Ads 468x60px

.

සම්පූර්ණයෙන්ම 'කුඩු' වූ රටක සිට 'කුඩු' කතා කරන්නට පෙර


අද වනවිට රටේ ජනප්‍රියම වචනය 'කුඩු' යෑයි කීවොත් වරදක්‌ නැත. කුඩු ජාවාරම්කාරයන් හසුවීම, කුඩු තොග පිටින් අත්අඩංගුවට ගැනීම, යුද සමයේ "බෝම්බ" තරමටම සාමාන්‍යකරණීය වී හමාරය. එහෙත් කුඩු හිඟවන බවක්‌ පෙනෙන්නට නැත.

ඊයේ පුවත්පත්වල පළවී තිබූ ප්‍රවෘත්තියක ද 'කුඩු වර්ගයක්‌' අත්අඩංගුවට ගැනීමක්‌ ගැන සඳහන් වී තිබිණි. ඒ 'නල්ලතන්නි' ප්‍රදේශයේදීය. මේ 'කුඩු' වර්ගය අත්අඩංගුවට ගෙන තිබුණේ පොලිස්‌ විශේෂ කාර්ය බළකායේ මැදිහත් වීමෙනි. 


එන්. සී. යනුවෙන් හඳුන්වන මේ කුඩු වර්ගය තහනම් මත්ද්‍රව්‍යයකි. ග්‍රැම් 10 ක්‌ බැගින් වූ 'කුඩු' අඩංගු ටින් 7773 ක්‌ මෙහිදී අත්අඩංගුවට ගෙන තිබිණි. වාර්තා වන අන්දමට ඒවා වතුකරයේ පාසල් දරුවන් අතර
වේගයෙන් ව්‍යාප්ත වූ තහනම් මත්ද්‍රව්‍යයක්‌ බව කියෑවේ. ආනයනය පාකිස්‌ථානයෙනි.

මේ තවත් අත්අඩංගුවට ගැනීමක්‌ පමණි. ඉදිරියේදී ද එවැනි වැටලීම් ගණනාවක්‌ සිදුකරන්නට නියමිත බව කිව හැකිය. පොලිස්‌ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයටත් අදාළ ආරක්‍ෂක අංශවලටත් බොහෝ සේ රාජකාරි ඇති බව විශ්වාසය. ප්‍රශ්නය එය නොවේ. 


වැටලූ පමණින්ම, අත්අඩංගුවට ගත් පමණින්ම කුඩු කතාව ඉවර නොවීමය. නැරඹීමට අසීරු මෙගා ටෙලියක වුව අවසානය ගැන යමක්‌ කිව හැකි මුත් මෙගා කුඩු ඩීල් ගැන හරි හැටි අවසානයක්‌ ගැන හිතන්නටවත් බැරිය.

කතාවේ හැටියට ඉහත කී තහනම් මත්ද්‍රව්‍ය (කුඩු) තොගය වතුකරයේ තරුණ තරුණියන් ඉලක්‌ක කර ගනිමින් බෙදා හැරේ. නගරයේ තත්ත්වය ද ඊට දෙවැනි නැත. පැල්පත්වාසී සමාජ පැලැන්තියක සිට ඉහළ පැලැන්තිය දක්‌වා නගරයේ කුඩු කතාව ගලා යන්නේය. සුපිරි පැලැන්තියේ තත්ත්වය ඊටත් වඩා දියුණු මට්‌ටමකය. 


රාත්‍රී සුපිරි සමාජශාලාවල තරුණ තරුණියන් අතර විවිධ වර්ගයේ මත්ද්‍රව්‍ය, මත් පෙති හුවමාරු වීම සිදුවන්නේ විලාසිතාවක්‌ ලෙසය. ඒ අනුව පැහැදිලි වන්නේ කවර මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයකුගේ වුවද පහසුම ඉලක්‌කය බවට පත්වන්නේ තරුණ කොටස බවය.

රටේ තවමත් පැහැදිලි වැඩපිළිවෙළක්‌ නැත්තේ මේ පිරිස දැනුම්වත් කිරීමටය. මෙරට හෙරොයින් සහ අනෙකුත් තහනම් මත්ද්‍රව්‍ය සංසරණ යෙන් සියයට අසූපහක්‌ම සිදුවන්නේ බස්‌නාහිර පළාත කේන්ද්‍ර කරගෙන බව අන්තරායකර ඖෂධ පාලක මණ්‌ඩලය පවසයි. ඒ අනුව කොළඹ, ගම්පහ, කළුතර යන දිස්‌ත්‍රික්‌ක කේන්ද්‍රගතව මත්ද්‍රව්‍ය සංසරණය සිදු වේ.

එමෙන්ම මෙරට බන්ධනාගාර රැඳවියන්ගෙන් සියයට හතළිහක්‌ම (40% ක්‌) සිරගතව සිටින්නේ මත්ද්‍රව්‍ය වැරැදි සම්බන්ධයෙනි. ඒ අතරින් සියයට විසිපහක්‌ මත්ලෝලීන්ය.

'කුඩු' සෙල්ලම එතරම්ම භයානක තැනකට රට ඇද දමා ඇති බව තේරුම්ගන්නට මේ ටිකම ප්‍රමාණවත්ය. මාධ්‍යයන්හි කුඩු ජාවාරම් කරුවන් ගැන සඳහන් වන්නේ 'රජවරු' ලෙසය. 'රට හෙල්ලූ කුඩු රජා' අත්අඩංගුවට' 'තවත් කුඩු රජවරු නිදැල්ලේ' මෙවැනි ශීර්ෂ පාඨ අපට බොහෝ සෙයින් හුරු පුරුදුය.

'කුඩු' රටට ගෙන එන අවජාතකයන්ගේ දේපළ යානවාහන, වස්‌තු සම්භාරය දකින විට එසේ දැකීමේ ද වරදක්‌ නැත. එහෙත් මේ නරුමයන් එසේ රජ සැප විඳින්නේ රටේ තරුණ පරම්පරාව බිල්ලට ගනිමින් බව අමතක කළ යුතු නොවේ. 


'කුඩු රජවරු යෑයි කියාගන්නා පාදඩයන්' ගැන විචිත්‍රවත් විස්‌තර රටට කියන්නට වෙහෙස ගන්නවා සේම, රටේ තරුණ පරපුරට එයින් අත්වන විනාශය ගැන කියන්නට ද වැඩපිළිවෙළක්‌ තිබිය යුතු බව අප කියන්නේ එහෙයිනි. 

පසුගිය රජය වකවානුවේ සේම වත්මන් රජය ද කුඩුවලට වැට බඳින්නට ගන්නා ක්‍රියාමාර්ග ගැන ජනතා ප්‍රසාදයක්‌ ඇති බව සඳහන් කළ යුතුය. එහෙත් 'වටලනවා' මෙන්ම 'මැඬලීම' සඳහා ද දීර්ඝ කාලීන වැඩපිළි වෙළක්‌ දියත් කළ යුතුය. නොඑසේ නම් අපට ඒ ගැන කතා කරන්නට වන්නේ සම්පූර්ණයෙන්ම 'කුඩු' වූ රටක සිටය.
 
Related Posts with Thumbnails