Ads 468x60px

.

සුසිලා ටීචර් දණ ගැස්‌වු 'ආනන්ද'ට කෝල් එකක්

නවගත්තේගම සුසිලා ටීචර් ගැන අද ශ්‍රී ලංකාවේ නොදන්නා කෙනෙක්‌ නැත. ඇය මුළු මහත් රටේ ප්‍රසිද්ධියට පත්වුණේ දේශපාලනඥයෙකුගේ නියෝගයක්‌ මත පාසලේ දණගැස්‌වීමේ සිද්ධිය පිළිබඳවය. 

එම සිද්ධිය නඩු මඟට වැටී විසඳුම ලැබීමෙන් පසු සුසිලා ටීචර් ගැන යළිත් කතාබහට එක්‌වී තිබේ. මරණ තර්ජනාත්මක ලිපියක්‌ ඇයට ලැබීමෙන් පසු සුසිලා ටීචර් ගැන අද මුළුමහත් මාධ්‍යයම කතාබහට ලක්‌කරයි.

සුසිලා ටීචර්ගේ කතාවේ දුෂ්ට චරිතය රඟපෑ හිටපු වයඹ පළාත් සභා මන්ත්‍රී ආනන්ද සරත්කුමාර මහතාට අපි කෙළින්ම කතා කළේ සුසිලා ටීචර්ට යළිත් මරණ තර්ජනය එල්ලවී ඇති ලිපිය පිළිබඳව ඔහු දන්නා තොරතුරක සුළමුල සොයා ගැනීමේ අරමුණ ඇතිවය.

ප්‍රශ්නය - හලෝ ආනන්ද සරත් කුමාර මහත්තයාද?

පිළිතුර - ඔව්... ඔව්. මම දන්නවා ඔයා කවුද කතා කරන්නේ කියලා. ඇයි මොකක්‌ද ප්‍රශ්නය.

ප්‍රශ්නය - සුසිලා ටීචර්ට මරණ තර්ජන කරලා කවුදෝ කෙනෙක්‌ ලිපියක්‌ එවලාලු.

පිළිතුර - මම මේ රටේ මාධ්‍ය පිළිබඳව ලොකු ඇල්මකින්, උනන්දුවකින් උන්නා. දැන් ඒ ඇල්මත් උනන්දුවත් නැහැ. ඔය තර්ජනාත්මක ලිපිය ගැන පොලිසිය පරීක්‍ෂණ පවත්වනවානේ. ඉතින් ඒකෙන් සත්‍යය හෙළිවෙයි.

පසුගිය දවසේ අර චූටි දරුවෙකු පැහැරගත් කල්ලියත් පොලිසිය අල්ලා ගත්තා. බෝලයක්‌ වතුරේ යට තිබිලා උඩ මතුවෙනවා. වතුර යටම තියෙන්නේ නැහැ. ඔය ලිපියේ සත්‍ය හෙළිවෙයි.

මගේ පාඩුවේ මම ඉන්නේ. කොහේවත් නැති ප්‍රශ්න මට ඕනෑ නැහැ.

ප්‍රශ්නය - පොලිසිය ඔබෙන් ප්‍රශ්න කළාද? 

පිළිතුර - ඇයි මගෙන් ප්‍රශ්න කරන්නේ. ඕනෑ කෙනකුට ලියුම් දාන්න පුළුවන්. ප්‍රශ්න කළොත් මම උත්තර දෙන්නම්. අනික අර නඩුව ඉවර වෙලා විසඳුම ලැබුණා. දැන් ආයෙත් ප්‍රශ්න ඇතිකරනවා. මම මාධ්‍ය ගැන කනගාටු වෙනවා. මට මාධ්‍යයට තිබු උනන්දුව කැමැත්ත දැන් නැහැ. මගේ පාඩුවේ මම ඉන්නවා.

ප්‍රශ්නය - මාධ්‍ය වරදක්‌ කරලා නැහැ. පොලිස්‌ වාර්තා අනුව නීතිමය පැති බලලා ඔබ ගැන ප්‍රසිද්ධ කරලා තිබුණේ.

පිළිතුර - දැන් ඒ ප්‍රශ්න ඉවරයි. ආයෙත් ප්‍රශ්න ඇති වෙනවා. මම ඔබට පමණක්‌ නොවේ කියන්නේ. මුළු මහත් මාධ්‍යයටමයි කියන්නේ මාධ්‍යයට තිබෙන ගෞරවය දැන් මගේ නැහැ.

මේ අතර සුසිලා ටීචර්ට මරණ තර්ජනය කර ලිපිය එවූ පුද්ගලයා පිළිබඳව නවගත්තේගම පොලිසිය විශේෂ පරීක්‍ෂණයක්‌ ආරම්භ කර ඇත. සුසිලා ටීචර් දුරකථනයෙන් සම්බන්ධ කර ගැනීමට දැරූ උත්සාහයන් සියල්ලම අසාර්ථක විය.
 
Related Posts with Thumbnails