Ads 468x60px

.

"අසික්‌කිත" වැඩ ගැන හෙළිවුණු "ෂෝක්‌" ආරංචිය


ශ්‍රී ලංකාව වූ කලී දරුවන් වෙළෙඳාම් කරන රටක්‌ මෙන්ම දරුවන්ට වෙළෙඳාම් කරන රටක්‌ද වෙයි. දරු වෙළෙඳාම් මෙහි නීතියෙන් තහනම්ය. එහෙත් දරුවන්ට වෙළෙඳාම් මෙහි නීතියෙන් තහනම් නැත. 

හැබැයි ඊට අදාළ යම් යම් නීතිරීති ද නැත්තේ නොවේ. තිබුණාට මේ රටේ වැඩිහිටියෝ මේ නීති තඹයකට මායිම් නොකරති. කුඩා දරුවන්ට කිසිදු ප්‍රමිතියක්‌ නැති අයිස්‌ පැකට්‌ විකිණීමේ පටන් බාබුල් විකිණීම දක්‌වාවූ දහජරා වෙළෙඳාමක්‌ තවමත් ක්‍රියාත්මකව තිබෙන්නේ ඒ නිසාය.

රජරට පැත්තෙන් පැමිණෙන හොරහරක්‌ ලොරිවල හරකුන් ගෙනයන්නා සේ පාසල් වෑන් රථවල කුඩා ළමුන් අඩුක්‌ කර ගෙන යැම තවමත් සිදුවන්නේ ඒ නිසාය. එහෙත් අද අප අනාවරණය කර ඇති පුවත ඒ

සියල්ලටම වඩා බිහිසුණුය.

පෑලියගොඩ පොලිසිය විසින් පෙරේදා පාසල් දරුවනට බීම පැකට්‌ නිෂ්පාදනය කිරීම සඳහා සුදානම් කළ වසර තුනක්‌ කල් ඉකුත් වූ පළතුරු යුෂ මහා ප්‍රමාණයක්‌ අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

කැලණිය බියගම පාරේ පෙතියාගොඩ එක්‌තරා බහාලු අංගනයක පවත්වාගෙන ගිය මෙම හොර තිප්පල තුළින් අත්අඩංගුවට ගත් මහා පරිමාණ පලතුරු යුෂ බැරල් 2011 ජුලි 15 දා යින් පසු කල් ඉකුත් වන ඒවාය. වැඩිදුර පොලිස්‌ ප්‍රශ්න කිරීම් වලදී හෙළි වී ඇත්තේ මෙම පලතුරු බැරල් අදාළ සැකකරුවන්ට ලබාදී ඇත්තේ මේ රටේ කිරිපිටි අලෙවි කරන ප්‍රධාන ආයතනයකින් බවය. මෙයද "ෂෝක්‌" ආරංචියකි.

සාමාන්‍යයෙන් දරුවන් පාරිභෝගිකයන් වශයෙන් සලකා කටයුතු කරන කිරිපිටි සමාගම් වසර කීපයකට වරක්‌ වත් තම
වෙළෙඳාමේ පවත්නා දූෂිත තත්ත්වයන් කරණකොට ගෙන අපකීර්තිමත් බාල්දියක්‌ පෙරළා ගන්නේය. එක්‌කෝ ඒ කිරිපිටිවල අඩංගුයෑයි හෙළිදරව්වන විෂ රසායනිකයක්‌ නිසාය. 

නැතහොත් කිරිපිටිවල අඩංගුයෑයි කියෑවෙන වෙනත් අපද්‍රව්‍යයක්‌ නිසාය. එවිට මිනිස්‌සු ටික දිනකට කිරිපිටි බීම නතර කරති. තමනුත් නොබී දරුවන්ට කිරිපිටි දීමද නතර කරති. හැබැයි ඒ කිරිපිටි වලින් කවුරුන් හෝ අයිස්‌ක්‍රීම් වැනි දෙයක්‌ නිපදවුව හොත් තමනුත් කා දරුවන්ටත් දී සතුටු වෙති. ඒ මොක වෙතත් ඒ සියල්ලම පිළිබඳ විරෝධය ටික දිනකටය.

ඉන්පසු මිනිසුන් අර කිරිපිටිම සොයා යන්නේ අලුත් සොයා ගැනීමක්‌ පරිද්දෙනි. මේ රටේ මිනිසුන්ට ඕනෑම දෙයක්‌ මතක තිබෙන්නේ ටික කාලයකට පමණය යන්න අර කලකට පෙර මේ රටේ සිටියේ යෑයි කියෑවෙන ප්‍රභාකරන් නම් මහතකු විසින් ප්‍රකාශ කරන ලද්දේ ද ඒ නිසාය.

ඒ කෙසේ වුවත් කිරිපිටි සමාගමකින් වේවා, වෙන මොන මළ ඉලව්වකින් වේවා මේ සිදුකර ඇත්තේ අන්තිම ජඩ වැඩකි. අපරාධයකි. යම් හෙයකින් මේ අපත්‍ය බීම වර්ගය අපගේ පාසල් දරුවන්ට පානය කිරීමට සිදුවූවා නම් සිදුවන්නට තිබුණ හානිය සුළුපටු එකක්‌ නොවේ.

එහෙයින්, මෙම ගුබ්බෑයම වැටලු පෑලියගොඩ පොලිසියට අපගේ ගෞරවයත් ප්‍රශංසාවත් නොමසුරුවම පිරිනැමීමට අප කැමතිය. ඒ සමඟම ප්‍රකාශ කළ යුත්තේ අපගේ දරු පරපුර අරභයා කෙරෙන මෙබඳු "අසික්‌කිත" වැඩ ඇත්තේ මෙපමණක්‌ නොවන බවය. රටේ අහිංසක පාරිභෝගිකයා අරභයා කෙරෙන මෙබඳු "අසික්‌කිත" වැඩ ඇත්තේ මෙපමණක්‌ නොවන බවය.

අනිසි ලෙස නිපදවන, අනිසි ලෙස බෙදාහරින, අනිසි ලෙස අනුභවයට මුදාහැර ඇති මෙබඳු ආහාර වර්ග, පාන වර්ග රාශියක්‌ම වෙළෙඳපොළේ මේ මොහොතේත් නොතිබෙනවා නොවේ. අපිරිසිදු කඩ තුළින් මේ මොහොතේත් නිපදවන කල් ඉකුත් වූ ද්‍රව්‍ය අඩංගු ආහාර වර්ග අපේ අහිංසක මිනිසුන්ගේ කුස්‌ තව දුරටත් නොපුරවනවා නොවේ. 


මේවා බලාගන්නට මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් ඇතුළු බලධාරීන් රාශියක්‌ම රටේ නොසිටිනවාත් නොවේ. ඒත් දැන් මේ රටේ තිබෙන ප්‍රශ්නවල හැටියට මේවාත් ප්‍රශ්න දැයි කියන්නෝත් සිටින බැවින් මෙය ලියා අවසන් කර පෑන දෙකට කඩා දැමීම අපගේ ආසාවය.
 
Related Posts with Thumbnails