Ads 468x60px

.

ගොඩක් අය හිතන් ඉන්නේ මම හොඳට මල් ගහලා, අරක්කු බීලා වේදිකාවට නඟිනවා කියලයි


ජින්ජර් කියන්නේ ඇත්තටම කවුද?
මම හරියට යූ (U)  අකුරක් වගේ. මොකද මට ඕන වෙලාවට U turn  එකක් ගන්න පුළුවන්. පොලිසියෙන් අල්ලන්න කෙනෙක් නැහැ. මං හිතන්නේ මාව කෙළින් දකින්න කැමැති මනුස්සයා දන්නවා මං කවුද කියලා. මම කෙළින් කතා කරනවා. මගේ කටේ එකයි, හිතේ එකයි නෑ.


කවුරුත් නම් මට අනේ එයා හරි අහිංසකයි කියන්නේ නෑ. ඇත්තටම ගොඩක් අය මං ගැන හිතන් ඉන්නේ ඒ ඒ අයට ඕන විදියටනේ. ඒ නිසා මම කැමැති නෑ මම කවුද කියලා කියන්න. කවුරුත් එහෙම කිව්වට මාව
විශ්වාස කරන්නෙත් නෑ. මොකද මේ සිරි ලංකාවනේ.

ඇත්තද ජින්ජර් වේදිකාවට නඟින්නේ ගංජා බීලා, අරක්කු බීලා කියන්නේ?
ගොඩක් අය හිතන් ඉන්නේ ඇත්තටම මම හොඳට මල් ගහලා, අරක්කු බීලා වේදිකාවට නඟිනවා කියලයි. අවුරුදු 13ක 14ක ඉඳන් මම මේ ක්‍ෂේත්‍රයේ ඉන්නවානේ. මිනිස්සු මං ගැන හිතන විදිය මම හොඳට දන්නවා. මල් ගහලා බීලා ඉන්න අයට මාව හරි හොඳයි. 


ඒ අය මගෙන් අහනවා අක්කත් බීලානේ ඉන්නෙ කියලා. මම ගහලා ඇති මලකුත් නෑ. මම බීලත් නෑ. ඒත් ඉතින් මම කියනවා ඔව් මල්ලි කියලා. හැබැයි ඔය ප්‍රබුද්ධ කියලා කියන අයට නම් මාව දිරවන්නෙම නැහැ.

බීලාත් නැතිව සින්දු කියනවා නම් ඇයි එවැනි ප්‍රතිරූපයක් හැදුණේ?
වෙනස් දෙයක් කරනවා කියන්නේ මේ රටේ කානුවක් අස්සට ඔළුව ඔබාගන්නවා වගේ වැඩක්. එකින් වෙනස්කම් කරන්න ගිය බෙහෝ දෙනා ප්‍රතික්‍ෂේප වෙනවා. පස්සේ තමයි මිනිස්සු තේරුම් ගන්නේ මෙයා වැරිදි නෑ මෙයා කළේ මේකයි කියලා. නමුත් එතකොට අපි මැරිලා. මැරුණාට පස්සේ ඒ අයව උත්තරීතර චරිතයක් කරලා වැඩක් නෑ.


ප්‍රසංග වේදිකාවට ඩෙක්ෂූස් කලාව ගෙනාවෙත් මම. ප්‍රසංග වේදිකාවේ තිබුණු සාම්ප්‍රදායික අයිස් තට්ටුව මම කැඩුවා. ඉතින් මට වුණා ඔළුව කානුවක ඔබාගෙන ඒකෙන්ම කිමිදිලා උඩට එන්න. අයිස් කඩන්න ගියාම ඔහොම වෙනවා.

ජින්ජර්ට පුළුවන් වේග රිද්ම ගීත ගයන්න විතරද? ශාස්ත්‍රීය ගීත ගයන්න බැරිද?
මම ආවේ ප්‍රසංග වේදිකාව හරහා. ප්‍රසංග වේදිකාව කියන්නේ මිනිස්සු පැය ගාණක් හිටගෙන රසවිඳින තැනක්. ගොඩක් අය ඒක හිතන්නේ නෑ. පොල් ගස් වගේ හිටගෙන සින්දු කියන මිනිස්සු ආවම වලි යන්නේ ඒකයි. මිනිසුන්ට එපා වෙනවා. ප්‍රසංග වේදිකාව උඩ ඉන්න අපි බලන් ඉන්න මිනිසුන්ට විඳින්න දෙයක් බලන් ඉන්න දෙයක් දෙන්න ඕනා. 


මම ඕක කරන්න ගියාම ප්‍රබුද්ධ අයට මාව දිරෙව්වේ නෑ. ඇත්ත මම ඉගෙන ගත්තේ වේගරිද්ම ගයන්න. මට උච්ච ස්වරයෙන් සින්දු කියන්න බැරිකම නෙවෙයි. මම කලිසම් Blouse  එකයි ගෙදර දාලා සාරියක් ඇඳන් ආවොත් කවුද මාව පිළිගන්න කැමැති.

ප්‍රබුද්ධයෝ යන්නේ Indoor වලට. එතැන ඉන්න අය පස්සට සැප දීලා ඉඳගෙන ඉන්නේ. ප්‍රසංග වේදිකාවට එන්නේ දුප්පත් මිනිස්සු. ඒ මිනිස්සු ප්‍රසංග වේදිකාවට එන්නේ තමන්ගේ ඔළුවේ බර නිදහස් කරගන්න. ඒකට අපි දෙන්නේ පොඩි මෂා එකක්. මම තරම් ගැරහුම් විවේචන ලක්වුණු ගායිකාවක් තවත් නැහැ.

කොණ්ඩේ, අඳින පලඳින විදිය මොකක්ද මේකෙන් බලාපොරොත්තු වෙන්නේ?
මගේ කොණ්ඩ විලාසිතාව අද වෙද්දි ලංකාවේ කොල්ලේ කී දෙනෙක් අනුකරණය කරනවද? මාව ගොඩක් අනුකරණය කරන්නේ කොල්ලෝ. කෙල්ලෝ නෙවෙයි. මගේ අඳින විදියත් එහෙමයි. මම ප්‍රසංග වේදිකාවේ දඟලන චරිතයක්. අනික මේ රට උෂ්ණාධික රටක්. 


එතකොට මම අඳින්න ඕනා ඒ සේරටම ගැළපෙන මටත් පහසු විදියට. මාත් මුලින් මේකට ආපුම කාලේ දිලිසෙන ඇඳුම් වියදම් කරගෙන ඇන්දා. එහෙම වුණාම මගේ සුදු හම එයාලට හොඳට පේන්න ගත්තා. 

ඒක එයාලට හරි ගියේ නැහැ. දැන් මම අඳින විදියට මගෙයි එයාලගෙයි අතර පරතරයක් නැහැ. සමහර වෙලාවට මම අඳින ඇඳුමම පහළ ඉඳන් මගේ ගීත අහන නංගිලාත් ඇඳන් ඉන්නවා. ඒකට මම හරිම කැමැතියි. මම බොරුවට මම Artist කෙනෙක් කියලා මවාගෙන නැහැ.

අපහාස, උපහාස, විවේචන දරාගන්න පුළුවන්ද?
මම මේකට ආපු කාලෙම මට දෙන්න පුළුවන් පට්ටම් සේරම මට දුන්නා. හෙලුව පෙන්නගෙන සින්දු කියන එකී කිව්වා. දන්න සරිගමක් නෑ කිව්වා. බඩ පෙන්නගෙන සින්දු කියනවා කිව්වා. එච්චරයි කියන්න තිබුණේ එයාලට. ඒ ටික දහ විදියකට කිව්වා.

සංගීතය ගැන හැදෑරීමක් කරලම නැද්ද?
බොරු කියන්න ඕන නැහැනේ. මගේ ඇඟේ සංගීතය කියලා දෙයක් තියෙනවා කියලවත් මම දැනන් හිටියේ නැහැ. මට ආරාධනාවක් කළා බටහිර සංගීත ක්‍ෂේත්‍රයේ Number one කෙනෙක්ගෙන් සින්දු කියන්න කියලා. මම කිව්වා මම දන්නෑ මට පුළුවන්ද කියලා සින්දු කියන්න. 


මම Try කළාම එයා කිව්වා මට Sing  කරන්න පුළුවන් කියලා. එයාලා දැක්කේ ගීත ගායනයට වඩා මගේ ඉදිරිපත් කිරීම. බටහිර ගීත තමයි මම මුලින් ගැයුවේ. සොහාන්ගේ කණ්ඩායමේ මම අවුරුද්දක් හිටියා. ඊට පසුව ජිප්සීස් එකේ සුනිල් අයියා කතා කළා. 

එතකොට මම සිංහල සින්දු කියලා නැහැ. ඊට පස්සේ තමයි මම සිංහල වේග රිද්ම ගැයුවේ. ඒ කලාව මම ඉගෙන ගත්තේ ඔහුගෙන්. ඔහු තමයි මගේ ගුරා. මට හොඳ ගුරෙක් හම්බවුණා.

මොකක්ද අර හැමදාම වේදිකාව මත ඉඳලා පහළ ඉන්න කොල්ලෝ ටිකට විසිකරන බෝලේ? කොල්ලෝ මරා ගන්නවා නේද ඒක අහුලගන්න?
ඒක කරන්නේ මම අපේ රටේ රණවිරුවෝ වෙනුවෙන්. මගේ අතින්මයි ඒක මම හදන්නේ. ඒක "සාම බෝලෙ" රණවිරුවෝ ගැන මම ගීත ගයලා නෑ. ඒත් මම ප්‍රසංගයට නැඟලා ඔවුන්ව සිහිපත් කරලා ඔය බෝල හයක් සෙනඟ අතරට විසිකරනවා. 


ඔය බෝලයක් හදන්න කොයි තරම් අමාරුද. හමුදාවේ ඉන්න හැමෝම මට ඒ නිසා ආදරෙයි. නමුත් ඒක වැඩිය කවුරුත් ඉලිප්පුවේ නැහැ. මොකද අපි ඉතින් අසංවරයිනේ.

"ජින්ජර්" ගේ ඇත්තම නම මොකක්ද?
ජූඩිත්. ස්ටේජ් එකට එද්දි මට ජූඩිත් කියනවාට වඩා වෙනස් නමක් ඕන වුණා. නම් හැට හුටහමාරක් හිතුවා. අන්තිමට මේක තමා නැඟලා ගියේ. මම ඇවිත් බර්ගර් ජාතික මනුස්සයෙක්නේ. ජූඩිත් කියනවා වඩා "ජින්ජර්" කියන එක හැමෝටම සමීපයි.
 
Related Posts with Thumbnails