Ads 468x60px

.

කෑගසමින් රෝහලට ගිය පසු බාර ගන්න බෑ කියූ තරුණිය ත්‍රීවීලරය ඇතුළේම දරුවා බිහි කරලා


අන්තර්ජාතික කාන්තා දිනය යෙදුණු මාර්තු 8 වැනිදා රාත්‍රි දරු ප්‍රසූතියක් වෙනුවෙන් ගලෙන්බිඳුණුවැව රෝහලට බාර ගැනීම ප්‍රතික්‍ෂේප කළ මවක අනුරාධපුර මහ රෝහලට ගෙන යන අතරතුර ගමන් ගත් ත්‍රිරෝද රථයේදීම දියණියක ප්‍රසූත කළ පුවතක් කාන්තා කටයුතු ඇමැතිනිය නියෝජනය කරන අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් අප වෙත වාර්තා වෙනවා.

සිද්ධිය පිළිබඳව සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ මේ සිද්ධියට මුහුණපා ඇත්තේ ගලෙන්බිඳුණුවැව, වැලෑනගම ප්‍රදේශයේ පදිංචිව සිටින 21 හැවිරිදි මවක් බවයි. රෝහලට ගෙන යන අතරමඟදී බිහිකළ දියණිය

ත් මවත් මේ වන විට අනුරාධපුර මහ රෝහලේ 64 වාට්ටුවේ ප්‍රතිකාර ලබනවා.

මේ කාන්තාවගේ සැමියා උතුර නැඟෙනහිර යුද ගැටුම් පැවැති වකවානු වේදී රුදුරු ත්‍රස්තවාදීන්ගෙන් වටිනා ජීවිත දහස් ගණනක් බේරා ගැනීමට කැපවුණ ආරක්‍ෂක අංශ සාමාජිකයකු බවටද
අප වෙත තොරතුරු අනාවරණය වුණා.

ඇය මුහුණදුන් එම අවාසනාවන්ත සිද්ධිය සම්බන්ධයෙන් ඇගේ පවුලේ ඥාතියකු වන වැලෑනගම පදිංචි ඩබ්ලිව්.එස්. කුමාරසිංහ මහතා ගලෙන්බිඳුණුවැව පොලිසියට පැමිණිල්ලක්ද කර තිබෙනවා.

ඒ මහතා අදහස් දක්වමින් මෙසේ පැවසුවා.


දරු ප්‍රසූතියට සූදානමින් සිටි 21 හැවිරිදි මගෙ ඥාති දියණියක ගලෙන් බිඳුණුවැව රෝහලට ඇතුළත් කිරීමට මාගේ ත්‍රිරෝද රථයෙන් රැගෙන ගියා. ඒ ලෝක කාන්තා දිනය යෙදී තිබූ ඉකුත් 8 වැනිදා රාත්‍රියේ 9.30ට පමණ. 


මගෙ ඥාති සහෝදරියත් සමඟ මගේ ත්‍රිරෝද රියෙන් තමයි ඇයව ගලෙන් බිඳුණුවැව රෝහලට ගෙන ගියේ. ඒත් රෝහල් බලධාරීන් විලිරුදාවෙන් සිටි ඇය භාර ගැනීම ප්‍රතික්‍ෂේප කළා. ඇය අනුරාධපුර රෝහලට ගෙනියන්න කියලා ගලෙන්බිඳුණුවැව රෝහලේ බලධාරීන් අපිට කිව්වා.

අපි කීවා මේ රෑ අපිට එයාව ගෙනියන්න පහසුකම් නෑ රෝහලට භාර ගන්න කියලා. ඒත් රෝහල් බලධාරීන් ඇය භාර ගැනීම දිගින් දිගටම ප්‍රතික්‍ෂේප කළා. පස්සේ මම මේ අසාධාරණය ගැන ගලෙන්බිඳුණුවැව පොලිස් ස්ථානයට පැමිණිල්ලක් දාන්න ගියා. 


ඒ වෙලාවේ පොලිසියට ආව ගලෙන්බිඳුණුවැව රෝහලේ වෛද්‍යවරුන් දෙදෙනකුත් කංකානම්ලා කිහිපදෙනකුත් පොලිසියට කිව්වා මේ හරකට කියන දේ තේරෙන්නේ නෑ මෙයා අපේ රාජකාරියට බාධා කළා, අත්අඩංගුවට ගන්න කියලා. 

පස්සේ පැමිණිල්ල දැමිල්ල පැත්තක තියලා මම දුව අරගෙන අනුරාධපුරේ යන්න කියලා පිටත්වෙන්න බලනකොට ත්‍රීවීල් එකේ තෙල් ඉවර වෙලා. ෂෙඩ් එකත් වහලා තිබුණ නිසා වෙනත් ත්‍රීවීල් එකක් හයර් කරගෙන දුව ඉක්මනට අනුරාධපුයට ගෙනියන්න කටයුතු කළා. 

ඒ යන අතරතුර තම්මැන්නාව ප්‍රදේශයේදී දුවට හොඳටම අමාරු වෙලා ත්‍රීවීල් එක ඇතුළේම දරුවා බිහිකරලා තිබුණා. ඊට පස්සේ ඇයව තම්මැන්නාව රෝහලට ඇතුළත් කිරීමෙන් ඇයත්, දරුවත් අනුරාධපුර මහ රෝහලට මාරුකර යවන්න තම්මැන්නාව රෝහලේ බලධාරීන් කටයුතු කර තිබුණා.

තම්මැන්නාව රෝහලේ වෛද්‍යතුමන්ලාටත් කාර්ය මණ්ඩලයටත් අපි බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා, ඒ වෙලාවේ අපිට පිහිට වුණ එක ගැන.
සිද්ධියට මුහුණපෑ කාන්තාවගේ සැමියා වන ඩබ්ලිව්.ඊ. කුමාරසිංහ (21) මහතා පවසන්නේ තම බිරියට සිදුවූ අසාධාරණය සම්බන්ධයෙන් බලධාරීන්ගේ නිසි අවධානය යොමු විය යුතු බවයි.

මේ සම්බන්ධයෙන් ගලෙන්බිඳුණුවැව ප්‍රාදේශීය රෝහලේ වෛද්‍ය නිලධාරි නන්දිමිත්‍ර ඕපත්ඇල්ල මහතාගෙන් විමසීමේදී මෙසේ
පැවසුවා.

ඉකුත් 8දා රාත්‍රි 8.00ට පමණ අසනීප වූ ගැබිනි මවක් අප රෝහලට ආවා. ඇය පරීක්‍ෂා කිරීමේදී ඇගේ තත්ත්වය බරපතළ බව පෙනුණා. විශේෂඥ වෛද්‍යවරයා සති දෙකෙන් දෙකට ඇගේ කුසේ සිටින දරුවා ගැන වෛද්‍ය පරීක්‍ෂණ කරන ලෙස නිර්දේශ කර තිබුණා. එහෙත් එම ගැබිනි මව ඒවා හරිහැටි කරගෙන නැති බව වාර්තාවලින් පෙනුණා.

ඒ නිසා දරුවාත් අම්මාත් බේරා ගැනීමට රෝගියා වහාම අනුරාධපුර ශික්‍ෂණ රෝහලට යැවීමට තීරණය කළා. ඒ වන විට අප රෝහලේ ගිලන් රථය තිබුණේ නැහැ. එය කැඩී අලුත්වැඩියාවට යවා තිබුණා. යාබද යකල්ල රෝහලේ ගිලන් රථයත් තිබුණේ නැහැ. ඊළඟට තම්මැන්නාව රෝහලේ ගිලන් රථය ඒ වන විට අනුරාධපුරයට ගොස් තිබුණා.



ඒ නිසා මේ ගැබිනි මව පෞද්ගලික වාහනයකින් හැකි ඉක්මනින් අනුරාධපුර රෝහලට ගෙන යන ලෙස උපදෙස් දුන්නා. මේ ප්‍රදේශයේ රාත්‍රියට වාහන සොයා ගැනීම අපහසුයි. ඒ නිසා මාද මැදිහත්ව ත්‍රිරෝද රථයක් ගෙන්වා ගැබිනි මව අනුරාධපුරයට රැගෙන යෑමට උදවු කළා.

එම ගැබිනි මවගේ ඥාතියකු පැමිණ රෝහලේ කලබලයක් කළා. ඔහු බීමත්ව සිටි බව පෙනුණා. එම පුද්ගලයා මට විරුද්ධව ගලෙන්බිඳුණුවැව පොලිසියේ පැමිණිල්ලක් කර ඇති බවද දැනගන්නට ලැබුණා.


කාන්තා කටයුතු ඇමැතිනි චන්ද්‍රානි බණ්ඩාර මහත්මිය කියා සිටියේ ලෝක කාන්තා දිනයේදී තම දිස්ත්‍රික්කයේදීම කාන්තාවකට එවැනි අසාධාරණයක් සිදුවීම කනගාටුවට කරුණක් බවත් වහාම මේ සම්බන්ධ යෙන් සොයා බලා අවශ්‍ය පියවර ගැනීමට තමන් කටයුතු කරන බවත්ය.


සිද්ධියට අදාළ පැමිණිල්ල සම්බන්ධයෙන් ගලෙන්බිඳුණුවැව පොලිස් ස්ථානය මඟින් විමර්ශනය අරඹා තිබෙනවා.
 
Related Posts with Thumbnails