Ads 468x60px

.

හතර දෙනාටම යන එනමං නැතිවුණු ධනිඳුගේ කෝටියේ කප්පම් කතාවේ ඇතුල් පැත්ත.

ධනිඳු යෂේන් පුතු සැකකරුවන් දෙදෙනකු ගැන සඳහන් කර ඇත්තේ ලොකු මාමා සහ පොඩි මාමා යනුවෙනි. ඒ මාමලා මට නූඩ්ල්ස්‌ කන්න දුන්නා. සෙල්ලම් කරන්න නංගි කෙනෙක්‌ ගෙනත් දුන්නා යෑයි ද යෂේන් කියා ඇත. 

තාත්තා ආවේ නැහැනේ.... ඒ මාමලාත් එක්‌ක ආයෙත් යන්නේ නැහැ. මම ගල් ගුහාවක හිටියා. ඒ මාමලා මට අලුත් නෙට්‌ එකක්‌ ගෙනත් දුන්නා. 'මාමලාත් එක්‌ක ආයෙත් යන්නේ නැහැ. 

ඒගොල්ලෝ මාව ගල් ගුහාවක තියාගත්තා' යෑයි කප්පම්කරුවන්ගේ ග්‍රහණයට හසු වූ සිව් හැවිරිදි මීගලෑවේ ධනිඳු යෂේන් දරුවා තම පියාට
පවසා ඇති බව පොලිස්‌ ආරංචි මාර්ග පවසයි.

මෙම දරුවා මතකයට එන සෑම මොහොතකම වරින්වර සැකකරුවන් පිළිබඳව සිය පියාටත් මවටත් පවසන අතර පොලිසියට හෝ පිටස්‌තර අයකුට ඒ පිළිබඳව කිසිවක්‌ නොකියයි. මෙම දරුවා දැකබලා ගැනීමට සහ සුවදුක්‌ විමසීමට ප්‍රදේශයේ බොහෝ දෙනෙක්‌ ඔවුන්ගේ නිවසට පැමිණෙති.


ගල්ගමුව, මීගලෑව ප්‍රදේශයේදී ධනිඳු යශේන් දරුවා පැහැරගත් කප්පම් කල්ලිය භාවිත කළ ජංගම දුරකථන සිම් කාඩ්පතක්‌ සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන බවත්, එය නිකුත් කළ කුරුණෑගල ජංගම දුරකථන නියෝජිතට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවත් පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි අජිත් රෝහණ මහතා පැවසීය.

"මේ කප්පම්කරුවන් ළඟ සිම්කාඩ්පත් හතක්‌ තිබුණා. මෙම කප්පම ලබාගැනීම සඳහා මොවුන් සිම් කාඩ්පත් දෙකක්‌ උපයෝගී කරගත්තා. එයින් එක්‌ සිම් කාඩ්පතක්‌ පිටකොටුවේ නාට්‌ටාමි කෙනෙකුගේ නමට තිබුණේ.

මේ සම්බන්ධයෙන් පරීක්‍ෂණ පවත්වාගෙන යනකොට පෙනී ගිහින් තිබෙනවා. එක්‌තරා දුරකථන ජාලයකින් තමයි මේ සිම් කාඩ්පත ලබාදී තිබෙන්නේ කියලා. මේ දුරකථන ජාලයේ අලෙවි නියෝජිතයෙක්‌ ඉන්නවා කුරුණෑගල ප්‍රදේශයේ. ඔවුන් සිම් කාඩ්පත් විකුණන්නේ කිසිම අනන්‍යතාවක්‌ තහවුරු කරගන්නේ නැතුව.

උදාහරණයක්‌ හැටියට යම් අයකු හැඳුනුම්පත් නැතිව සිම් කාඩ්පතක්‌ ඉල්ලා සිටියොත් ඒ වෙළෙඳ නියෝජිතයා සිදුකරන්නේ ඔවුන් භාරයේ තිබෙන වෙනත් අයකු සිම් කාඩ්පතක්‌ ලබාගන්න ලබාදීපු හැඳුනුම්පතේ ඡායා පිටපතක්‌ නැවත පිටපතක්‌ හැටියට ලබාගෙන සිම් කාඩ්පත නිකුත් කිරීමයි. 


නමුත් දැන් දුරකථනය පාවිච්චි කරන තැනැත්තා ගැන සොයා බැලුවොත් සම්පූර්ණයෙන් වෙනස්‌ තැනැත්තෙක්‌ තමයි නියම තැනැත්තා බවට පත්වෙන්නේ. අපි විමර්ශනයක්‌ සිදු කරනවා මේ ගැන. මේ සිද්ධියට අනුබල දීම යන චෝදනාව යටතේ මේ සිම් කාඩ්පත් විකුණපු පුද්ගලයන් අත්අඩංගුවට ගත්තා."

මේ අතර මෙරට ජංගම දුරකථන සමාගම් නිකුත් කර ඇති සියලුම සිම් කාඩ්පත් මෙම වසර අවසන් වීමට පෙර ලියාපදිංචි කළ යුතු බව අදාළ සමාගම් වෙත දැනුම් දී ඇතැයි විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසයි.


හතර දෙනාටම යන එනමං නැතිවුණු කෝටියේ කප්පම් කතාව.

පොලිසියටයි සී. අයි. ඩී. එකේ මහත්වරුන්ටයි බුදු බව අත්වෙන්න ඕනෙ. මගේ පුංචි දරු පැටියා අද ජීවතුන් අතරේ ඉන්නෙ ඒ අය නිසා...සී. අයි. ඩී. මහත්වරු මීගලෑවට ඇවිත් දවසක්‌ ගත වුණේ නැහැ මගේ රත්තරන් පැටියා අතටම ගෙනල්ලා දුන්නා."

පුංචි ධනිඳුගේ පියා මහින්ද කුමාර ඒකනායකගේ දැස්‌වලින් සට සට ගා උණු කඳුළු කැට කඩා හැලෙයි. ඒ සතුටු කඳුළුය. සතුටු කඳුළු අතරින් ඔහු සිනාසුණේය. මහා ඉඩෝරයක්‌ නිමවී වර්ෂාවක්‌ ඇද හැලුනාක්‌ මෙන් මුළු මීගලෑවම පිබිදී ගියේය.

කප්පම්කරුවන්ගෙන් බේරාගත් පුංචි පුතු ඒ වන විට සිටියේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්‌පතිවරයාගේ තුරුලේය. මවුපිය උණුසුම අහිමිව දින ගණනක්‌ තිස්‌සේ වේදනා විඳිමින් සිටි පුංචි ධනිඳු පුතා පියාගේ තුරුළට ආවේ රටක්‌ රාජ්‍යයක්‌ ලබා ගත්තකු ලෙසය. ගම්භාර දෙවියෝ මගේ දරුවා ආරක්‍ෂා කළා. පොලිසියේ දෙවිවරු මට දරුවා ආපසු ගෙනල්ලා දුන්නා.

ධනිඳු ඔසවාගෙන ගොස්‌ නිවසේ බුදු පහන අසලින් තැබූ මහින්ද වැඳ වැටුණේය. මේ සිදුවීම් මාලාව හද කකියවන සුළුවිය. ඒ මොහොතේ රැස්‌ව සිටි ගම්වාසීන්ගේ පමණක්‌ නොව නිල ඇඳුම් ලාගත් පොලිස්‌ නිලධාරීන්ගේ පවා දැස්‌ කඳුළින් තෙත්ව ගියේය.

පුංචි දිනිඳු අතුරුදන් වීම මීගලෑවට පමණක්‌ නොව මුළු රටටම ප්‍රශ්නයක්‌ වී තිබුණේය. ඉකුත් 28 වැනිදා ඒ මූසල රාත්‍රියේ සිදුවූ ෙ€දවාචකය මුළු රටේම ජනතාව කම්පා කරවන සුළු එකක්‌ විය.

ජූලි 28 වැනිදා රාත්‍රියේ සිදුවූ ඒ බිහිසුණු කතාන්දරයේ මුල් ජවනිකා දිග හැරෙන්නේ මීට මාස කීපයකට උඩදීය.

ධනිඳු යෂේන් ලංකානාත් කුමාර ඒකනායක පුංචි පුතුගේ පියා මීගලෑව ප්‍රදේශයේ ධනවත් වීමෝල් හිමියකු විය. මහින්ද කුමාර ඒකනායක නම් වූ මේ ව්‍යාපාරිකයාගේ බිරිඳ උදේශිකා හේරත්ය. උදේශිකාගේ පියා හේරත් මුදලාලි (ධනිඳුගේ සීයා) ද මේ ප්‍රදේශයේම ධනවත් ව්‍යාපාරිකයකු වුණේය.

හේරත් මුදලාලිගේ බාල දියණිය විවාහ වී සිටියේ නැත. බාල දියණියට මනාලයෙක්‌ සෙවීමට හේරත් මුදලාලි උනන්දු වුණේය. "දුවගේ දැවැද්දට රුපියල් කෝටියක්‌ දෙනවා. තව ඔය තියන ඉඩකඩම්වලින් කොටසකුත් එයාට ලැබෙනවා."

හේරත් මුදලාලි තම දියණියගේ දැවැද්ද වෙනුවෙන් විශාල මුදලක්‌ වෙන්කර තිබෙන පුවත මීගලෑව පමණක්‌ නොව අහල ගම් හතේම ප්‍රසිද්ධව තිබුණේය.

මීට මාස කීපයකට උඩදී හේරත් මුදලාලිගේ බාල දියණිය බැලීමට තරුණයෙක්‌ ආවේය. ඔහු ආවේ විඡේ නමැති තරුණයකුද සමගය. ඒ තරුණයා වෙන කවරකුවත් නොව දිනිඳු පුතා පැහැරගෙන ගොස්‌ රුපියල් කෝටියක කප්පම් මුදල ඉල්ලූ සංවිධානාත්මක කල්ලියට නායකත්වය දුන් පුද්ගලයාය.

හේරත් මුදලාලිගෙන් කප්පම් මුදල් ලබා ගැනීමේ අදහස විඡේගේ සිතේ මුල්වරට ඇතිවන්නේ මේ සිදුවීමෙන් පසුවය.

හේරත් මුදලාලි ළඟ මහා ධනස්‌කන්ධයක්‌ තියනවා, හොඳ ප්ලෑන් එකක්‌ ගැහුවොත් ලොකු මුදලක්‌ අපට ගන්න පුළුවන්. විඡේ තම සමීපතම මිතුරන් වූ මධුර ජයනාත් සහ සාරංග සමග කීවේය. අවුරුදු 22-23 වයස්‌ සීමාවල පසුවූ මොවුන් සිවුදෙනා වෘත්තියෙන් පෙදරේරුවන් වූහ. විඡේ සහ ජයනාත් පදිංචිව සිටියේ අඹන්පොළය. අනෙක්‌ දෙදෙනා කුලියාපිටියේය.

හේරත් මුදලාලිගෙන් කප්පම් ගැනීම සඳහා මොවුන් සැලසුම් සකස්‌ කරන්නේ ඉන් පසුවය. හේරත් මුදලාලිගේ බෑනව (ධනිඳුගේ පියා) උස්‌සමු. එතකොට අපට ලොකු මුදලක්‌ ගන්න පුළුවන් වෙයි.

විඡේ සිය සගයන්ට කීවේය. හේරත් මුදලාලිගේ බෑණා මහින්ද කුමාර පැහැරගෙන ගොස්‌ රුපියල් කෝටියක කප්පම් මුදලක්‌ ලබා ගැනීමට ඔවුන් සැලසුම් කළහ.

වීමෝල් හිමියකු වන මහින්ද කුමාර පැහැරගෙන ගොස්‌ සිරකර තැබීමට අඹන්පොළ ප්‍රදේශයේ නිවසක්‌ද මොවුන් කුලියට ගත්හ. ජුලි 28 වැනිදා රාත්‍රිය මේ සැලසුම ක්‍රියාත්මක කිරීමට මොවුහු යොදා ගත්තේය.

මහින්ද කුමාරලාගේ නිවස පිහිටා තිබුණේ මීගලෑව නගරයේ සිට කිලෝ මීටර් 25 ක්‌ පමණ දුරින් වූ අති දුෂ්කර කැලෑ ප්‍රදේශයකය. කිසියම් හදිසි අවස්‌ථාවක දී පොලිසියට මේ ප්‍රදේශය වෙත ළඟා වන්නට පැය කීපයක්‌ ගතවන බව කප්පම් කරුවෝ දැන සිටියහ.

සිදුවන්නට යන මහා ෙ€දවාචකය පිළිබඳ හාන්කවිසියක්‌ නොදැන සිටි මහින්ද ඒකනායක ධනිඳු පුතාට බත් කවමින් සිටියේය.

වේගයෙන් ආ යතුරුපැදි දෙකක්‌ මහින්දගේ නිවස අසල නතර කරන්නේ මේ මොහොතේය. මහින්ද සිතුවේ වෙලට වතුර හැරවීමට යන්නට උක්‌කු බණ්‌ඩා පැමිණි බවයි. ඔහු එකවරම දොර විවෘත කළේ කිසිදු සැකයකින් තොරවය.

එහෙත් සිදුවුණේ කිසිවකුත් නොසිතූ දෙයකි. ව්‍යාඝ්‍රයන් රංචුව එකවරම නිවස තුළට කඩා පැන්නේය. ඔවුන් සියලු දෙනා සිටියේ මුහුණු වසාගෙනය. මහින්ද ඔවුන් නතර කිරීමට උත්සාහ කළේය. එහෙත් ව්‍යාඝ්‍රයන් ඔහුගේ ගෙල හරහා පිහි පහර කීපයක්‌ එල්ල කළහ.

මහින්ද ඒ ව්‍යාඝ්‍රයන් රංචුව සමග පොර බදන්නට වුණේය. පුංචි ධනිඳුත් වැඩිමහල් සොහොයුරියත් තුෂ්නිම්භූතව සිටියේ සිදුවන්නට යන්නේ කුමක්‌දැයි යන්න සිතා ගැනීමට නොහැකිවය.

මහින්ද පැහැරගෙන යැම පහසු එකක්‌ නොවන බව කප්පම්කරුවන්ට තේරුම් ගොස්‌ තිබිණි. වැඩි වේලාවක්‌ නිවස තුළ රැඳී සිටීමද භයානක බව ඔවුන් දැන සිටියහ. තම ග්‍රහණයට ගැනීමේ පහසුම ගොදුර කුමක්‌දැයි ඔවුන් සොයන්නට වූහ. පුංචි ධනිඳු පුතා මේ ව්‍යාඝ්‍රයන්ගේ නෙත ගැටෙන්නේ ඒ අතරේදීය.

මහින්ද පැහැරගෙන යැම පසෙක තැබූ කප්පම්කරුවෝ හය හතර නොතේරෙන අහිංසක දරුවා තම ග්‍රහණයට ගත්තේය. අප්පච්චී මාව බේරගන්න....

අනේ අම්මේ.....

පුංචි ධනිඳු පුතා විලාප දෙන්නට පටන් ගත්තේය. එහෙත් ඒ වන විට මහින්දගේ නිවස තුළ තිබුණේ යුද පිටියක ස්‌වරූපයකි. පුංචි පුතාට සිදුවූ දෙය කිසිවකුගේ නෙත ගැටී තිබුණේ නැත.

අනේ අප්පච්චි උන් අපේ මල්ලිව අරගෙන යනවා. එයාව බේරගන්න... ධනිඳුගේ හය හැවිරිදි අක්‌කා විලාප නගන්නට වූවාය. ධනිඳු පුතා ව්‍යාඝ්‍රයන් රැළ රැගෙන ගිය බව නිවැසියන් දැන ගත්තේ එවිටය.

මහින්ද පලායන කප්පම්කරුවන් ලුහුබැඳ ගියද ඔවුන් සොයා ගැනීමට හැකි වුණේ නැත. ධනිඳු පුතා පැහැර ගැනීමේ සිද්ධියෙන් මීගලෑව ගිනි ගත්තේය. පසුදා පහන් වනවිට මේ සිදුවීම ලැව් ගින්නක්‌ මෙන් රටපුරා පැතිර ගොස්‌ තිබිණි.

ධනිඳු පුතා පැහැරගෙන යැම පිළිබඳව මීගලෑව ගල්ගමුව, ගිරිවැව පොලිසි ඒකාබද්ධව පරීක්‍ෂණ ආරම්භ කළේය. පොලිසිය මීගලෑව පීරන්නට පටන් ගත්තේය.

එහෙත් ධනිඳු පුතා ගැන කිසිම ආකාරයක තොරතුරක්‌ ලැබුණේ නැත. වයඹ පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති ජගත් අබේසිරි ගුණවර්ධන මහතාගේ අධීක්‍ෂණයෙන් පොලිස්‌ කණ්‌ඩායම් පහක්‌ යොදවනු ලැබීය.

ඒ වන විට මහින්දගේ නිවස එකම මළගමක්‌ බවට පත්ව තිබුණේය. අසල්වාසීන් මෙන්ම දන්නා හඳුනන බොහෝ දෙනෙක්‌ මහින්දගේ නිවසට රැස්‌ව සිටියේ ධනිඳු පුතා ගැන තොරතුරක්‌ ලබා ගන්නා අටියෙන්ය.

මහින්දගේ පවුලේ අයගේ විලාප හඬින් මුළු මීගලෑවම කම්පා වුණේය. පුංචි ධනිඳු වැඩිපුරම සමීපව සිටියේ සීයාටය. හේරත් මුදලාලි ද තම මුණුබුරුට අසීමිතව ආදරය කළේය. මවගේ තුරුලේ සුරතල් වීමට ඔහු හැම විටම ප්‍රිය කළේය.

අනේ මගේ පුංචි දරුවාට ගහන්නට බනින්නට එපා. එයාගේ ජීවිතේ රැකෙන්න කන්න ටිකක්‌ දෙන්න. පුතා කිරිබොන්න හරි ආසයි. කිරි ටිකක්‌ එයාට දෙන්න. මහින්ද හඬා වැලපෙමින් ඉල්ලා සිටියේ දරුවාගේ ජීවිතයට අනතුරක්‌ නොකරන ලෙසය.

29 වැනිදා දවස ගෙවී ගියේ පුංචි ධනිඳු පුතා ගැන කිසිම තොරතුරක්‌ නොමැතිවය. සැකකටයුතු හැම අස්‌සක්‌ මුල්ලක්‌ නෑරම පොලිසිය සොයන්නට වූහ. සැක සිතෙන සෑම පුද්ගලයෙකුගෙන්ම ප්‍රශ්න කර කටඋත්තර ලබා ගත්තේය.

ඒ වන විට ගමපුරා විවිධ කටකතා පැතිර යමින් තිබුණේය.

"කප්පම් ගන්න පුංචි දරුවා අරගෙන ගිහින් තියෙන්නෙ. ඇතැමුන් කියන්නට වූහ. තවත් අය කීවේ නිධානයක්‌ ගැනීමට බිලිදීම සඳහා ඔහු රැගෙන ගිය බවයි. හේරත් මුදලාලිගෙන් සල්ලි ගන්න දිනිඳු පුතාගේ තාත්තා ඔය වැඩේ කරවලා තියෙන්නේ.

මෙවැනි කට කතා නිමක්‌ නොවීය. ඒ සියලු දේ පිළිබඳව ද පොලිසිය එකින් එක විමර්ශනය කරන්නට වූහ. එහෙත් කරුමයකි. ධනිඳු දරුවා ගැන කිසිම තොරතුරක්‌ නොවීය.

පුංචි දරුපැටියා නිරුපද්‍රිතව ගෙන්වා දෙන ලෙස අයෑදිමින් මීගලෑව පුරා බෝධි පූජා භාරහාර කිරීමට ගම්වාසීන් කටයුතු කළේ හදවතින්මය. මීගලෑවේ පමණක්‌ නොව රටපුරා වෙහෙර විහාරවල කෝවිල්වල, දේවාලවල, මුස්‌ලිම් පල්ලිවල, කතෝලික දේවස්‌ථානවල පවා දරුවා වෙනුවෙන් පුද පූජා පැවැත්වූයේ ජාති ආගම් භේදයකින් තොරවය.

ධනිඳු දරුවා රැගෙන ගොස්‌ දින දෙකක්‌ ගත විය. එහෙත් ඔහු ගැන කිසිදු තොරතුරක්‌ නැත. ඒ වන විට මුළු රටම කම්පාවට පත්ව සිටියහ. ධනිඳු අතුරුදන් වීම මුළු රටේම ප්‍රශ්නයක්‌ බවට පත්ව තිබුණේය.

දරුවා අතුරුදන් වී තුන්වැනි දිනයත් එළඹුණේය. 31 වැනිදා පෙරවරුවේ හේරත් මුදලාලිගේ ජංගම දුරකථනයට ඇමතුමක්‌ ලැබුණේය. පුතා අපි ළඟ ඉන්නවා. එයාට කරදරයක්‌ නැහැ. පුතාව ඕනෙනම් අපිට රුපියල් කෝටියක්‌ ඕනෙ. එහෙම නොවුණොත් දරුවා ගැන ආසාව අතහැර ගනිල්ලා...

දුරකථනය හරහා ආ කටහඬ හේරත් මුදලාලි භීතියට පත් කළේය. "අනේ දරුවට මොකුත් කරන්න එපා. උඹලා ඉල්ලන දෙයක්‌ අපි දෙන්නම්. අපිට දරුවා දීපල්ලා... හේරත් මුදලාලි ආයාචනා කරන්න වුණේය. මේ ගැන පොලිසියට කියලා තිබුණොත් අපි දරුවාව නැති කරනවා. පස්‌සේ පසුතැවිලි වෙන්න එපා...

කප්පම්කරුවන් තර්ජනය කළහ. හේරත් මුදලාලිගේ ඔළුව යකාගේ කම්මල මෙන් විය. ගෙදර ගියොත් අඹුනසී මග හිටියොත් තෝ නසී යන කියමන ඔහුගේ සිතට ආවේය.

පොලිස්‌ නිලධාරීන් හේරත් මුදලාලිගේ නිවසේ ගැවසෙමින් සිටිති. ඔවුන්ට නොකියා මේ ප්‍රශ්නය ගොඩින් බේරා ගන්නේ කෙසේදැයි ඔහු දස අතේ කල්පනා කරන්නට වුණේය. දරුවා දෙන්න උන් රුපියල් කෝටියක්‌ ඉල්ලනවා.

හේරත් මුදලාලි තම බෑණාටත් දියණියටත් කීවේය. දරුවා පිළිබඳව කිසියම් තොරතුරක්‌ ලැබීම ගැන මහින්දත් ඔහුගේ බිරිඳත් මහත් සේ සතුටට පත් වුණේය. අපි පොලිසියට නොකියා මේ සල්ලි ටික දීලා පුතාව බේරගමු. පොලිසිය මේකට ගෑවුණොත් උන් දරුවා නැති කරයි.

හේරත් මුදලාලි කීවේය. මහින්දත් ඊට කැමති වුණේය. කප්පම්කරුවන් දිගින් දිගටම හේරත් මුදලාලිට කතා කරමින් අදාළ කප්පම් මුදල වහාම ලබාදෙන ලෙස කියමින් තර්ජනය කරන්නට වූහ.

ධනිඳු දරුවා පිළිබඳව කිසිදු හෝඩුවාවක්‌ නොමැති වීම ගැන පොලිස්‌ දෙපාර්තමේන්තුව තුළ වූයේද මහා ප්‍රහෙලිකාවකි. දරුවා ගැන තොරතුරක්‌ සෙවීම දිනෙන් දිනම කල් යැම ඔහුගේ ජීවිතයට අනතුරක්‌ විය හැකි බව ඉහළ පොලිස්‌ නිලධාරීන් සිතූහ. පොලිස්‌පති එන්. කේ. ඉලංගකෝන් මහතාද මේ ප්‍රශ්නය කෙරෙහි දැඩි අවධානය යොමුකර සිටියේය.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව දරුවා සෙවීමේ පරීක්‍ෂණ කටයුතුවලට අතගසන්නේ පොලිස්‌පතිවරයාගේ නියෝග මතය.

මුළු රටම කළඹවනු ලැබූ ධනිඳු පුතාගේ අතුරුදන්වීම පිළිබඳව තොරතුරු සෙවීමේ භාරදූර කාර්ය සඳහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්‌පතිවරයාද පෞද්ගලිකවම සහභාගි වුණේය. ඊට අමතරව සහකාර පොලිස්‌ අධිකාරිවරයකුගේ ප්‍රධානත්වයෙන් යුත් නිලධාරීන් පිරිසක්‌ද මීගලෑවට ගොස්‌ සිටියහ.

පුංචි දරු පැටියා බේරා ගැනීමට ඉඩ ලැබේවායි යන්න දෙවියන් ඉදිරියේ භාරයක්‌ ද වී යැමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කටයුතු කළේ සැදැහැ සිතින්ය. දරුවා සොයා ගතහොත් නිර්මාංශව සිටීමටද මේ නිලධාරීන් කටයුතු කළේ අදෘශ්‍යමාන බලවේගයන්වල පවා කිසියම් සහායක්‌ ලබා ගැනීමේ අටියෙන්ය.

දිනිඳු පුතා සෙවීමේ කාර්යයට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පැමිණි බව දැන ගැනීමෙන් පසු මහින්දගේ මෙන්ම පවුලේ අයගේද සිතට කිසියම් සහනයක්‌ ලැබී තිබිණි. රහස්‌ පොලිසියේ නිලධාරීන් 31 වැනිදා රාත්‍රියේ සිට පසුදා පහන්වන තුරු පැය හයකට ආසන්න කාලයක්‌ මහින්දගෙන් මෙන්ම පවුලේ අයගෙන් ප්‍රශ්න කළහ.

කප්පම් ඉල්ලා සිටින පිරිස ගැන මුලින් නොකීවද අවසානයේ රහස්‌ පොලිසියේ නිලධාරීන් ඉදිරියේ සියලු දේ හෙළිකිරීමට හේරත් මුදලාලිට සිදුවිය. මහත්තයො අපේ දරුවට කරදරයක්‌ වෙන්න දෙන්න එපා. එහෙම වුණොත් අපි ජීවත් වෙලා වැඩක්‌ නැහැ. හේරත් මුදලාලි මෙන්ම මහින්ද රහස්‌ පොලිස්‌ නිලධාරීන් ඉදිරියේ ආයාචනා කරන්නට වූහ.

මහත්තයො දුවගෙ දැවැද්දට දෙන්න තියන සල්ලි ටික මම හංගලා තියෙන්නේ. අපි ඒ ටික දීලා හරි දරුවා බේරගමු. හේරත් මුදලාලි පොහොර බෑගයක දමා සඟවා තිබූ රුපියල් කෝටියක මුදල එළියට ගත්තේය.

මේ සල්ලි අපි දෙන්න ඕනෙ නැහැ. හැබැයි සල්ලි දෙන විදිහට කප්පම්කාරයොත් එක්‌ක කතා කරන්න. රුපියල් කෝටියෙ කප්පම පුළුවන් තරම් අඩු කරගන්න ඒ අයත් එක්‌ක කතා කරන්න. රහස්‌ පොලිසියේ නිලධාරීන්ගේ උපදෙස්‌ මත හේරත් මුදලාලි කප්පම් කරුවන් සමග කතා කළේය.

උඹලා කියන තරම් දෙන්න මට සල්ලි නැහැ. ගාන ටිකක්‌ අඩුකරපල්ලා. මම ඒ ගාන උඹලට ගෙනල්ලා දෙන්නම්. හේරත් මුදලාලි කොතෙකුත් ආයාචනා කළද කප්පම්කරුවන් කෝටියේ කප්පම අඩු කිරීමට සූදානම් වුණේ නැත. අවසානයේ අදාළ මුදල ලක්‍ෂ 50 ක්‌ දක්‌වා අඩු කිරීමට කප්පම්කරුවන් එකඟ වුණේය.

මම උඹලාට ලක්‍ෂ 35 ක්‌ දෙන්නම්. මගෙ ළඟ තියෙන්නෙ එච්චරයි. උඹලා කියන තැනකට මම සල්ලි ගෙනල්ලා දෙන්නම්.

හේරත් මුදලාලිගේ යෝජනාවට කප්පම්කරුවන් කැමැත්ත ප්‍රකාශ කළේය. ඒ වන විට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීනුත් පොලිස්‌ නිලධාරීනුත් කප්පම්කරුවන් පිළිබඳ තොරතුරු සෙවීමට පරීක්‍ෂණයක්‌ ආරම්භ කර සිටියහ.

කප්පම්කරුවන් එක්‌තරා දුරකථන අංකයකට අයත් අංක 3 ක්‌ ඔස්‌සේ හේරත් මුදලාලිට ඇමතුම් දෙන බව සොයාගත් රහස්‌ පොලිසිය ඒ අංකවලට අදාළ තොරතුරු වාර්තා ලබා ගත්තේය. කප්පම්කරුවන් ඉතාම සූක්‍ෂමව මේ කාර්ය මෙහෙයවන බව පොලිසිය දැනගත්තේ ඉන් අනතුරුවය. කප්පම්කරුවන් එම දුරකථන අංක තුනට අදාළ සිම් කාඩ්පත්වලින් ඇමතුම් ලබාගෙන තිබුණේ හේරත් මුදලාලිට පමණි. ඒ ඔස්‌සේ පරීක්‍ෂණ ඉදිරියට ගෙන යැම අපහසු විය.

අගෝස්‌තු මස 01 වැනිදා ඉතාම කාර්යබහුල දිනයක්‌ විය. දරුවාගේ ජීවිතයට අනතුරක්‌ සිදුවූවොත් පරීක්‍ෂණ සියල්ල වතුරේ ගහගෙන යන බව රහස්‌ පොලිසිය හො
කාරවම දැන සිටියේය.

ඒ නිසා ඉතාම සූක්‍ෂම ලෙස දරුවා සොයාගැනීම කළ යුතු විය. අදාළ කප්පම් මුදල ලබා දීමට ස්‌ථානයක්‌ පවසන ලෙස හේරත් මුදලාලි මාර්ගයෙන් කප්පම්කරුවන්ට පණිවිඩයක්‌ යෑවීමට රහස්‌ පොලිසිය කටයුතු කළේය.

එමෙන්ම මේ කප්පම් සිද්ධිය කිසි විටෙකත් හෙළිදරව් නොකිරීමට පොලිසිය වගබලා ගත්තේ දරුවාගේ ජීවිතයට හානියක්‌ වීමට ඉඩ තිබූ නිසාය. මාධ්‍යවලින් පවා එය ප්‍රචාරය නොකිරීමට වගබලා ගත්තේ දරුවා ගැන තිබූ ආදරය නිසාය. දිනිඳු දරුවා කප්පම්කාරයෝ ළඟ ඉන්නවාද කියලා හරියටම දැනගන්න ඕන. ඒ නිසා ඒ අයට කතා කරලා කියන්න දරුවගේ කටහඬ අහන්න ඕනෙ කියලා.

රහස්‌ පොලිස්‌ නිලධාරීන්ගේ උපදෙස්‌ මත හේරත් මුදලාලි කප්පම් කරුවන්ට කතාකර දරුවාගේ හඬ ඇසීමට අවශ්‍ය බව කීවේය. කප්පම්කරුවන් ඒ අවස්‌ථාවේ හේරත් මුදලාලි සමග දරුවා දුරකථනයෙන් සම්බන්ධ කළේය. එහෙත් ඔහුගේ හඬ හරියාකාරව හඳුනා ගැනීමට හේරත් මුදලාලිට හැකි වුණේ නැත.

මේ අතර අදාළ කප්පම් මුදල රැගෙන ඇහැටුවැව ප්‍රදේශයේ ස්‌ථානයකට පැමිණෙන ලෙස කප්පම්කරුවන්ගෙන් හේරත් මුදලාලිට නියෝගයක්‌ ලැබුණේය.

හේරත් මුදලාලි ඔවුන් කිවූ ස්‌ථානයට මුදල් රැගෙන ගියද කප්පම්කරුවන් පැමිණියේ නැත. ඒ ප්‍රදේශයේ කෝවිල අසල දරුවාගේ පංචායුධය තබා තිබෙන බවට කප්පම්කරුවන් දැනුම් දුන්නේය.

හේරත් මුදලාලි අදාළ මුදල රැගෙන කෝවිල අසලට ගියද දරුවා එහි නොවීය. දිනිඳුගේ පංචායුධය පමණක්‌ කෝවිල අසල තිබී සොයා ගැනීමට හැකි විය.

මේ ආකාරයට අගෝස්‌තු 01 වැනිදා දවස පුරා ස්‌ථාන 7 කට හේරත් මුදලාලි ගෙන්වීමට කප්පම්කරුවන් කටයුතු කළද මුදල් ලබා ගැනීමට ඔවුන් පැමිණියේ නැත. මේ අතර රහස්‌ පොලිසියේ නිලධාරීන් විවිධ තාක්‍ෂණ ක්‍රම යොදා ගනිමින් පරීක්‍ෂණ කටයුතු මෙහෙයවන්නට වූහ.

කප්පම්කරු ඇමතුම් ලබාදෙන ජංගම දුරකථනයේ එමි අංකය ඔස්‌සේ තොරතුරු සෙවූ රහස්‌ පොලිසිය එම ජංගම දුරකථනය මීට ඉහතදී සිම් කාඩ්පත් 12 ක්‌ යොදා පාවිච්චි කළ එකක්‌ බව සොයා ගත්තේය.

ඒ අනුව පැරැණි අංක සහිත සිම් කාඩ්පත්වල දුරකථන වාර්තා ලබා ගැනීමට රහස්‌ පොලිසිය කටයුතු කළේය.

එම දුරකථන වාර්තා ඉතාම සූක්‍ෂම ලෙස පරීක්‍ෂා කළ රහස්‌ පොලිසියේ නිලධාරීන් එක්‌තරා සැකකටයුතු අංකයක්‌ සොයා ගත්තේය. එම අංකය සහිත දුරකථනය පාවිච්චි කරන පුද්ගලයාගේ ලිපිනයද සොයා ගැනීමට පොලිසියට හැකිවිය.

ඒ අනුව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක්‌ එම පුද්ගලයා සෙවීමේ පරීක්‍ෂණ ආරම්භ කළහ. අඹන්පොල ප්‍රදේශයේ නිවසක්‌ සොයා ගිය පොලිස්‌ නිලධාරීන් අතරමගදී හමුවූ පුද්ගලයකුගෙන් විඡේ නමැති දුරකථන අංකය හිමි පුද්ගලයා පිළිබඳව විමසුවේය.

ඒ තරුණයා විඡේ ගැන කිසිවක්‌ නොදන්නා බව කීවේය. එතැන සිටි වෙනත් අයකු විඡේගේ නිවස රහස්‌ පොලිසියේ නිලධාරීන්ට පෙන්නුවේය.

පොලිස්‌ නිලධාරීන් නිවස වට කරද්දී විඡේ නමැත්තා නිවස තුළ සිටියේය. රහස්‌ පොලිසියේ නිලධාරීහු ඔහු සිය භාරයට ගෙන තොරතුරු විමසන්නට වූහ. මේ පුද්ගලයා දරුවා ගැන කිසියම් හෝඩුවාවක්‌ දන්නා බව වැඩිවෙලාවක්‌ යන්නට පෙර පොලිස්‌ නිලධාරීන් තේරුම් ගත්හ.

දිනිඳු දරුවා කොහෙද ඉන්නෙ ඇත්ත කියපං... පොලිස්‌ නිලධාරීන් අඩි පොළවේ හප්පා කෑගසද්දී විඡේ හඬ අවදි කළේය. අනේ සර් ගහන්න එපා දරුවා අරගෙන ආවේ අපි තමයි. දරුවා ගල්ගමුවේ ගෙදරක තියාගෙන ඉන්නෙ ඒ තැන පෙන්වන්නම්.

විඡේ කියූ දේ ඇසීමෙන් රහස්‌ පොලිස්‌ නිලධාරීන් තුෂ්නිම්භූත වූහ. තමන් නිවැරැදිම ස්‌ථානයට පැමිණ සිටින බව දැන ගැනීමෙන් ඔවුන් දැඩි ලෙස සතුටට පත්ව සිටියහ.

මේ අතර විඡේ ගැන අතරමගදී තොරතුරු විමසූ තරුණයාද මේ කප්පම් කල්ලියේම එකකු බව පොලිසිය දැන සිටියේ නැත. ඒ තරුණයා ගල්ගමුවේ නිවසේ සිටින අනෙක්‌ දෙදෙනාට දුරකථන ඇමතුමක්‌ ලබාදී මේ පිළිබඳව දැනුම් දුන්නේය.

පොලිසියෙන් ඇවිත් විඡේගේ ගේ වට කළා. වැඩේ ගැස්‌සිලා වගෙයි පේන්නේ. දරුවව කොහෙට හරි ගෙනියන්න.

ගල්ගමුවේ නිවසේ සිටි කප්පම් කල්ලි සාමාජිකයන් දෙදෙනා පුංචි දිනිඳු රැගෙන යැමට ස්‌ථානයක්‌ සෙවූවද එය පහසු නොවීය. ප්‍රදේශයේ කැලෑවක තිබූ ගල් ලෙනකට දරුවා රැගෙන ගොස්‌ තබා ගැනීමට උත්සාහ කළද එය ව්‍යර්ථ විය. අවසානයේ පුංචි දිනිඳු දරුවා ගල්ගමුවේ සිට කිලෝ මීටර් 20 ක්‌ දුර යතුරුපැදියෙන් රැගෙන ගිය කප්පම්කරුවන් ඔහු ඇඹෝගම ප්‍රදේශයේ නිවසක්‌ අසලදී අතහැරියේය.

පුතා මේ ගෙදරට යන්න ඒ නිවස දෙසට දරුවා යෑවූ කප්පම්කරුවන් පොලිසියෙන් බේරීමට හැකි සෑම උත්සාහයක්‌ම ගත්තේය. විඡේ රැගෙන ගල්ගමුවේ නිවසට පොලිසිය ගියේ දහසකුත් බලාපොරොත්තු රඳවාගෙනය. එහෙත් ඒ වන විට දරුවා නිවසින් රැගෙන ගොස්‌ තිබිණි.

ගතවුණේ සුළු මොහොතකි. ගල්ගමුව පොලිස්‌ ස්‌ථානාධිපතිවරයාගේ ජංගම දුරකථනයට ඇඹෝගම ප්‍රදේශයේ නිවසකින් ඇමතුමක්‌ ලැබුණේය. "සර් පුංචි ළමයෙක්‌ අපේ ගේ ළඟ දාලා ගිහිල්ලා. අර පැහැරගත්ත දරුවද කියලා අපි සැක කරනවා."

ඒ ඇමතුම ලැබීමෙන් පසු පොලිස්‌ නිලධාරීන් දැඩි ලෙස සතුටට පත් වූහ. පුංචි දිනිඳු පුතා ඒ නිවසේ ඇති බව විශ්වාස කළ පොලිස්‌ නිලධාරීන් ඇඹෝගම යන්නට පිටත් වූහ. අතරමගදී ඉදිරියෙන් එන යතුරුපැදියක්‌ දුටු ජිප් රථයේ සිටි විඡේ නමැත්තා කෑගැසුවේය.

ඔය එන්නෙ අපේ ටීම් එකේ අය" වහාම ක්‍රියාත්මක වූ පොලිස්‌ නිලධාරීන් ඒ මොහොතේම යතුරුපැදියේ ගමන්ගත් කප්පම්කරුවන් දෙදෙනා අත්අඩංගුවට ගත්හ.

ඇඹෝගමට ගිය පොලිස්‌ නිලධාරීන් පුංචි දිනිඳු දරුවා සොයා ගත්හ. අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්‌පති, සහකාර පොලිස්‌ අධිකාරිවරයකු, ගල්ගමුව පොලිස්‌ ස්‌ථානාධිපති ඇතුළු නිලධාරීන් දරුවා සොයා ගනිද්දී ඔහු සිටියේ දැඩි ලෙස භීතියට පත්වීමෙන්ය.

පුතා අපි ඔයාව අප්පච්චි ළඟට ගෙනියන්න හදන්නේ. පොලිස්‌ නිලධාරීන් දිනිඳු පුතා සුරතල් කළේය. ඔහු ඉතාම ඉක්‌මනින් ඕනෑම අයකු සමග ලෙන්ගතු වන බව පෙනෙන්නට තිබිණි. අපි කොළඹ යමුද පුතා. පොලිස්‌ නිලධාරීන් විමසුවේය.

හා... මට ලොලිෙපොප් ගන්නත් පුළුවන්නේ. පුංචි දිනිඳු පුතා සැහැල්ලුවෙන් කීවේය.මුළු රටම හෙල්ලූ ෙ€දවාචකය නිමාවෙමින් තිබිණි. පුංචි දිනිඳු පුතා වෛද්‍යවරයකු වෙත ඉදිරිපත් කිරීමෙන් පසු නිවස වෙත රැගෙන යැමට පොලිස්‌ නිලධාරීන් කටයුතු කළහ.

මීගලෑව ප්‍රදේශයට එද්දී පුංචි දිනිඳු සතුටින් කෑගැසුවේය. මේ තියෙන්නෙ අපේ ගෙවල් ළඟ වැව. අර තියෙන්නෙ අපේ මොන්ටිසෝරිය. දැන් අපේ ගෙදරට ළඟයි. අප්පච්චි බලාගෙන ඇති අපි ඉක්‌මනට යමු.

පුංචි දිනිඳුගේ සුරතල් වදන් කාගේත් දැස්‌ කඳුළින් තෙත් කළේය. දිනිඳු පුතා සොයා ගත් පුවත සැලවීමෙන් පසු මීගලෑව මඟුල් සිරියක්‌ ගෙන තිබුණේය. කිරිබත් උයමින් ජනතාව සතුටු වූහ. ඒ වන විටත් කප්පම් කල්ලියේ සාමාජිකයන් සිවුදෙනාම පොලිස්‌ අත්අඩංගුවට පත්ව සිටියහ.

පැහැරගත් පුංචි දරුවාට කෑම බීම ලබාදී ඔහු රැකබලා ගැනීමට කප්පම් කල්ලියේ සාමාජිකයන් කටයුතු කර තිබුණේය. පුංචි දරුවාගේ කැතකුණු පවා ඉවත් කරමින් ඔහු රඳවා ගෙන සිටි කප්පම්කරුවන් කිසිදු හිරිහැරයක්‌ නොකිරීමටද වගබලා ගෙන තිබිණි.

මවුපිය සෙනෙහස නොමැතිව දින හතරක්‌ තිස්‌සේ හැඬූ කඳුළෙන් සිටි පුංචි දිනිඳු ඒ වන විට දැඩි ලෙස හෙම්බත්වී සිටියේය.

මුළු රටම ප්‍රාර්ථනා කළ මුළු රටම බලාපොරොත්තුවෙන් සිටි පුංචි දිනිඳු නිරුපද්‍රිතව නිවසට ආවේය. දිනිඳුගේ පැමිණීම ගැන ජාති ආගම් භේදයකින් තොරව මුළු රටම සතුටට පත් වුණේය. අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවත් පොලිසියත් කළ මහා සටන අවසානයේ ජය ගත්තේය. ඒ කළ උතුම් මෙහෙයට ලක්‌වාසීන් ශ්‍රී ලංකා පොලිසියට හදපතුලෙන්ම පිං දෙන්නට වූහ.
 
Related Posts with Thumbnails