Ads 468x60px

.

මාලක කේස් දාගෙන තියෙන්නේ සුද්දාගේ පෙම්වතියට ලිංගික අතවර කරන්නට ගිහින්ලු.


මහජන සම්බන්ධතා ඇමැති ආචාර්ය මර්වින් සිල්වා මහතාගේ පුත් මාලක සිල්වා බම්බලපිටිය රාත්‍රී සමාජ ශාලාවකදී ස්‌කොට්‌ලන්ත ජාතික ඡේම්ස්‌ ප්‍රැන්සිස්‌ ගේ පෙම්වතිය වූ බෙලින්ඩා මැකැන්සි හට ලිංගික අතවර කරන්නට යැම හේතුවෙන් ඔවුන් අතර ගැටුමක්‌ ඇති වූ බව
විදේශ යුවළ වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අවේන්ද්‍ර රොද්‍රිගු මහතා ඊයේ (11 දා) කොළඹ ප්‍රධාන මහෙස්‌ත්‍රාත් අධිකරණය හමුවේ කියා සිටියේය.

කොළඹ අතිරේක මහෙස්‌ත්‍රාත් ඒ. එච්. සහබ්දීන් මහතා හමුවේ සිද්ධියට අදාළ පැමිණිල්ල කැඳවනු ලැබූ අවස්‌ථාවේදී එසේ කියාසිටි රොද්‍රිගු මහතා මීට පෙර තංගල්ලේදී බ්‍රිතාන්‍ය ජාතිකයකු ඝාතනයට ලක්‌ වී ඔහුගේ පෙම්වතිය දූෂණයට ලක්‌වීමේ පුවතින් ඔවුන් දැඩි ලෙස කම්පනයට පත්වී ඇති බවත් දේශපාලනමය හෝ වෙනයම් කරුණක්‌ හේතුවෙන් පැමිණිලිකාර තමන්ට බලපෑම් එල්ලවේ යෑයි ඔවුන් බියට පත්වී සිටින බවත් පැවැසුවේය.

පැමිණිල්ල ඊයේ (11 දා) කැඳවනු ලැබුයේ සැකකාර මාලක සිල්වා සම්බන්ධයෙන් අධිකරණ වෛද්‍ය වාර්තාව කැඳවීමටයි. වෛද්‍ය වාර්තාවට අනුව මාලක සිල්වාට බරපතළ තුවාල සිදුව ඇති බවට හෙළිවිය.

කොළඹ අපරාධ කොට්‌ඨාසයේ සහකාර පොලිස්‌ අධිකාරී චන්ද්‍රතිලක මහතා කරුණු දක්‌වමින් මෙම සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් කීප දෙනකු අත්අඩංගුවට ගැනීමට ඇති බවත් පවත්වන විමර්ශන තවදුරටත් සිදුකරන බවත් කියා සිටියේය.

සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය මහතා කරුණු දක්‌වමින්, සිද්ධිය වන විට සිය සේවාදායක මාලක සිල්වා සැකකරු එතැන සිටි බවට පිළිගන්නා බවත් ඒ සඳහා දිවුරුම් ප්‍රකාශයක්‌ ලබාදෙන බවත් කියා සිටියේය.

ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය මහතා(- අපි පිළිගන්නවා එතැන සිටි බවට. ඒ නිසා හඳුනා ගැනීමට පෙරට්‌ටු තියන්න ඕනේ නෑ. පොලිසිය උසාවියට දාලා තියෙන වාර්තාව අනුව මෙම චෝදනා ඇප දිය හැකි, සමථ මණ්‌ඩලයට යා යුතු පැමිණිල්ලක්‌.

ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහ මහතා(- මෙහි පළමු පැමිණිලිකරු අපියි. මාලක සිල්වාටයි සුද්දා ගැහැව්වේ. ඔහුට සැත්කම් දෙකක්‌ කරලා තියෙනවා. ඇපමත මුදාහැරීමට ඔහු උසාවිය මගහරින කෙනෙක්‌ නොවේ. තාත්තා ඇමැති කෙනෙක්‌. වින්දිතයා චූදිතයා වෙලා. චූදිතයා වින්දිතයා වෙලා. පොලිසිය සුද්දාව හොයාගෙන ගිහින් කටඋත්තර අරන් පැමිණිල්ල හැදුවේ. සුද්දා අපිට ගැහැව්වාට දාපු පැමිණිල්ලට පොලිසිය පියවර අරන් නෑ.

විදේශීය යුවළ වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අවේන්ද්‍ර රොද්‍රිගු මහතා(- මේ ගැටුම ඇති වුණේ සැකකාර මාලක සිල්වා විදේශීය කාන්තාවට ලිංගික අතවර කරන්න ගිය නිසයි. ඔවුන් මේ රටට ආවේ සංචාරය කරන්න. මීට ඉස්‌සර සංචාරයට ආපු බ්‍රිතාන්‍ය ජාතිකයකු ඝාතනය වෙලා ඔහුගේ පෙම්වතිය දූෂණයට ලක්‌වීම ගැන ඔවුන් දැනගෙන බයට පත්වෙලා. මේ රටේ නීතිය ගැන ඔවුන් දන්නේ නෑ. දේශපාලන බලපෑම් ඔවුන්ට එල්ල වෙයි කියා කම්පනයට පත්වෙලා ඉන්නේ. මේ පැමිණිල්ලේදී නිසි ක්‍රියා මාර්ග නොගතහොත් එය රටට අපකීර්තියක්‌ වෙනවා.

සහකාර පොලිස්‌ අධිකාරී චන්ද්‍රතිලක මහතා(- අධිකරණයට යොමු කළ මුල් බී වාර්තාවේ සඳහන් පරිදි සැකකරුට එල්ල වී ඇති ලිංගික අතවර කිරීමට තැත් කිරීමේ චෝදනා සමථ විය හැකි චෝදනා නොවෙයි. ඒ සඳහා අධිකරණ ක්‍රියාමාර්ග ගත යුතුයි. ඉදිරි දිනයේදී සියලු සාක්‌කි සමග වීඩියෝ කැමරා දර්ශනද ඉදිරිපත් කිරීමට පියවර ගන්නවා.

මුල් පැමිණිලිකාර රොමේල් කුලතුංග මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අසේල රැකව මහතා- මාලක සිල්වාට මෙම විදේශීය පුද්ගලයා කළ පහරදීම ගැන මුලින්ම පැමිණිලි කළේ අපියි. ඒ පැමිණිල්ලට අනුව මුලින්ම සුද්දාවයි අල්ලලා උසාවි දාන්න ඕනේ. පොලිසිය පැමිණිලිකරුව අල්ලලා උසාවි දාලා රිමාන්ඩ් කරලා තියෙනවා. අපේ පැමිණිල්ලට අනුව සුද්දාවත් උසාවියට ඉදිරිපත් කරන්න.

අතිරේක මහෙස්‌ත්‍රාත් ඒ. එච්. සහබ්දීන් මහතා(- අද පැමිණිල්ල කැඳෙව්වේ අධිකරණ වෛද්‍ය වාර්තා ගොනු කිරීමටයි. සියලු පාර්ශ්ව වෙතින් ඉදිරිපත් වූ සැළකිරීම් සම්බන්ධයෙන් ඉදිරි දිනයේදී සළකා බලනවා. මුල් පැමිණිල්ල පිළිබඳව වාර්තාවක්‌ ගොනු කරන්න.

සැකකරු සිද්ධිය වූ ස්‌ථානයේ සිටි බවට පිළිගැනීම මත ඇප දිය හැක්‌කේ චෝදනා ගොනු කිරීමකදී. මෙහි තවම විමර්ශන සිදුකරන නිසා ඔහු තවම සැකකරුවෙක්‌. චූදිතයෙක්‌ නොවේ.
 
Related Posts with Thumbnails