Ads 468x60px

.

කතාබහ කලාට කමක් නෑ කොතනවත් දමිතාගේ නම දාන්න එපා - සේමිණි කියයි


දමිතා ප්‍රසිද්ධියේ 
සමාව ගත්තොත් 
සලකා බලනවා..

පෞද්ගලික ගුවන් විදුලි නාලිකා වක් හරහා තමන්ට අපහාස කළා යැයි චෝදනාව මත ජනප්‍රිය නිළි දමිතා අබේරත්නට එරෙහිව සේමිණී ඉද්දමල්ගොඩ අපහාස නඩුවක් ගොනු කරනු ලැබුවා.

එය මේ වන විට විභාග වෙමින් පවතිනවා. සේමිණී එම නඩුව හරහා සිය චරිතයට හානියක් කළ බව පවසමින් නීති මාර්ගයට පිවිසුනා. මිතු දමෙන් සිටි සේමිණි හා දමිතා ගේ මේ අවුල බොහෝ දෙනාගේ විමතියට හේතු වුණා. 


අප මෙවර ඔවුන් දෙදෙනාගෙන් සේමිණීව කතාබහකට එකතු කර ගත්තේ ඉහත කතිකාවතහි අලුත්ම තත්ත්වය ගැන විමසා බැලිමටයි. සේමිණී මේ කතාව අරඹන්නට මත්තෙන් අපගෙන් ඉල්ලීමක් කළා. ඒ ඇයගේ ප්‍රකාශයේ කොතනකදීවත් දමිතාගේ නම සඳහන් නොකරන ලෙසටයි.

සේමිණි, ඔබ ජනප්‍රිය රංගන ශිල්පිණියකට විරුද්ධව ගොනු කොට තිබූ අපහාස නඩුවේ අලුත්ම තත්ත්වය කොහොමද?


ඒක ඔක්තෝම්බර් පළමුවැනිදාට කල් ගියා. එදින සිට සාක්ෂි විමසීම පටන් ගනීවි.

ඔබ මාධ්‍යයට ප්‍රකාශ කොට තිබුණා ඇය ඔබ දෙපාමුලට ඇවිත් සමාව ගත්තොත් මේ නඩුව ඉල්ලා අස් කර ගන්නවා කියලා?
ඔව්. මං එහෙම කරන්න හිතලා බලනවා.

හිතලා බලනවා?

එවෙලෙට මං මොනවා කරයිද දන්නේ නැහැනෙ. හැබැයි ඇය නිකම් මගේ ළඟට ඇවිත් අක්කෙ මට සමාවෙන්න කිව්වට වැඩක් නැහැ.

එහෙනම්?

මාධ්‍ය ඉදිරියේදී ප්‍රසිද්ධියේ සමාව ගන්න ඕනෑ.

ඇය ඔබේ ඒ කතාවට මොන වගේ ප්‍රතිචාරයක්ද දැක් වූයේ?


මං කොහොමද ඒක දන්නේ.

වටින් ගොඩින්වත් ආරංචි වුණේ නැද්ද?

මං හෙව්වෙ නැහැ. ඇය මගෙන් සමාව ඉල්ලන්න අවශ්‍ය නම් මට කතා කරයිනෙ.

ඇයි නඩුවක් විභග වෙද්දී එවන් ප්‍රකාශයක් කළේ?

සමාව දීම දේව ගතියක් නිසා.

ඔබ එමඟින් අදහස් කළේ ඔබ නිවැරැදියි කියලා මිනිස්සුන්ට ඒත්තු ගන්වන්නද?

සමාව දීම දේව ගතියක් යන ප්‍රකාශය සාමාන්‍ය ව්‍යවහාරයේ තියෙන එකක්. අනික මං නිවැරැදියි කියලා මට කියන්න බැහැනෙ. ඒවා උසාවිය තීරණය කරයි.

ඇය ඔබට විරුද්ධව ප්‍රති පිළිතුරු නඩුවක් පැවරුවා. එයට මොකද වුණේ?

එය ඇයගෙන් ඇසිය යුතු පැනයක්. ඊට මගේ අදාළත්වයක් නැහැ.

ඔබ මෙලෙස කටයුතු කරද්දී සමාජය හිතන්න පුළුවන් ඔබ හරි නපුරු නිළියක් කියලා?

මිනිස්සුන්ට ඕන දෙයක් කියන්න පුළුවන්. ඒක එයාලගේ අයිතියක්නේ. මට යම් අසාධාරණයක් වුණා. එයින් මගේ චරිතයට සිද්ධ වූ හානිය බරපතලයි. ඉතින් මම ඒ සඳහා සාධාරණයක් ඉටුකර ගන්න නීතියෙන් පිළිසරණක් පැතුවා. එච්චරයි.

ඔබ සහ ඇය දිවෙන් දිව ගාගෙන හිටපු මිතුරියන් දෙදෙනෙක්. කොහොමද මෙතරම් විරසකයක් ඇති වුණේ?

කවුද කියන්නේ අපි හොඳ යාළුවෝ කියලා. අපි දෙන්නා මිතුරුකම් පැවැත් වූයේ වෘත්තීමය ජීවිතයේදී පමණයි. ලොකේෂන්වලදී හමු වුණා, අවශ්‍යතා මත කතාබහ කළා. ඉන් එහාට ඇයව මම පවුලේ මිතුරියක් වගේ නෙවෙයි ඇසුරු කළේ. අඩුම ගානේ ඇය මගේවත් මම ඇයගේවත් නිවෙස්වලට ගිහින් නැහැ. ඒකයි මේක සාකච්ඡා මාර්ගයෙන්වත් විසඳගන්න බැරි වුණේ.

දැඩි මිතුදමක් නොතිබුණත් ක්ෂේත්‍රය ගැන හිතලා සාකච්ඡා මාර්ගයෙන් මේ ගැටලුව නිරාකරණය කරගන්න තිබුණනේ?

ඇත්තම කිව්වොත් කතාබහ කරලා මෙය විසඳගන්න බැරි තත්ත්වයක් ආවා. මොකද එයාට එහෙම විසඳුමකට එන්න තරම් දැන උගත්කමක් නැහැ. මට හොඳ පවුල් ජීවිතයක් තියෙනවා. හස්බන්ඩ් කෙනෙක් ඉන්නවා. මගේ වෘත්තීමය ජීවිතයත් හොඳට ගෙනි යනවා. ඒ හින්දා මේ ප්‍රශ්නය මට මගේ පෞද්ගලික ජීවිතයට කැලලක්. මං මගේ පවුල් පසුබිමත් එක්කයි ඇයට මෙය දුරදිග නොයවා ඉමු කිව්වේ. ඒත් ඒ උත්සාහය නිෂ්ඵල වුණා.

මේ වන විට නඩුවට කීයක් විතර සේමිණී වියදම් කරලා තියෙනවාද?

ලක්ෂ තුනක් විතර.

මෙය ඉල්ලා අස්කර ගන්න යැයි පවසා ඔබට තර්ජන එහෙම ඇවිත් නැද්ද?

කොහෙත්ම නැහැ. ආවත් මං බයත් නැහැ. මොකද මේ රටේ නීතිය කියලා දෙයකුත් තියෙනවනේ.

ඔබ නඩුවෙන් දිනලා ලැබෙන මුදලින් මොනවා කරන්නද හිතාගෙන ඉන්නේ?

මුදල් නෙවෙයි මගේ බලාපොරොත්තුව. මට ඕනෑ නීතිය ක්‍රියාත්මක කොට වැරැදිකාරයන්ට දඬුවම් කරන්න. අනික ඇයට මට දෙන්න තරම් මුදලක් ඇත්තෙත් නැතුව ඇතිනෙ.

බැරි වෙලාවත් ඔබ මේ නඩුවෙන් පැරදුණොත්?

කරන්න දෙයක් නැහැ. නීතියේ තීරණය හිස් මුදුනින්ම මං පිළිගන්නවා.

ඔබට සහ ඇයට එකම නිර්මාණයක සහෝදරියන් ලෙස රඟපාන්න ඇරැයුම් ලැබුණොත් බාර ගන්නවාද?

ඇයි මම ආරාධනාව ප්‍රතික්ෂේප කරන්නේ. මේක මගේ පෞද්ගලික ජීවිතය හා සම්බන්ධ ප්‍රශ්නයක් පමණයි. ඇයයි මමයි අතර වෘත්තීය ජීවිතයේ කිසිම ගැටලුවක් නැහැ. සහෝදරියො හැටියට නෙවෙයි, මම අම්ම වෙලා ඇයට දුවගෙ චරිතය දුන්නත් මම නම් රඟපානවා.

මෙ අවුලෙන් පස්සේ ඔබ සහ ඇය අනන්තවත් මුහුණට මුහුණ ක්ෂේත්‍රය තුළදී මුණගැහිලා ඇති?

ඔව්.

ඒ වගේ වෙලාවල්වලදී ඔබ මොකද කරන්නේ?

මොනවා කරන්නද. අපිට කතා කරන්න දේවල් නැහැනෙ. උසාවියේදී තමයි කතා කර ගන්නේ. කොහොමත් මම ප්‍රසිද්ධියේ බැන අඬගහගන්න කෙනෙක් නෙවෙයි. ඒක නිසානේ මම නඩුවක් පැවරුවේ.

ඔබේ රසික රසිකාවන් මේ ගැන කියන්නේ මොනවාද?

ඒ අය සතුටු වෙනවා වෙන අනවශ්‍ය ක්‍රියා මාර්ගවලට නොගොසින් නීතිය පැත්තෙන් දේවල් කරනවට. මගේ ජය ඔවුන් බලාපොරොත්තු වෙනවා ඇති.
 
Related Posts with Thumbnails