Ads 468x60px

.

පසුගිය 28 වැනිදා රෑ 8.30 ට ලොවපුරා විදුලි විසන්ධිය කියන අතුරු කතාව


වැඩි දෙනා සැලකිල්ලට නොගත්තා වූද වැඩි දෙනා කිසිදු සොයා බැලීමක්‌ නැතිව අත්හැර දමනු ලැබුවා වූද අසිරිමත් සිද්ධියක්‌ ඉකුත් 28 වැනිදා ජාත්‍යන්තර මට්‌ටමින් සමරන ලදී. ඒ වූ කලී 28 වැනිදා රාත්‍රියේ 8.30 සිට 9.30 දක්‌වා පැවැත්වුණ පෘථිවි පැය සැමරුමය. 

අර්ත් අවර් හෙවත් පෘථිවි පැය සැමරුම යනු ලෝක පරිසරය සුරැකීම සඳහා ජනතාව තුළ දැනුවත් භාවයක්‌ ඇති කරනු පිණිස පිහිටුවන ලද්දකි. මෙහිදී සාමාන්‍යයෙන් සිදු කෙරෙන්නේ පැයක කාලයක්‌ තුළ විදුලි පහන් නිවා තැබීමය.

මේ අනුව ඉකුත් 28 වැනිදා රාත්‍රියෙහි දියුණු රටවල් සියල්ලෙහිම පාහේ පිහිටි උස ගොඩනැඟිලිවල විදුලි පහන් පැයකට නිවා දමන ලදී. සාමාන්‍ය ගණන් හිලව් වලට අනුව ලෝක ජනතාවගෙන් බිලියන 100 කට වැඩි
පිරිසක්‌ ලෝක පෘථිවි පැය සමරන්නාහ. 

ඒ සියලු දෙනා තම නිවාසවල හෝ සේවාස්‌ථානවල විදුලි සැපයුම පැයකට විසන්ධි කරන්නාහ. 28 වැනිදා රාත්‍රි 8.30 ට ප්‍රංශයේ අයිෆල් කුලුන ඇමරිකාවේ එම්පයර්ස්‌ටේට්‌ ගොඩනැඟිල්ල ඇතුළු උස්‌ ගොඩනැඟිලි රාශියක විදුලි පහන් නිවා දමන ලදී. 

එවැනි ගොඩනැඟිලි පැයක්‌ කළුවරේ තිබීම යනු වෙනම අත්දැකීමකි. විදුලිය යනු ලොව තිබෙන අංක එකේ පරිසර දූෂකයෙකි. නූතන ලෝකයේ පැවැත්ම සඳහා වඩාත්ම අවශ්‍ය සාධකය විදුලිය වුවද ඒ මගින් පරිසරයට සිදුවන හානිය සුවිශාලය. 

ගල් අඟුරු විදුලි බලාගාරයකින් පරිසරයට නිකුත්වන තාපය, දුම් සහ අළු ගැන මෙනෙහි කර බලන්න. ඩීසල් බලාගාරයකින් නිකුත්වන අපද්‍රව්‍ය නිසා පරිසරය විනාශ වන හැටි ගණනය කරන්න. හානියක්‌ නැතිව ලබාගත හැකි එකම විදුලි වර්ගය ජල විදුලියය. 

එහෙත් ලෝකයට අවශ්‍ය තරම් විදුලිය උත්පාදනය කර දිය හැකි දිය ඇළි ලෝකයේ නැත. දැනට සිදුවන්නේ විශාල ගංගාවක්‌ හරස්‌ කර වේල්ලක්‌ බැඳ එතැන බලාගාරයක්‌ ඉදිකර ජල විදුලිය උපදවා ගැනීමය. එමගින් සිදුවන පරිසර හානිය ගණනය කරන්නට බැරි තරමට විශාලය. 

මේ සියලු කරුණු සලකා බලන කල දවසේ පැය 24 පුරාම පරිසරය විනාශ කරන විදුලියෙන් පැයක කාලයක්‌ ලෝකය නිදහස්‌ කර ගැනීම සඳහා ලයිට්‌ නිවා තැබීම සංකේතයක්‌ වශයෙන් ගත් කල ඉතා වැදගත්ය.

පෘථිවිය අද ඉතා දියුණුය. එහෙත් පෘථිවියට අයත් පරිසරය ඉතා නොදියුණුය. තවත් විදියකින් කිවහොත් පෘථිවි පරිසරය මනුෂ්‍යයන් විසින් විනාශයට පත් කරන ලද්දේය. දියුණුව යනු එකක්‌ ගන්නා විට තව එකක්‌ කැප කිරීමේ පදනම මත සකස්‌ වුණු ක්‍රමවේදයකි. 


සීතලෙන් උණුසුම ලබන්නට නම් ගිනි මැලයක්‌ ගැසිය යුතුය. ගිනි මැලයක්‌ ගැසීමට නම් දර සොයාගත යුතුය. දර ඉවර වන විට ගස්‌කපා දර ලබාගත යුතුය. ලේඛන කලාව සඳහා කඩදාසි අවශ්‍යය. 

කඩදාසි සෑදීමට ගස්‌ කහ පල්ප් සාදාගත යුතුය. මේ අනුව මිනිසා එක දෙයක්‌ ලබා ගන්නේ තව දෙයක්‌ කැප කිරීමෙනි. එහෙත් තමා ලබා ගන්නා දේ වෙනුවට පරිසරයට ප්‍රමාණවත් යමක්‌ දීමට මිනිසාට බැරිය. 

මේ තත්ත්වය තුළ හට ගන්නා විනාශකාරී කැකෑරිල්ල තුළ අපි අද සිරවී සිටිමු. එම සිරගෙයින් මිදී එළියට ඒමට නම් දියුණුව සඳහා යයි කියමින් කරන දේවල් බොහොමයක්‌ නැවැත්වීමට මනුෂ්‍යයාට සිදුවන්නේය.

ඉකුත් 28 වැනිදා රෑ 8.30 ට ලොවපුරා විදුලි විසන්ධිය කියන අතුරු කතාව එයය.
 
Related Posts with Thumbnails