Ads 468x60px

.

හෙල්මට්‌ පැළඳ සොරකම් කරනවා කියා හෙල්මට්‌ තහනම් කරන රටක්‌ තිබේද?


ශ්‍රී ලංකා පොලිස්‌ දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක ගිරා පෝතක, තැන්පත් නීතිඥ ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි සහ දක්‍ෂ කතාකරු, අජිත් රෝහණ පසුගිය දවසක රූපවාහිනියේ පෙනී සිටිමින් බෝම්බයක්‌ දැම්මාක්‌ බඳුව කියා සිටියේ ෆුල් ෆේස්‌ හෙල්මට්‌ තහනම් කරන බවය. 

ඔහු එය කී විදියට අප නම් හිතුවේ පසුවදාම එය තහනම් වන බවකි. එහෙත් දෙදිනකට පසු අභ්‍යන්තර ආරක්‍ෂක අමාත්‍යාංශයේ ජෝන් අමරතුංග ඇමැතිතුමා පොලිස්‌පති එන්. කේ. ඉලංගකෝන් සමඟ කළ කතා බහකින් පසු හෙල්මට්‌ තහනම අත්හිටුවන ලද්දේ ය. එය 'තහනම' තහනම් කිරීමකි.

ආණ්‌ඩුව ෆුල් ෆේස්‌ හෙල්මට්‌ තහනම ගෙන ඒමට ප්‍රධානතම හේතුව වන්නේ හොරුන් සහ කොල්ලකරුවන් ෆුල් ෆේස්‌ හෙල්මට්‌ පැළඳ

ගෙන විත් කොල්ලකෑම ය. මෙයට සතියකට නොවැඩි කාලයකට පෙර පිළියන්දල බැංකුවකට කඩා පිනූ ෆුල් ෆේස්‌ හෙල්මට්‌කාරයන් දෙදෙනෙක්‌ ආරක්‍ෂක නිලධාරියාට වෙඩි තබා කැෂියර්ලාට තුවක්‌කු දික්‌කර මුදල් පැහැර ගත්හ. 

ෆුල් ෆේස්‌ හෙල්මට්‌ මිනීමැරුම්වලට ශ්‍රී ලංකාව තුළ කිසියම් ආකාරයක ඉතිහාසයක්‌ තිබේ. 1988 - 89 කාලයේදී දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ සාමාජිකයන් සහ උප කොන්ත්‍රාත් මිනීමරුවන් උසස්‌ නිලධාරීන්ට සහ ආණ්‌ඩුවේ ලොක්‌කන්ට වෙඩි තබන ලද්දේ ෆුල් ෆේස්‌ හෙල්මට්‌ පැළඳගෙන ය. 

ඒ අනුව එම කාලයේදී එම හෙල්මට්‌ වර්ගය තහනම් කරන ලදී. එය පොලිස්‌ තහනමකි. එවැනි තහනමක්‌ පැනවීමට පොලිසියට බලයක්‌ නැති බැවින්ද, ඒ තහනම සඳහා නීතියක්‌ සම්මත කරගෙන නො තිබූ බැවින් ද, ස්‌වල්ප කාලයකට පසු ෆුල් ෆේස්‌ හෙල්මට්‌ පැළඳගත් ටේ්‍රල් බයික්‌කාරයෝ යළි රට පුරා සැරි සරන්නට පටන් ගත්හ. ඒ නීතිය එතැනින්ම අවසන් විය.

ෆුල් ෆේස්‌ හෙල්මට්‌ තහනමට මෑතදී පාදක වූ හේතුව ඒවා පැළඳගත් අය මංකොල්ල සහ හොරකම්වල යෙදීම නම්, ඒ තහනම විහිළුවකි. හෙල්මට්‌ එකක්‌ යනු ගිනි අවියක්‌ නොවේ. එය ඇඳුමක කොටසකි. විශේෂයෙන් ම එය මෝටර් සයිකලයක ගමන් කරන විට අඳින ඇඳුමක අංශයකි. 


මෝටර් සයිකල්කරුවා ජැකට්‌ටුවක්‌ පළඳින්නේ අධික දුහුවිල්ලෙන් සහ සුළං ප්‍රවාහයෙන් උඩුකය ආරක්‍ෂා කර ගැනීමටය. හෙල්මට්‌ එක අනතුරුවලින් හිස රැක ගැනීමට ය. හෙල්මට්‌ එකක්‌ ෆුල් ෆේස්‌ වන්නේ එහි තිබෙන සම්පූර්ණ මුහුණ ආවරණය නිසා ය. 

එම මුහුණු ආවරණය මගින් සිදුවන්නේ කටට, ඇස්‌වලට සහ නාසයට යන දුහුවිලි වෙනත් තියුණු කැට කැබිලිති සහ කෘමි සතුන් යැම වැළැක්‌වීම ය. පැයට සැතපුම් 100 ක වේගයෙන් රෝද දෙකේ වාහනයක්‌ ඊක්‌බජැ කරගෙන යන කෙනෙකුගේ ඇසට කෘමියකු වැදුණොත් සිදුවන්නේ කුමක්‌ද? වහා අනතුරක්‌ ඇති වීම ය. 

එවැනි විටෙක යතුරු පැදිය පෙරළී, යතුරුපැදිකරුවාගේ අතපය කැඩී, හිස තැලී ඔහු මිය ගිය විට හෝ අබ්බාගාත වූ විට ඔහු නඩත්තු කරන්නට හෝ ඔහුගේ අවසන් කටයුතු කර දෙන්නට පොලිසිය අනුග්‍රාහකත්වය දක්‌වන්නේ ද? 

සමහර විට මිය යන මිනිහාගේ තරුණ බිරියට හෝ තරුණ දියණියට අනුග්‍රාහකත්වය දක්‌වන්නට පොලිස්‌ රාළහාමි කෙනෙකු ඉදිරිපත් වීමට ඉඩ තිබේ. අපරාධකරුවා ෆුල් ෆේස්‌ හෙල්මට්‌ පාවිච්චි කර අපරාධ කරන්නේ නම් පොලිසිය කළ යුත්තේ හෙල්මට්‌ තහනම් කිරීම නොව අපරාධ මර්දනය සඳහා වැඩපිළිවෙළක්‌ සොයා ගැනීම ය. 

පිහියෙන් ඇන මිනී මරනවා කියා පිහි තහනම් කරන රටක්‌ තිබේද? කැත්තෙන් කොටා මනුෂ්‍ය ඝාතන කරනවා කියා කැති තහනම් කරන රටක්‌ තිබේද?. රිය අනතුරු සිදුවනවා ය කියා රිය තහනම් කරන රටක්‌ තිබේ ද?

හෙල්මට්‌ පැළඳ සොරකම් කරනවා කියා හෙල්මට්‌ තහනම් කරන රටක්‌ තිබේ ද? හෙල්මට්‌ පැළඳ සොරකම් කරන අය යතුරු පැදිවල ගමන් කරන නිසා ඒවා ද තහනම් කරමු.
 
Related Posts with Thumbnails