Ads 468x60px

.

උමයංගනාට පොඩි කරදරයක්

උමයංගනාට 
වඩාත් ගැළපෙන 
පෙම්වතා කවුද..?

චරිතාංග නිළියක ලෙස විවිධ චරිත ඔස්සේ ඇය තම රංගන කුසලතාව විදහා පා තිබුණද ඇය ප්‍රෙක්ෂක හදවත් දිනා ගැනීමට සමත් වන්නේ අහිංසක තරුණියකගේ එසේත් නොමැති නම් ඇගේම වචනයෙන් කීවොත් සුදු චරිත හරහා. 

එසේ නම් මා ධනංජනා නැතහොත් දේදුනු කියු සැණින් ඔබ ඇයව හඳුනාගෙන ඇති බව නම් සහතිකය. ඇය උමයංගනා වික්‍රමසිංහයි.

උමයංගනාට පොඩි කරදරයක් කියලා ආරංචි වුණා?

ඔව්. මට ඉන්නේ එකම මල්ලියි. එයා මශේෂ් වික්‍රමසිංහ. ඔහුට හදිසියේම වැළඳුණු උණයි බඩේ අමාරුවකුයි නිසා දැන් දවස් කිහිපයක සිට

ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමිනුයි ඉන්නේ. 

තවමත් රෝගය හඳුනා ගන්න වෛද්‍යවරු අවශ්‍ය පරීක්ෂණ කරනවා. ඉතින් මගේ වැඩ ඉවර වුණ ගමන්ම මල්ලිව බලන්න යනවා. තාත්තයි බාප්පයි පුංචියි තමයි ඔහුගේ හැම වැඩ කටයුත්තක්ම හොයලා බලන්නේ.

ටෙලි නාට්‍ය දෙක තුනකින්ම මේ දවස්වල ඔබේ රුව දැක ගන්න ලැබෙනවා. කොහොමද ඒ චරිත වලට ලැබෙන ප්‍රතිචාර?

හොඳයි. හැම චරිතෙකටම එක වගේ හොඳ ප්‍රතිචාර ලැබෙනවා.

මෙතෙක් නිරූපණය කළ චරිත අතුරෙන් වඩාත් ඔබේ සිත් ගත් චරිතයක් තිබෙනවාද?

කරපු හැම චරිතෙකටම කැමැතියි. හැබැයි වැඩි පිරිසක් මාව හඳුනා ගත්තේ සහ ජනප්‍රියත්වයට පත් වුණේ 'ජීවිතේ ලස්සනයි' කියන ප්‍රථම දිර්ඝ ටෙලි නාට්‍යයේ ධනංජනා නිසයි. ඉන්පසු දේදුනුටත් බොහෝ දෙනා ආදරය කළා.

උමයංගනා හැමදාමත් තෝරා ගන්නේ අහිංසක චරිතමනේ?

හම්ම්...මට ඒ දේ පිළිගන්න අමාරුයි. වැඩියෙන්ම නිරූපණය කරන්න ලැබෙන්නේ පෙම්වතියගේ චරිතය. ඉතින් බොහෝ පිරිසක් මාව දකින්නේ ඒ චරිත ඔස්සේයි. ඒ කියන්නේ සුදු චරිත හරහා. 


නමුත් නපුරු වගේම කටකාර චරිත වැනි විවිධ චරිත රඟපාලා තියෙනවා. 'පියවි', 'ෆෙන්ෂුයි ගෙදර' සහ 'ගජමුතු' වැනි ටෙලි නාට්‍යයන්හි මා නිරූපණය කළ චරිත ඊට හොඳම උදාහරණ. ඉතින් මම ඒකාකාරි චරිත වලට කොටු වෙලා කියලා කියන්න බැහැ.

ඔබ මෙතෙක් නිරූපණය කළ චරිත කාගෙවත් විවේචනයට ලක් වෙලා නැද්ද?
මම දැනුවත්ව නම් නැහැ. ඒත් අර කලින් කිව්වේ මම නපුරු චරිතයක් කළායි කියලා. ඒ චරිතෙට නම් මගේ රසිකයෝ කිව්ව ඒ වගේ චරිත කරන්න එපා කියලා

පුංචි තිරයේ උමයංගනාට වඩාත් ගැළපෙන පෙම්වතා කවුරු කියලද හිතන්නේ?

එහෙම හිතෙන්නෑ. එක්කෙනෙක් කියලා විශේෂත්වයක් නැහැ.

හරිම අහිංසක පෙනුමක් තියෙන උමයංගනා හැබෑවටම අහිංසකද?
මට හරියටම පැහැදිලි කරන්න අමාරුයි. සාමන්‍යයෙන් මං හරි සංවේදි කෙනෙක්. හැබැයි මට තරහා යන්නේ නැහැ කියලා කියන්නත් බැහැ. ඉතින් මං තුළ ඔය හැම දේම සම්මිශ්‍රණය වෙලා තියෙනවා. හැබැයි මං මිනිස්සුන්ට ආදරේ කරන හරිම සරල චරිතයක්.

රංගන කටයුතු නිසා නිවේදන කටයුතු දැන් අතරමග නැවතිලාද?

ප්‍රවෘත්ති නිවේදන කටයුතු නම් නැවතුණේ නැහැ. දැන් වසර නමයක් තිස්සේ ප්‍රවෘත්ති නිවේදිකාවක් විදිහට ශ්‍රී ටී.වී. නාළිකාවේ කටයුතු කරනවා. ඒ හැරුණම පසු ගිය කාලේ වැඩසටහන් නිවේදිකාවක් විදිහටත් සහභාගී වුණා. ඉතින් නිවේදනය හා රංගනය සමබරව කරගෙන යන්න උත්සහ කරනවා.

ඔබෙ නර්තන කුසලතාව නම් තවම දැකලා නැහැ?

 
යම් තාක් දුරට ඒ හැකියාව මට පිහිටලා තියෙනවා. නමුත් ඊට මම දක්ෂද කියලා තීරණය කරන්න මට බැහැ. එය තීරණය කළ යුත්තේ බලන ප්‍රේක්ෂකයෝ. පහු ගිය කාලේ සමහර රියැලිටි වැඩසටහන් වලටත් ආරාධනා ලැබුණට මම ඒවට සහභාගි වුණෙත් නැහැ. දැනට ජයන්ත කරුණාසේකර ගුරුතුමා යටතේ මම භරත නාට්‍යම් හදාරනවා.

මේ හැම දේම එක්ක විවේකිව ගත කරන්න කාලයක් ලැබෙනවාද?

 
පහු ගිය කාලේ එක දිගට තිබුණු වැඩ රාජකාරි නිසා විවේකයක් නැති තරම්. නමුත් දැන් මම කොහෝම හරි නිදහසේ ඉන්න වෙලාවත් හදා ගෙන තියෙන නිසා විවේකීව ගත කරන්න යම් කාලයක් ලැබෙනවා. ඉතින් පොත් පත් කියවන්නයි පුළුවන් තරම් විවේකිනව ගත කරන්නයි ඒ වෙලාව යොදා ගන්නවා.

උමයංගනා තවම අතීතය ගැන ලතැවෙමින් ද ඉන්නෙ?

මම අතීතය ගැන කොහොමටවත් වද වෙලා නැහැ. මේ ලොකේ ප්‍රශ්න දුක් කම්කටොලු නැති කෙනෙක් ඇතියි කියලා මං හිතන්නෑ. ඒ කාරණව මට වගේම මනුස්සයෙක් වෙලා ඉපදුණු හැම කෙනාටම පොදුයි. මගේ ජීවිතේ කඩා වැටීම් වුණා කියලවත් හිතන්න කැමැති නැහැ. ඒ කොහොම වුණත් මට කවදත් හැම දේටම හොඳින් මුහුණ දීමේ ශක්තියක් තිබුණා.
 
Related Posts with Thumbnails