Ads 468x60px

.

ඉතිහාසය තවදුරටත් ඉදිරියට ගෙන යැමට තැත් කරන නීච අවලමුන්ට කියන වගනම්

කප්පම් සඳහා දරුවන් පැහැරගෙන යැම මනුෂ්‍ය ඉතිහාසයේ කොටසකි. පෞද්ගලික ආරවුල් සම්බන්ධයෙන් වැඩිහිටියන්ගෙන් පළි ගැනීම සඳහා දරුවන් බිලිගැනීම ද මනුෂ්‍ය ඉතිහාසයේ කොටසකි. 

මේ ඉතිහාසය තවදුරටත් ඉදිරියට ගෙන යැමට තැත් කරන නීච අවලමුන්ට කැති සහ මන්න වලින් පහර දිය යුතු බවත්, නඩු නො අසාම ඔවුන් දණ්‌ඩනයට පත් කළ යුතු බවත් යෝජනා කරමින් මේ වැකිය අරඹනු ලැබේ. 

අද අපේ නිමිත්ත මෙයට දින කිහිපයකට පෙර මීගලෑවේදී පැහැරගෙන යන ලද ධනිඳු ලංකානාථ ඒකනායකය. කිසි කෙනෙකුට මේ සිව් හැවිරිදි දරුවා සමඟ ආරවුලක්‌ ඇති කර ගැනීමේ අවශ්‍යතාවක්‌ නැත.  ඔහු පැහැර ගෙන ගොස්‌ ඇත්තේ එක්‌කෝ කප්පම් පිණිසය නැත්නම් ඔහුගේ
වැඩිහිටියන් සමඟඇති කර ගත් ආරවුලකට පළිගැනීම පිණිසය.

එක්‌දහස්‌ නවසිය හැත්තෑ ගණන්වලදී ලංකාව කැළඹූ 'පොලින් කෲස්‌ නඩුව' නමැති නඩුවක්‌ විය. පොලින් කෲස්‌ නමැති කාන්තාවක්‌ එක්‌දරු පියකු සමඟ ප්‍රේම සම්බන්ධයක්‌ ඇතිකර ගත්තේය. (නැත. එම එක්‌දරු පියා පොලින් කෲස්‌ සමඟ ප්‍රේම සම්බන්ධයක්‌ පටන් ගත්තේය.) 

තම ප්‍රේමයට, පෙම්වතාගේ දරුවා වූ ගෝඨාභය රාම්දාස්‌ කිරඹකන්ද බාධාවක්‌ වන බව දුටු පොලින් කෲස්‌ එම දරුවා ළිඳකට දමා මැරීය.

අන්තිමේදී දරුවාගේ පියා නීතිය ඉදිරිපිටදී අත සෝදාගත් නමුත් පොලින් කෲස්‌ දීර්ඝ සිර දඬුවමකට යටත් විය. මෙහි ඇති වැදගත්ම කාරණය වන්නේ පොලින් කෲස්‌ ආත්ම හතකට හිරේ ගියේ ද ගෝඨාභය රාම්දාස්‌ කිරඹකන්දට යළි පණ නො ලැබෙන බව ය. 

පැහැර ගැනීමට ලක්‌ වූ ධනිඳු ලංකානාථ ඒකනායක තව ටික දිනකින් ඔහුගේ දෙමාපියන්ට යළි ලැබීමට ඉඩ ඇතත්, පැහැර ගැනීමට ලක්‌ව සිටි දින කිහිපය තුළ ලද මානසික පීඩාවලින් සිදුරු වූ ඔහුගේ සිත කිසි කලෙකත් සුවපත් වන්නේ නැත. එය ඔහු පසු පස එනු ඇත්තේ අතෘප්තිකර භූතාත්මයක්‌ ලෙසය.

පසුගිය අවුරුදු 20 තුළ පැහැර ගැනීමට ලක්‌ව ඉතා ඛේදජනක ඉරණමකට මුහුණ දුන් දරුවන් දෙදෙනකු ගැන අපට මතක තිබේ. ඉන් පළමුවැන්නා මතුගම සමන් කුමාර ය. දෙවැන්නා සදීප ලක්‍ෂාන් ය. මේ දරුවන් අද අප අතර නැත. 


එහෙත් ඒ දරුවන්ගේ ජීවිත වැනසූ මිනීමරුවෝ දීර්ඝ සිර දඬුවම් ලබා නිදහස්‌ව අද වන විට විවෘත සමාජයේ හැසිරෙති. මේ මිනිස්‌සු ද ඉතා අවාසනාවන්තයහ. ඔවුහු හැම මොහොතකම ඔවුන්ගේ හෘද සාක්‍ෂියට උත්තර දිය යුතු ය. හෘද සාක්‍ෂියේ පරිහාසයට ලක්‌ විය යුතු ය. 

කිසිවකු විසින් ළමයකු පැහැරගනු ලැබී යයි කියෑවෙන හැම මොහොතකම ඔවුන්ගේ හදවත් නවතිනවා ඇත.

ධනිඳු ලංකානාථ පැහැර ගන්නා ලද්දේ සම්පූර්ණයෙන් ම මුහුණ වැසෙන හෙල්මට්‌ පැළඳගත් කිහිපදෙනකු විසිනි. මේ හෙල්මට්‌ වර්ගය තහනම් කළ යුතු බවට දැනට මතයක්‌ ගොඩ නැගෙමින් පවතී. අද හෙල්මට්‌ තහනම් කළොත් හෙට මෝටර් සයිකල් තහනම් කිරීමට ද සිදුවෙයි. 


මන්ද අපරාධකරුවන් මෝටර් සයිකල්වල එන නිසා ය. අනිද්දාට කාර් සහ වෑන් තහනම් කිරීමට ද සිදු වෙයි. මන්ද අපරාධකරුවන් කාර්Êසහ වෑන්වල නැගී යන නිසා ය. ඊට පසු එළැඹෙන දින පයින් යැම ද තහනම් කළ යුතු වනවා ඇත. මන්ද අපරාධකරුවෝ පයිනුත් යති. 

ඒ අතර අපරාධකරුවන් ආයුධ ලෙස පාවිච්චි කරන කැති, මන්න, පොරෝ, පාන් කපන පිහි පමණක්‌ නොව සියලුම ජලාශ සහ ළිං ද තහනම් කිරීමට සිදු වන්නේ ය. හේතුව, අපරාධකරුවන් තම ගොදුරු ජලාශ සහ ළිංවලට දැමීම ය. මෙයට වඩා වැදගත් වන්නේ නීතිය බලගන්වා කාර්යක්‍ෂම කිරීම ය. 

මේ රටේ පොලිසිය අපරාධකරුවන් සම්බන්ධයෙන් නීතිය උපරිම ලෙස ක්‍රියාත්මක කරන බව අපි දනිමු. එහෙත් සමහර විට පොලිසිය ද බෙලහීන කරනු ලැබේ. ක්‍ෂණිකව බෙලහීන නොවී කටයුතු කළ හැක්‌කේ යුද හමුදාවට පමණි. 

මේ නිසා සිවිල් අපරාධ මෙහෙයුම්වලදී (ස්‌වල්ප කලකට හෝ) යුද හමුදාව හවුල් කර ගත යුතුව ඇත. මෙයින් අප අදහස්‌ කරන්නේ රට ආණ්‌ඩු කිරීම යුද හමුදාවට භාර දිය යුතු බව නොවේ. දැනට හටගෙන තිබෙන අනර්ථකාරී තත්ත්වය කළමනාකරණය කර ගැනීම සඳහා හමුදාවේ උදව් ලබා ගැනීම ය.
 
Related Posts with Thumbnails