනේ දරුවාට මොකුත් කරන්න එපා උඹලා ඉල්ලන දෙයක්‌ අපි දෙන්නම්" අපට දරුවා දීපල්ලා... හේරත් මුදලාලි ආයාචනා කරන්න වුණේය. "මේ ගැන පොලිසියට කියලා තිබුණොත් අපි දරුවව නැති කරනවා. පස්‌සෙ පසුතැවිලි වෙන්න එපා...."

කප්පම්කරුවෝ තර්ජනය කළහ. හේරත් මුදලාලිගේ ඔලුව යකාගේ කම්මල මෙන් විය. ගෙදර ගියොත් අඹු නසී මග සිටියොත් තෝ නසී යන කියමන ඔහුගේ සිතට ආවේය.

පොලිස්‌ නිලධාරින් හේරත් මුදලාලිගේ නිවසේ ගැවසෙමින් සිටිති. ඔවුන්ට නොකියා මේ ප්‍රශ්නය ගොඩින් බේරා ගන්නේ කෙසේදැයි ඔහු දස අතේ කල්පනා කරන්නට වුණේය. දරුවා දෙන්න උන් රුපියල් කෝටියක්‌ ඉල්ලනවා.

හේරත් මුදලාලි තම බෑනාටත් දියණියටත් කීවේය. දරුවා පිළිබඳව කිසියම් තොරතුරක්‌ ලැබීම ගැන මහින්දත් ඔහුගේ බිරිඳත් මහත් සේ සතුටට පත් වූහ. අපි පොලිසියට නොකිය මේ සල්ලිටික දිලා පුතාව බේරගමු පොලිසිය මේකට ගෑවුණොත් උන් දරුවා නැති කරයි.

හේරත් මුදලාලි කීවේය. මහින්දත් ඊට කැමති වුණේය. කප්පම්කරුවන් දිගින් දිගටම හේරත් මුදලාලිට කතා කරමින් අදාළ කප්පම් මුදල වහාම ලබාදෙන ලෙස කියමින් තර්ජනය කරන්නට වූහ. ධනිඳු දරුවා පිළිබඳව කිසිදු හෝඩුවාවක්‌ නොමැතිවීම ගැන පොලිස්‌ දෙපාර්තමේන්තුව තුළ වූයේද මහා ප්‍රෙහේලිකාවකි. 

දරුවා ගැන තොරතුරක්‌ සෙවීම දිනෙන් දිනම කල් යැම ඔහුගේ ජීවිතයට අනතුරක්‌ විය හැකි බව ඉහළ පොලිස්‌ නිලධාරීන්ගේ මතය විය. පොලිස්‌පති එන්. කේ. ඉලංගකෝන් මහතාද මේ ප්‍රශ්නය කෙරෙහි දැඩි අවධානය යොමු කර සිටියේය.

අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුව ධනිඳු සෙවීමේ මහා භාරධූර කාරියට අතගසන්නේ පොලිස්‌පතිවරයාගේ නියෝග මතය. ධනිඳු පුතා සෙවීමේ කාර්යයට අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්‌පති රවී සෙනෙවිරත්න මහතාද පෞද්ගලිකවම සහභාගි වන්නේ එහි තිබූ බැරෑරුම්කම නිසාය. 

අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස්‌ අධිකාරී විඡේසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් පොලිස්‌ කණ්‌ඩායමක්‌ මීගලෑවට පැමිණෙන්නේ කෙසේ හෝ පුංචි දරුපැටියා බේර ගන්නා අටියෙන්ය.

සිදුවන පුංචි අත්වැරැද්දකින් දරුවාගේ ජීවිතය අහිමිවීමට ඉඩ තිබෙන බව පොලිස්‌ නිලධාරීන් දැන සිටියහ. කොච්චිකඩේ පල්ලිය වෙත ගොස්‌ බාරයක්‌ වී යැමට රහස්‌ පොලිසියේ නිලධාරීන් කටයුතු කළේ දරු පැටියා අනතුරක්‌ නොවී බේරා ගැනීමට නොපෙනෙන බලවේගවල පවා සහාය ලබා ගැනීමේ බලාපොරොත්තුවෙන්ය.

දරුවා නිරුපද්‍රිතව සොයා ගන්නා තුරු නිර්මාංශිකව සිටීමට පවා රහස්‌ පොලිසියේ නිලධාරීන් දෙවියන් ඉදිරියේ පොරොන්දු වූහ. ධනිඳු පුතා සෙවීමේ කාර්යයට අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුව පැමිණි පුවත සැලවීමෙන් පසු මහින්දගේ මෙන්ම පවුලේ අයගේද සිත්වලට නැගුණේ කිසියම් සහනයකි.

රහස්‌ පොලිසියේ නිලධාරීන් 31 වැනිදා රාත්‍රි සිට පසුදා පහන්වනතුරු පැය හයකට ආසන්න කාලයක්‌ මහින්දගෙන් මෙන්ම පවුලේ අයගෙන් ප්‍රශ්න කරන්නට වූහ. කප්පම් ඉල්ලා සිටින පිරිස ගැන මුලින් නොකීවද අවසානයේ රහස්‌ පොලිසියේ නිලධාරීන් ඉදිරියේ සියලු දේ හෙළි කිරීමට හේරත් මුදලාලිට සිදුවිය.

මහත්තයො අපේ දරුවාට කරදරයක්‌ වෙන්න දෙන්න එපා. එහෙම වුණෙත් අපි ජීවත්වෙලා වැඩක්‌ නැහැ. හේරත් මුදලාලි මෙන්ම මහින්ද රහස්‌ පොලිසියේ නිලධාරීන් ඉදිරියේ ආයාචනා කරන්නට වූහ.

මහත්තයො දුවගෙ දැවැද්දට දෙන්න තියන සල්ලි ටික මම හංගලා තියෙන්නෙ. අපි ඒ ටික දීලා හරි දරුවා බේරගමු. හේරත් මුදලාලි පොහොර බෑගයක දමා කුස්‌සියෙ දුමේ සඟවා තිබූ රුපියල් කෝටියක මුදල එළියට ගත්තේය. හේරත් මුදලාලි දන්නා කාලයේ සිට මුදල් එකතු කළේ මේ ආකාරයටය. මුදල් සඟවා තිබූ අයුරු දුටු රහස්‌ පොලිස්‌ නිලධාරීන් පවා විමතියට පත් වූහ.

මේ සල්ලි අපි දෙන්න ඕනෙ නැහැ. හැබැයි සල්ලි දෙන විදිහට කප්පම් කාරයොත් එක්‌ක කතා කරන්න. රුපියල් කෝටියෙ කප්පම පුළුවන් තරම් අඩු කරගන්න ඒ අයත් එක්‌ක කතා කරන්න. රහස්‌ පොලිසියේ නිලධාරීන්ගේ උපදෙස්‌ මත හේරත් මුදලාලි කප්පම්කරුවන් සමග කතා කරන්නට පටන් ගත්තේ ඉන් පසුවය.

උඹලා කියන තරම් දෙන්න මට සල්ලි නැහැ. ගාන ටිකක්‌ අඩු කරපල්ලා මම ඒ ගාන උඹලට ගෙනල්ලා දෙන්නම්. හේරත් මුදලාලි කොතෙකුත් ආයාචනා කළද කප්පම් කරුවන් කෝටියේ කප්පමෙන් එක සතයක්‌ හෝ අඩු කිරීමට සූදානම් වුණේ නැත.

එහෙත් පැය ගණනක්‌ තිස්‌සේ කළ දුරකථන සංවාදවලින් පසු අදාළ මුදල ලක්‌ෂ 50 ක්‌ දක්‌වා අඩු කිරීමට කප්පම්කරුවන් එකඟ වුණේය. මම උඹලාට ලක්‌ෂ 35 ක්‌ දෙන්නම්. මගේ ළඟ තියෙන්නෙ එච්චරයි. උඹලා කියන තැනකට මම සල්ලි ගෙනැල්ලා දෙන්නම්.

හේරත් මුදලාලිගේ යෝජනාවට කප්පම්කරුවන් කැමැත්ත ප්‍රකාශ කළේ කළ යුතු වෙනත් යමක්‌ නොවූ නිසාය. ඒ වනවිට අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීනුත් පොලිස්‌ නිලධාරීනුත් කප්පම්කරුවන් පිළිබඳ තොරතුරු සෙවීමට වෙනම පරීක්‌ෂණයක්‌ ආරම්භ කර සිටියහ.

කප්පම්කරුවන් එක්‌තරා දුරකථන ආයතනයකට අයත් අංක තුනක්‌ ඔස්‌සේ හේරත් මුදලාලිට ඇමතුම් දෙන බව සොයාගත් රහස්‌ පොලිසිය ඒ අංකවලට අදාළ තොරතුරු වාර්තා ලබා ගත්තේය. කප්පම්කරුවන් ඉතාම සූක්‌ෂමව මේ කාර්ය මෙහෙයවන බව පොලිසිය දැනගත්තේ ඉන් අනතුරුවය. 

කප්පම්කරුවන් එම දුරකථන අංක තුනට අදාළ සිම් කාඩ්පත්වලින් ඇමතුම් ලබාගෙන තිබුණේ හේරත් මුදලාලිට පමණි. ඒ ඔස්‌සේ පරීක්‌ෂණ ඉදිරියට ගෙනයැම අපහසු කටයුත්තක්‌ විය. මොවුන් මිලදී ගෙන තිබූ සිම් කාඩ්පත්වල සඳහන් වුණේ පිටකොටුවේ නාට්‌ටාමි කෙනෙකුගේ ලිපිනයකි.

අදාළ සමාගමට අයත් දුරකථන කුලුනු ඔස්‌සේ පරීක්‌ෂණ කළද ඇමතුම් ලබාදෙන ස්‌ථාන නිවැරදිව හඳුනා ගැනීම අපහසු විය. තත්ත්වය එන්ට එන්ටම බැරෑරුම් වෙමින් තිබුණේය. රටම බලාගෙන සිටින්නේ අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුව ධනිඳු දරුවා බේරාගන්නා තුරුය. එය නියෝජ්‍ය පොලිස්‌පතිවරයාට මෙන්ම අනෙක්‌ රහස්‌ පොලිසියේ නිලධාරීන් වෙතද ගෙන ආවේ මහා පීඩනයකි.

අගෝස්‌තු 01 වැනිදා දිනය ඉතාම කාර්යබහුල විය. දරුවාගේ ජීවිතයට කිසියම් අනතුරක්‌ සිදුවූවොත් පරීක්‌ෂණ සියල්ල වතුරේ ගහගෙන යන බව රහස්‌ පොලිසිය හො¹කාරවම දැන සිටියහ.

ඒ නිසාම ඉතාම සූක්‌ෂම ආකාරයට දරුවා සොයා ගැනීම කළ යුතු විය. අදාළ කප්පම් මුදල ලබා දීමට ස්‌ථානයක්‌ ලබාදෙන ලෙස හේරත් මුදලාලි මාර්ගයෙන් කප්පම්කරුවන්ට පණිවුඩයක්‌ යෑවීමට රහස්‌ පොලිසිය කටයුතු කළේය.

එසේම මේ කප්පම් සිද්ධිය කිසිවිටෙකත් හෙළිදරව් නොකිරීමට රහස්‌ පොලිසිය වගබලාගත්තේ ඉන් දරුවාගේ ජීවිතයට හානියක්‌ වීමට තිබූ ඉඩකඩ වැඩි නිසාය. මාධ්‍යවලින් පවා මේ කප්පම් සිද්ධිය හෙළිදරව් නොකිරීමට කටයුතු කළේ දරුවාගේ ජීවිතය මේ හැමදේටම වඩා වටිනා බව තේරුම් ගෙනය.

පැය හයක්‌ තිස්‌සේ මහින්ද ඒකනායකගෙන් සහ පවුලේ අයගෙන් ප්‍රශ්න කළ රහස්‌ පොලිසියේ නිලධාරීන් නිවසින් පිටවන්නේ කෙසේ හෝ දරුවා නැවත ලබාදෙන බවට පොරොන්දු වෙමින්ය.

"අපි කොහොම හරි මේ දරු පැටියව හොයලා දෙනවා. හැබැයි අපි කියන විදියට වැඩ කරන්න ඕනෙ. මේ කප්පම් සිද්ධිය රහසක්‌ විදිහට තියාගන්න ඕනෙ."

රවී සෙනෙවිරත්න මහතා ධනිඳුගේ පවුලේ අයට උපදෙස්‌ දුන්නේය. ඒ වනවිට ධනිඳු අතුරුදන් වී දින තුනක්‌ ගතවී තිබිණි. දරුවා නිරුපද්‍රිතව සිටිනවාද යන්න නිවැරදිව දැනගත යුතු බව රහස්‌ පොලිසියේ නිගමනය විය.

ධනිඳු දරුවා කප්පම්කාරයො ළඟ ඉන්නවද කියලා හරියටම දැනගන්න ඕනෙ. ඒ නිසා ඒ අයට කතා කරලා කියන්න දරුවාගෙ කටහඬ අහන්න ඕනෙ කියලා.

රහස්‌ පොලිස්‌ නිලධාරීන්ගේ උපදෙස්‌ මත හේරත් මුදලාලි කප්පම් කරුවන්ට කතා කර දරුවාගේ නම ඇසීමට අවශ්‍ය බව කීවේය. කප්පම්කරුවන් ඒ අවස්‌ථාවේ හේරත් මුදලාලි සමග දරුවා දුරකථනයෙන් සම්බන්ධ කළේය. එහෙත් ඔහුගේ හඬ හරිආකාරව හඳුනා ගැනීමට හේරත් මුදලාලි සමත් වුණේ නැත.

මේ අතර අදාළ කප්පම් මුදල රැගෙන ඇහැටුවැව ප්‍රදේශයේ ස්‌ථානයකට පැමිණෙන ලෙස කප්පම්කරුවන්ගෙන් හේරත් මුදලාලිට නියෝගයක්‌ ලැබුණේය.

හේරත් මුදලාලි ඔවුන් නියම කළ ස්‌ථානයට මුදල් රැගෙන ගියද කප්පම්කරුවන් පැමිණියේ නැත. ඒ ප්‍රදේශයේම කෝවිලක්‌ අසල දරුවාගේ පංචායුධය තබා තිබෙන බවට කප්පම්කරුවන් දැනුම්දුන්නේ ඔහු තමන් සමග සිටින බවට ඒත්තු ගැන්වීම සඳහාය.

හේරත් මුදලාලි අදාළ මුදල් රැගෙන කෝවිල අසලට ගියද දරුවා එහි සිටියේ නැත. ධනිඳුගේ පංචායුධය පමණක්‌ කෝවිල අසල තිබී සොයා ගැනීමට හැකිවිය.

මේ ආකාරයට අගෝස්‌තු 01 වැනිදා දවස පුරා ස්‌ථාන 7 කට හේරත් මුදලාලි ගෙන්වීමට කප්පම්කරුවන් කටයුතු කළද මුදල් ලබාගැනීමට ඔවුන් ඉදිරිපත් වුණේ නැත. 

හේරත් මුදලාලි මුදල් රැගෙන යන සෑම අවස්‌ථාවකදීම රහස්‌ පොලිසියේ නිලධාරීන් පිරිසක්‌ විවිධ වේශයන්ගෙන ඔහු පසු පස ගියේ කප්පම් කරුවන් සිය ග්‍රහණයට ගැනීමේ බලාපොරොත්තුවෙන්ය.

මෙම මෙහෙයුම ක්‍රියාත්මක වෙද්දී රහස්‌ පොලිස්‌ මූලස්‌ථානයේ තවත් පොලිස්‌ කණ්‌ඩායමක්‌ නවීන තාක්‌ෂණ උපක්‍රම භාවිතා කරමින් වෙනත් මෙහෙයුමකට අත ගසා සිටියහ.

කප්පම්කරුවන් ඇමතුම් ලබාදෙන ජංගම දුරකථනයේ ඉමි අංකය ඔස්‌සේ තොරතුරු සොයාගිය රහස්‌ පොලිසිය එම ජංගම දුරකථනය මීට ඉහතදී සිම් කාර්ඩ්පත් 12 ක්‌ යොදා පාවිච්චි කළ එකක්‌ බව සොයා ගත්තේය.

ඒ අනුව පැරණි අංක සහිත සිම් කාඩ්පත් දොළහට අදාළ දුරකථන වාර්තා ලබාගැනීමට රහස්‌ පොලිසිය කටයුතු කළේය.

එම දුරකථන වාර්තා ඉතාම සූක්‍ෂම ලෙස පරීක්‍ෂා කළ රහස්‌ පොලිසියේ නිලධාරීන් එක්‌තරා සැකකටයුතු අංකයක්‌ සොයා ගත්තේය. එම අංකය සහිත දුරකථනය පාවිච්චි කළ පුද්ගලයාගේ ලිපිනය ද සොයා ගැනීමට රහස්‌ පොලිසියට හැකි විය. මේ පුද්ගලයා විෙ-රත්න නැමැත්තකු බව ද හඳුනා ගත්තේය. 

ඒ අනුව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්‌පතිවරයා ඇතුළු නිලධාරීන් පිරිසක්‌ එම පුද්ගලයා සෙවීමේ පරීක්‍ෂණ ආරම්භ කළහ. අඹන්පොල ප්‍රදේශයේ නිවසක්‌ සොයා ගිය පොලිස්‌ නිලධාරීන් අතරමගදී හමු වූ පුද්ගලයකුගෙන් විෙ- නමැති දුරකථන අංකය හිමි පුද්ගලයාගේ ලිපිනය පිළිබඳව විමසුවේය. 

ඒ තරුණයා අදාළ ලිපිනය කිසිවක්‌ නොදන්නා බව කීවේය. එතැන සිටි වෙනත් අයකු විෙ-ගේ නිවස රහස්‌ පොලිසියේ නිලධාරීන්ට පෙන්නුවේය. පොලිස්‌ නිලධාරීන් නිවස වට කරද්දී විෙ- නමැත්තා නිවස තුළ සිටියේය. රහස්‌ පොලිසියේ නිලධාරීහු ඔහු සිය භාරයට ගත්තේ කිසියම් වූ බලාපොරොත්තුවක්‌ ඇතිවය. 

පොලිස්‌ නිලධාරීහු ඔහුගෙන් ප්‍රශ්න කරන්නට වූහ. මේ පුද්ගලයා දරුවා ගැන කියන හෝඩුවාවක්‌ දන්නා බව පොලිස්‌ නිලධාරීන්ට තේරුම් ගන්න එතරම් වේලාවක්‌ ගත වුණේ නැත."ධනිඳු දරුවා කොහෙද ඉන්නේ ඇත්ත කියපං... පොලිස්‌ නිලධාරීන් අඩි පොළොවේ හප්පා කෑගසද්දී විෙ- හඬ අවදි කළේය.

"අනේ සර් ගහන්න එපා දරුවා අරගෙන ආවෙ අපි තමයි. දරුවා ගල්ගමුවෙ ගෙදරක තියාගෙන ඉන්නවා. මම ඒ තැන පෙන්වන්නම්.

විෙ- කියූ දේ ඇසීමෙන් රහස්‌ පොලිසියේ නිලධාරීන් තුෂ්ණිම්භූත වූහ. තමන් නිවැරැදි ස්‌ථානයට පැමිණ සිටින බව දැන ගැනීමෙන් ඔවුන් දැඩි ලෙස සතුටට පත්ව සිටියහ. දින ගණනක්‌ තිස්‌සේ සිරකරගෙන තිබූ මහා පීඩනය ලිහිල් වී යන බවක්‌ දැනෙන්නට විය. 

මේ අතර විෙ- පිළිබඳව අතරමගදී තොරතුරු විමසූ තරුණයා ද මේ කප්පම් කල්ලියේම එකකු බව පොලිසිය දැනසිටියේ නැත. ඒ තරුණයා ගල්ගමුවේ නිවසේ සිටින අනෙක්‌ දෙදෙනාට දුරකථන ඇමතුමක්‌ ලබාදී මේ පිළිබඳව දැනුම් දුන්නේය.

පොලිසියෙන් ඇවිත් විෙ-ගේ ගේ වට කළා. වැඩේ ගැස්‌සිලා වගෙයි පෙනෙන්නේ. දරුවා කොහොම හරි අරගෙන යන්න. පොලිසිය දැන් ඔහෙට එන්න පුළුවන්."

තම සැලසුම අසාර්ථක වූ බව සැලවීමෙන් කප්පම් කල්ලි සාමාජිකයෝ අන්දමන්ද වූහ. ඔවුන් පුංචි ධනිඳු සැඟවීමට ස්‌ථානයක්‌ සෙවූවද එය පහසු කටයුත්තක්‌ නොවීය. ඒ වන විට මුළු රටම ධනිඳු ගැන දැන සිටීම නිසා මේ පුංචි දරු පැටියා කොහේ හෝ ගෙන යැම කළ නොහැකි විය.

ප්‍රදේශයේ කැලෑවක තිබූ ගල් ලෙනකට දරුවා රැගෙන ගිය කප්පම් කල්ලි සාමාජිකයන් දෙදෙනා ඔහු එහි රඳවා ගැනීමට උත්සාහ කළහ. එහෙත් එය පහසු කටයුත්තක්‌ වුණේ නැත.

අවසානයේ ඔවුන් තීරණයකට එළැඹුණේය.තවත් අපිට බැහැ මේ දරුවා හංගගෙන ඉන්න. අපි මෙයාව කොහෙට හරි ගිහින් දාලා පොලිසියෙන් බේරෙන්න ක්‍රමයක්‌ බලමු".

කප්පම් කල්ලියේ සාමාජිකයන් දෙදෙනා පුංචි ධනිඳු යතුරුපැදියේ නංවාගෙන ගල්ගමුවේ සිට කිලෝමීටර් 20 ක්‌ පමණ දුරින් පිහිටි දුෂ්කර ප්‍රදේශයකට රැගෙන ගියහ. එම ප්‍රදේශය ඇඹෝගම නම් විය. ප්‍රධාන පාර අසල පිහිටි නිවසක්‌ ඉදිරිපිට යතුරුපැදිය නතර කළ කප්පම්කරුවන් පුංචි ධනිඳු නිදහස්‌ කළෝය. 

"පුතා මෙන්න මේ ගෙදර ඔයාගේ අප්පච්චි ඉන්නවා. එයා ළඟට යන්න.." පුංචි ධනිඳුගේ ඉහේ මලක්‌ පිපුණාක්‌ මෙන් විය. කප්පම් කරුවන්ගෙන් මිදුණු පුංචි දරු පැටියා ඝන අන්දකාරය මැදින් නිවස දෙසට දිව ගියේ තම සෙනෙහෙබර පියාගේ මුහුණ දැක ගැනීමටය. "අප්පච්චි... අප්පච්චි. මම ආවා......

අඳුරේම නිවසට ගොඩ වූ දරු පැටියා නිවෙස්‌ හිමියාගේ ඇඟේ එල්ලුණේය. අඳුරේම පැමිණි ආගන්තුකයා කව්දැයි යන්න නිවෙස්‌ හිමියාට හඳුනා ගැනීමට එතරම් වේලාවක්‌ ගියේ නැත. මුළු රටම සොයමින් සිටි පුංචි ධනිඳු තමන් ඉදිරිපිට සිටිනවා දුටු නිවෙස්‌ හිමියා පුදුමයට පත් වුණේය.

"එන්න පුතා ඔයාගෙ තාත්තා මග එනවා එයා එනකල් අපි මෙහෙට වෙලා ඉමු. පුංචි දරුවා අස්‌වසාලූ නිවෙස්‌ හිමියා මේ පිළිබඳව ගල්ගමුව පොලිස්‌ ස්‌ථානාධිපතිවරයාගේ ජංගම දුරකථනයට දැනුම් දුන්නේය.

ඒ වන විට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්‌පතිවරයා සහ ගල්ගමුව පොලිස්‌ ස්‌ථානාධිපතිවරයා සිටියේ දරුවා සඟවාගෙන සිටි ගල්ගමුවේ පිහිටි නිවසේය. දරුවා එම ස්‌ථානයෙන් රැගෙන ගොස්‌ තිබීම නිසා ඔවුන් සිටියේ දැඩි ලෙස කලකිරීමට පත්වය.

පොලිස්‌ ස්‌ථානාධිපතිවරයාගේ ජංගම දුරකථනය වෙත සතුටුදායක ආරංචිය ලැබෙන්නේ ඒ මොහොතේදීය.ගත වුණේ සුළු මොහොතකි ගල්ගමුව පොලිස්‌ ස්‌ථානාධිපතිවරයාගේ ජංගම දුරකථනයට ඇඹෝගම ප්‍රදේශයේ නිවසකින් ඇමතුමක්‌ ලැබුණේය.

"සර්. පුංචි ළමයෙක්‌ අපේ ගේ ළඟ දාලා ගිහිල්ලා. අර පැහැර ගත්ත දරුවද කියලා අපි සැක කරනවා." ඒ ඇමතුම ලැබීමෙන් පසු පොලිස්‌ නිලධාරීන් දැඩි ලෙස සතුටට පත් වූහ. පුංචි ධනිඳු පුතා ඒ නිවසේ සිටින බව විශ්වාස කළ පොලිස්‌ නිලධාරීන් ඇඩෝගම යන්නට පිටත් වූහ.

අතරමගදී ඉදිරියෙන් එන යතුරුපැදියක්‌ දුටු ජීප් රථයේ සිටි විෙ- නමැත්තා කෑගැසුවේය. "ඔය එන්නේ අපේ ටීම් එකේ අය" වහාම ක්‍රියාත්මක වූ පොලිස්‌ නිලධාරීන් ඒ මොහොතේම යතුරුපැදියේ ගමන්ගත් කප්පම්කරුවන් දෙදෙනා අත්අඩංගුවට ගත්හ.

ඇඹෝගමට ගිය පොලිස්‌ නිලධාරීන් පුංචි ධනිඳු පුතා සිය භාරයට ගත්තේය. අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්‌පති, සහකාර පොලිස්‌ අධිකාරිවරයකු, ගල්ගමුව පොලිස්‌ ස්‌ථානාධිපති ඇතුළු නිලධාරීන් දරුවා සොයා ගනිද්දී ඔහු සිටියේ දැඩි ලෙස භීතියට පත්වය.

"පුතා අපි ඔයාව අප්පච්චි ළඟට ගෙනියන්න හදන්නේ. පොලිස්‌ නිලධාරීන් ධනිඳු පුතා සුරතල් කළෝය. ඔහු ඉතාම ඉක්‌මනින් ඕනෑම අයකු සමග ලෙන්ගතු වන බවක්‌ පෙනෙන්නට තිබිණි.

"අපි කොළඹ යමුද පුතා පොලිස්‌ නිලධාරීන් පුංචි ධනිඳුගෙන් විමසුවේය. 

"හා... මට ලොලිපොප් ගන්නත් පුළුවන්නේ."

පුංචි ධනිඳු පුතා සැහැල්ලුවෙන් කීවේය.

මුළු රටම හෙල්ලූ මහා ෙ€දවාචකය අවසන් අදියරට පැමිණ තිබුණේය. පුංචි ධනිඳු පුතා වෛද්‍යවරයකු වෙත ඉදිරිපත් කිරීමෙන් පසු නිවස වෙත රැගෙන යැමට පොලිස්‌ නිලධාරීන් කටයුතු කළහ.

මීගලෑව ප්‍රදේශයට එද්දී පුංචි ධනිඳු සතුටින් කෑගැසුවේය. "මේ තියෙන්නේ අපේ ගෙවල් ළඟ වැව. අර තියෙන්නේ අපේ මොන්ටිසෝරිය. දැන් අපේ ගෙදරට ළඟයි. අප්පච්චි බලාගෙන ඇති අපි ඉක්‌මනට යමු".

පුංචි ධනිඳු ගේ සුරතල් වදන් කාගේත් දෑස්‌ කඳුළින් තෙත් කරන්නට සමත් වුණේය. ධනිඳු පුතා සොයා ගත් පුවත සැලවීමෙන් පසු මීගලෑව මඟුල් පිටියක්‌ ගෙන තිබුණේය. කිරිබත් උයමින් ජනතාව සතුටු වූහ.

ඒ වන විට කප්පම් කල්ලියේ සාමාජිකයෝ සිව්දෙනාම පොලිස්‌ අත්අඩංගුවට පත්ව සිටියහ.

පැහැරගත් පුංචි දරුවාට කෑම බීම ලබාදී ඔහු රැක බලා ගැනීමට කප්පම් කල්ලියේ සාමාජිකයන් කටයුතු කර තිබුණේය. පුංචි දරුවාගේ කැතකුණු පවා අතගාමින් ඔහු රඳවාගෙන සිටි කප්පම්කරුවන් කිසිදු හිරිහැරයක්‌ නොකිරීමටද වග බලා ගෙන තිබිණි.

මවුපිය සෙනෙහස නොමැතිව දින හතරක්‌ තිස්‌සේ හැඩූ කඳුළෙන් සිටි පුංචි ධනිඳු ඒ වනවිට දැඩි ලෙස හෙම්බත් වී සිටියේය. මුළු රටම ප්‍රාර්ථනා කළ මුළු රටම බලාපොරොත්තුවෙන් සිටි පුංචි ධනිඳු නිරුපද්‍රිතව නිවසට ආවේ පොලිස්‌ නිලධාරීන්ට පින්සිදුවන්නටය. 

ධනිඳුගේ පැමිණීම ජාති ආගම් භේදයකින් තොරව මුළු රටම සතුටට පත් වුණේය. අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවත් පොලිසියත් කළ මහා වික්‍රමය අවසානයේ ජය ගත්තේය. ඒ උතුම් මෙහෙයට ලක්‌වාසීන් ශ්‍රී ලංකා පොලිසියට හද පතුලෙන්ම තුති පුද කරති.


 
Related Posts with Thumbnails