Ads 468x60px

.

කොස්‌ලන්දේ, හල්දුම්මුල්ලේ, මීරියබැද්දේ නැතිවූ ගණනට සංගණනයක්‌ (සුවිශේෂී වීඩියෝ)


කොස්‌ලන්ද, හල්දුම්මුල්ල, මීරියබැද්ද වතුයායේ බිහිසුණු නායයැමෙන් මියගිය සහ අතුරුදන් වූ පුද්ගලයන් සංඛ්‍යාව කොතෙක්‌ දැයි සෙවීම සඳහා සංගණනයක්‌ ආරම්භ කර තිබෙනවා.

පස්‌ කඳුවලට යටවී මියගොස්‌ සිටින පුද්ගලයන්ගේ සිරුරු සෙවීම සඳහා යුද හමුදාව ගුවන් හමුදාව සහ පොලිසිය දැවැන්ත මෙහෙයුමක්‌ ඊයේ පෙරවරුවේ සිට ක්‍රියාත්මක කළද දහවල් වනතුරුත් කිසිදු සිරුරක්‌

සොයා ගැනීමට නොහැකි විය.

පොලිසිය පවසන්නේ පෙරේදා (29 දා) දිනයේදී සොයාගත් මළ සිරුර අට කොස්‌ලන්ද රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති බවයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්‍ෂණ පවත්වන ජ්‍යෙෂ්ඨ පොලිස්‌ නිලධාරියෙක්‌ කියා සිටියේ නායයැම සිදුවන අවස්‌ථාව වනවිට වතු නිවාසවල පදිංචි පුද්ගලයන් බොහෝ දෙනකු සිය දෛනික රාජකාරි කටයුතු සඳහා පිටත්ව ගොස්‌ සිටි බවයි.

එහෙයින් මෙම අනතුරින් මියගිය පුද්ගලයන්ගේ සංඛ්‍යාව දැනට සැකකරන මරණ සංඛ්‍යාව (192) ට වඩා අඩුවිය හැකි බවද එම නිලධාරියා කියා සිටියේය.

මෙම මහා ව්‍යසනයෙන් පසු ප්‍රදේශයේ පදිංචිකරුවන් විසිරී ගොස්‌ විවිධ ස්‌ථානවල රැඳී සිටින නිසා ඊයේ දහවල් වනතුරුත් අතුරුදන්ව සිටින පුද්ගලයන් සංඛ්‍යාව නිවැරැදිව හඳුනා ගැනීමට නොහැකි වූ බව පොලිස්‌ ආරංචි මාර්ග පැවසීය.

විපතට පත්වූවන් 869 දෙනෙක්‌ පුනාගල සහ කොස්‌ලන්ද මහා විද්‍යාලවල රඳවා සිටින අතර ඔවුන්ට අවශ්‍ය ආහාර පාන සියල්ල සපයා දීමේ කටයුතු ප්‍රාදේශීය ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරෙනු ඇත.

යුද හමුදාව සහ ගුවන් හමුදා නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් විශේෂ කණ්‌ඩායම් කීපයක්‌ අතුරුදන් වූ පුද්ගලයන් සොයා පස්‌ කඳු ඉවත් කිරීමේ කටයුතු ඊයේ ක්‍රියාත්මක කෙරිණි.

බැකෝ යන්ත්‍ර යොදාගෙන පස්‌ කඳු ඉවත් කිරීමේ කටයුතු ඉතාම පරීක්‍ෂාකාරී අන්දමින් ක්‍රියාත්මක කළයුතු බව යුද හමුදා නිලධාරීන් කියා සිටියහ.

නාය යැමෙන් පහළට ගලා ආ පස්‌ කඳු ඉවත් කරද්දී ඉහළ කොටසේ රැඳී ඇති ගල් සහ පස්‌ තට්‌ටු නැවතත් පහළට ඇදී ඒමෙන් තවත් විනාශයක්‌ සිදුවීමට ඉඩ ඇති නිසා ඉතාම පරීක්‍ෂාකාරී අන්දමින් පස්‌ තට්‌ටු ඉවත් කළ යුතු බව යුද හමුදාව පවසයි.

නාය යැමට ලක්‌වූ කන්ද මතින් විශාල ජල පහරක්‌ පහළට ගලා එන අතර මෙම කන්ද තවදුරටත් නාය යැමේ තර්ජනය ඉවත් වී නොමැති බවද පොලිසිය පවසයි.

කොස්‌ලන්ද හල්දුම්මුල්ල මීරියබැද්ද වතුයායේ සිදුවූ විනාශය පිළිබඳව සොයා බැලීම සඳහා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඊයේ පෙරවරුවේ එම ප්‍රදේශයේ සංචාරයක නිරත වූහ. මහින්ද රාජපක්‍ෂ මහතා හෙළිකොප්ටරයේ නැගී නාය යැම සිදුවී ඇති ප්‍රදේශයට ගුවනින් ගොස්‌ නිරීක්‍ෂණය කළේය.

පසුව ඒ මහතා අවතැන් වූ පිරිස නවාතැන් ගෙන සිටින පූනාගල සහ කොස්‌ලන්ද පාසල් වෙත ගොස්‌ ඔවුන් සමග කතා කරමින් ඔවුන්ට අවශ්‍ය පහසුකම් සලසා දීමට කටයුතු කළහ.

මහින්ද රාජපක්‍ෂ මහතා සිය නිරීක්‍ෂණ චාරිකාව අවසන් කර පිටව යැමෙන් පසු හල්දුම්මුල්ල ප්‍රදේශයට පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතා නායයැම සිදුවී ඇති ස්‌ථානය වෙත මඩේ එරෙමින් ගමන් කර සිදුවූ විපත පරීක්‍ෂා කළේය.

මෙම නාය යැමට හසු වීමෙන් මීරියබැද්ද ප්‍රදේශයේ වතු නිවාස 63 ක්‌ මුළුමනින්ම විනාශ විය. ඊට අමතරව කෝවිලක්‌, රජයේ නිල නිවාස 3 ක්‌, ප්‍රජා ශාලාවක්‌, කිරි එකතු කරන මධ්‍යස්‌ථාන 3 ක්‌, වෙළෙඳසල් 2 ක්‌ මුළුමනින්ම විනාශ වී තිබිණි.

ඊයේ පෙරවරුව වන විට කොස්‌ලන්ද ප්‍රදේශයේ කාලගුණ තත්ත්වය යහපත් අතට හැරී තිබිණ. මේ හේතුව නිසා පස්‌ කඳුවලට යට වූ සිරුරු සෙවීම තරමක්‌ පහසු වී තිබූ බව ආරක්‍ෂක අංශ සාමාජිකයන් කියා සිටියහ.

ප්‍රදේශයේ ඇතිවී තිබෙන තත්ත්වය සොයා බැලීම සඳහා නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශ ලේකම් මහින්ද බාලසූරිය සහ පොලිස්‌පති එන්. කේ. ඉලංගකෝන් මහත්වරුන්ද කොස්‌ලන්ද ප්‍රදේශය වෙත ඊයේ ගොස්‌ සිටියහ.


උඩින් බිමින් සොයති

කොස්‌ලන්ද, හල්දුම්මුල්ල, මීරියබැද්ද වතු නිවාස ගම්මානයේ අතුරුදන් වූවන් සොයා සිදුකරන මෙහෙයුම්වලට සහායක්‌ වශයෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ බෙල් 212 වර්ගයේ ගුවන් යානයක්‌ ඊයේ (30 වැනිදා) සිට යොදවා ඇත. 

ආපදා කළමනාකරණ මධ්‍යස්‌ථානය කළ ඉල්ලීමකට අනුව මෙම පියවර ගෙන තිබේ. ඒ අනුව බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානයක්‌ අතුරුදන් වූවන් සොයා සිදුකරන මෙහෙයුම් අවසන් වන තුරු ක්‍රියාත්මක වන බව ගුවන් හමුදාව පවසයි.

මීට අමතරව ඕනෑම හදිසි අවශ්‍යතාවකට යොදා ගැනීම සඳහා තවත් එම්අයි 17 හා බෙල් 212 යන හෙලිකොප්ටර් යානා දෙකක්‌ රත්මලාන හා දියතලාව ගුවන් හමුදා කඳවුරු පරිශ්‍රය තුළ රඳවා තිබේ.

අතුරුදන්වූවන් සොයා සිදුකරන මෙහෙයුම් වෙනුවෙන් ගුවන් හමුදාව නිලධාරීන් සිව් දෙනෙකු ඇතුළු සෙබළුන් එකසිය හයක්‌ යොදවා ඇතැයි ද ගුවන් හමුදාව වැඩිදුරටත් පවසයි.


තව දිස්‌ත්‍රික්‌ 6ක නාය යැමේ අනතුරු

පවතින වැසි සහිත අයහපත් කාලගුණ තත්ත්වයත් සමග දිවයිනේ දිස්‌ත්‍රික්‌ක හයක නාය යැමේ අනතුරු පවතින බව ජාතික ගොඩනැඟිලි හා පර්යේෂණ සංවිධානයේ නාය යැම් අධ්‍යක්‍ෂ හා සේවා අංශ ප්‍රධානී ආර්. එම්. එස්‌. බණ්‌ඩාර මහතා ඊයේ (30 වැනිදා) සඳහන් කළේය.

බදුල්ල, මහනුවර, නුවරඑළිය, රත්නපුරය, මාතලේ සහ කළුතර යන දිස්‌ත්‍රික්‌ක ඒවා වේ. පස්‌ කඳු කඩා වැටීම්, ඉවුරු කඩා වැටීම් සහ ගල් පෙරළීම් එම දිස්‌ත්‍රික්‌ක තුළ කඳු සහ කඳු බෑවුම් සහිත ප්‍රදේශවල සිදුවිය හැකි බවට අනතුරු අඟවන හෙතෙම එම දිස්‌ත්‍රික්‌කවල ජනතාවගෙන් ඒ පිළිබඳව දැඩි අවධානය යොමු කරන ලෙසද ඉල්ලීමක්‌ කළේය.

මේ අතර නුවරඑළිය දිස්‌ත්‍රික්‌කයේ නාය යැමේ අවදානමක්‌ ඇති ස්‌ථාන කිහිපයක පවුල් එකසිය හැත්තෑ අටක්‌ (178) ක ජනතාව ආරක්‍ෂිත ස්‌ථාන වෙත යොමුකළ බව එම දිස්‌ත්‍රික්‌ ලේකම් ඩී. පී. යූ. කුමාරසිරි මහතා සඳහන් කළේය.

වැවන්ඩන්, ලීඩස්‌ඩීන් වත්ත, ලිපකැලේ ප්‍රදේශවල පවුල් එසේ ආරක්‍ෂිත ස්‌ථාන වෙත යොමුකළ බව පැවසූ හෙතෙම නිලධාරීන්ගේ උපදෙස්‌ නොතකා යුනික්‌නුවර පවුල් පනස්‌ අටක්‌ (58) බලහත්කාරයෙන් තවදුරටත් රැඳී සිටින බවද සඳහන් කළේය.

ඔවුන් පිළිබඳව පොලිසිය දැනුවත් කළ බවත් ඔවුන්ගේ ආරක්‍ෂාව පිළිබඳව නිලධාරීන්ට වගකීමක්‌ ගත නොහැකි බවත් නුවරඑළිය දිස්‌ත්‍රික්‌ ලේකම් ඩී. පී. යූ. කුමාරසිරි මහතා කියා සිටියේය.

නාය යැමට ලක්‌වූ හල්දුම්මුල්ල, කොස්‌ලන්ද ප්‍රදේශයට ආසන්න ප්‍රදේශවලද නාය යැමේ අනතුරු ඇති බවත් බදුල්ල දිස්‌ත්‍රික්‌කයේ තවත් ප්‍රදේශ කිහිපයක්‌ නාය යැමේ අනතුරු සහිත බවත් ආර්. එම්. එස්‌. බණ්‌ඩාර මහතා කියා සිටියේය.

මාතලේ සහ මහනුවර දිස්‌ත්‍රික්‌කවල ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාස 25 ක නාය යැම් අවදානම පවතින බව ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය අනතුරු අඟවා ඇත.

මාතලේ දිස්‌ත්‍රික්‌කයේ රත්තොට, අඹන්ගඟ කෝරළය, උකුවෙල, මාතලේ සහ යටවත්ත ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයත් මහනුවර දිස්‌ත්‍රික්‌කයේ ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාස 20 කුත් අනතුරු සහිත බව එම සංවිධානය පවසයි.

කළුතර දිස්‌ත්‍රික්‌කයේ බුලත්සිංහල, මතුගම, වලල්ලාවිට, අගලවත්ත, හොරණ ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාස තුළ නාය යැමේ අනතුරු පවතින බව ජාතික ගොඩනැඟිලි හා පර්යේෂණ අංශය කළුතර දිස්‌ත්‍රික්‌ ලේකම්වරයාට හා ප්‍රාදේශීය ලේකම්වරුන්ට දන්වා යවා තිබේ.

මේ අතර ගාල්ල ඉමදුව කනංක ප්‍රදේශය නාය යැමේ අනතුරක්‌ පවතින බැවින් ප්‍රදේශයේ පාසල්වලින් සිසුන් ඉවත් කිරීමට ඊයේ (30 දා) බලධාරීන් කටයුතු කර තිබුණි.

මාතර, දෙවිනුවර ප්‍රදේශයේ සුනාමි නිවාස සංකීර්ණය නාය යැමේ අවදානමක්‌ මතුව තිබූ අතර ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානයේ නිලධාරීන් ඒ පිළිබඳව පරීක්‍ෂණ අරඹා තිබිණි.

නාය යැම් සඳහා අධික වර්ෂාපතන ආරම්භක සාධකය වුවත් මිනිස්‌ ක්‍රියාකාරකම් ඒ සඳහා බොහෝ බලපා ඇතැයිද ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානයේ ආර්. එම්. එස්‌. බණ්‌ඩාර මහතා කියා සිටි අතර නාය යැම්වලට නතුවූ ප්‍රදේශ වෙත නිලධාරීන් ගොස්‌ පරීක්‍ෂණ අරඹා ඇති බවත් හෙතෙම කියා සිටියේය.

වලපනේ, රාගල, දියනිල්ල, සෙල්ලනෝට්‌ වතු ආශ්‍රිත ප්‍රදේශවල නාය යැමේ අනතුරු පවතින බැවින් එම ප්‍රදේශවල පදිංචි පවුල් ආරක්‍ෂිත ස්‌ථාන වෙත යොමු කිරීමට බලධාරීන් ක්‍රියාකළ බව වලපනේ ප්‍රාදේශීය ලේකම් අයි. කේ. පී. මුතුබණ්‌ඩා මහතා කියා සිටියේය.

ඒ අනුව දියනිල්ල ප්‍රදේශයේ පවුල් 33 ක පුද්ගලයන් එකසිය විසිපස්‌ දෙනකු සෙල්ලෙනෝට්‌ වතුයායේ පවුල් දහයක පුද්ගලයන් හතළිස්‌ පස්‌ දෙනෙකුද ඉවත් කළ බව හෙතෙම පැවසීය.


ජීවත් වෙන්න පුළුවන් තැනක්‌ අපට දෙන්න

- දිවි බේරාගත් ක්‍රිෂ්ණසාමි 

පස්‌ කඳු කඩා වැටෙන්නේ නැති තැන්වල ගෙයක්‌ දොරක්‌ හදාගෙන ජීවත් වෙන්න පුළුවන් තැනක්‌ අපිට ලබාදෙන්න. එහෙම තැන්වල ගෙවල් නැති නිසානේ අපිට මෙහෙම වුණේ. මෙහෙම දෙයක්‌ වෙයි කියලා අපිට කවුරුවත් කීවේ නෑ. 

එහෙම කිව්වා නම් මරණය පෙනී පෙනී මේ තැන්වල ජීවත් වෙනවාද? යෑයි හල්දුම්මුල්ල මීරියබැද්ද ගමේ පෙරේදා (29 දා) නාය යැමේන් දිවි ගලවාගත් එම්. ක්‍රිෂ්ණසාමි (අවු. 63) මහතා ඊයේ (30 දා) කියා සිටියේය.

හල්දුම්මුල්ල මීරියබැද්ද ප්‍රදේශයේ සිදු වූ නාය යැමේ විපතින් ක්‍රිෂ්ණසාමි මහතාගේ මව, පියා, නැඟණිය හා ඇගේ දරුවන් දෙදෙනා මියගොස්‌ ඇති අතර මස්‌සිනා පමණක්‌ දිවි ගලවාගෙන ඇත.

තමන්ට අත්විඳින්නට වූ විපත පිළිබඳව තවදුරටත් අදහස්‌ දැක්‌වූ ඒ මහතා මෙසේද කියා සිටියේය.

බලධාරීන් අපිට පදිංචිව සිටි ස්‌ථානවලින් ඉවත්වෙන්න කියා හෝ වෙනත් ස්‌ථානවල පදිංචි වීමට අවස්‌ථාව ලබාදුන් බවට මේ විපතින් පස්‌සේ අදහස්‌ ප්‍රකාශ කරලා තියෙනවා. ඒත් ඒ වගේ දෙයක්‌ අපිට නම් කියලා නෑ. එහෙම දැනගත්තා නම් මරණය පෙනී පෙනී මෙහෙට වෙලා ඉන්නවාද?

මේ පිළිබඳව මීරියබැද්ද වතු ක්‍ෂේත්‍ර නිලධාරියකු වන සුරේෂ් කුමාර මහතාගෙන් කළ විමසුමකදී ඔහු මෙසේ කියා සිටියේය.

මේ නාය යැමට ගොදුරු වූ ලැයිම් කාමරවල පවුල් 63 ක්‌ ස්‌ථිරව පදිංචි සිටියා. ඒ පවුල්වල දරුවන් ඇතුළුව 250-300 ක්‌ පමණ ජිවත් වූ බවට කිව හැකියි. මෙම ස්‌ථානවල නාය යැමේ අවදානම් ඇති බවට මීට පෙර අනතුරු අඟවා තිබුණා. වෙනත් ස්‌ථාන ඔවුන්ගේ පදිංචිය සඳහා ලබා දී තිබුණා. ඒත් ඒ අය එසේ ලබාදුන් ස්‌ථානවලට ගියේ නෑ. එහෙම ගියා නම් අද මේ වගේ විපතක්‌ වෙන්නේ නෑ.

නාය යැමේ සිද්ධිය සියෑසින් දුටු සුබ්‍රමනියම් යෝගරාඡ් (අවු. 42) මහතා මම කිරි ටික දොවලා අරගෙන මීරියබැද්දට ආවේ 7.45 ට විතර. කිරි ලොරියේ ඩ්‍රැයිවර් මල්ලියි මමයි කතා කර කර ඉන්න කොට රතිඤ්
දහදාහක්‌ එකට පුපුරණවා වගේ ශබ්දයක්‌ එක්‌ක දුඹුරු පාටට කන්ද කඩා හැළෙන්න වුණා. ඒ එක්‌කම අපි දුවන්න ගත්තා.

එහෙම දුවන ගමන් ආපහු හැරිලා බලන කොට එක ගෙයක්‌වත් පේන්න තිබුණේ නැහැ. අඩි පනහක විතර පස්‌ කන්දක්‌ තමයි අන්තිමට ඉතිරි වුණේ. මම ජීවිතය බේරා ගත්තේ අනූනවයෙන්.

 
Related Posts with Thumbnails