Ads 468x60px

.

ෆුල් ෆේස්‌ හෙල්මට්‌ ප්‍රශ්නයට හොඳම විසඳුම මෙන්න...


ෆුල් ෆේස්‌ හෙල්මට්‌ තහනම අප්‍රියෙල් 02 වැනිදා සිට නැවතත් ක්‍රියාත්මක වීමට යන බව දැන ගන්නට තිබේ. ඒ බව පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශක විසින් ඊයේ (25 දා) උදේ හෙළිදරව් කරනු ලැබ ඇත. ෆුල් ෆේස්‌ හෙල්මට්‌ තහනම් කිරීම මෙයට මසකට පමණ ඉහතදී ද සිදු විය. 

එහෙත් අභ්‍යන්තර ආරක්‍ෂාව සහ පොලිසිය භාර ජෝන් අමරතුංග ඇමැති තුමා මැදිහත් වී එම තහනම තහනම් කරවීය. මේ වන විට එම තහනම
නිෂ්ප්‍රභ වී තිබෙන අතර එම තහනම කඩ කර අප්‍රියෙල් 02 වැනිදා සිට ෆුල් ෆේස්‌ හෙල්මට්‌ පළඳින අය අත්අඩංගුවට ගැනීමට හෝ ඔවුනට විරුද්ධව නෛතික ක්‍රියාමාර්ගයක්‌ ගැනීම සිදුවිය හැකිය.

ශ්‍රී ලංකාව තුළ මෝටර් සයිකල් දස ලක්‍ෂයක්‌ ඇත්නම් හෙල්මට්‌ද දශ ලක්‍ෂයක්‌ ඇත. මන්ද හැම යතුරුපැදිකරුවකුම හෙල්මට්‌ එකක්‌ පැළඳීම නීතියක්‌ වන නිසාය. 


යතුරුපැදි මෙරට ජනප්‍රිය වීමට පටන් ගත් 1978 මුල් යුගයේ දී හෙල්මට්‌ පැළඳීම අනිවාර්ය නොවූ නමුත් යතුරුපැදි බහුල වී, යතුරුපැදි මෙන්ම බහුල වූ වෙන වාහනවල යතුරුපැදි හැපී, යතුරුපැදි කරුවන්ගේ හකු පැන ඔළු කුඩු වන්නට පටන්ගත්විට හෙල්මට්‌ අත්‍යවශ්‍ය වූ අතර ඒවා පැළඳීම නීතියක්‌ බවට පත්විය. 

එකල පැවැතියේ ෆුල් ෆේස්‌ හෙල්මට්‌ නොව Half face හෙල්මට්‌ය. එවකට පැවැති ආණ්‌ඩුව හෙල්මට්‌ පැළඳීම නීතියක්‌ බවට පත් කළ විට හෙල්මට්‌ ලංකාවට ගෙන්වූ ව්‍යාපාරිකයන් කිහිප දෙනෙක්‌ කෝටිපතියන් බවට පත්වූහ. 

ටික කලක්‌ යන විට තරුණ පරපුරට Half face හෙල්මට්‌ එපා විය. එයට වඩා Stylish හෙවත් විලාසිතානුකූල හෙල්මට්‌ වර්ගයක්‌ ඒ වන විට යුරෝපයේ පහළ වී තිබිණ. ඒ වූ කලී ෆුල් ෆේස්‌ හෙල්මට්‌ය. 

හිසත් මුහුණත් වැහෙන්නට ෆුල් ෆේස්‌ හෙල්මට්‌ එකක්‌ පැළඳ හරකකු තරම් උස Trail බයික්‌ එකක නැගී ඉගිල යන තරුණ පරම්පරාව සමකාලීන තරුණියන්ගේ සිත් ආකර්ෂණය කළේය. කෙසේ වුවද ඔවුන් ගිය වේගය අනුව යතුරුපැදිය හැපුණු විට ඔවුන්ගේ අත් පා කුඩුවී ඔළු පමණක්‌ ඉතිරි විය.

කතාව මෙතැනින් නොනවතී. ඔළු ගෙඩිය රැක ගැන්මට පාවිච්චි කරන ෆුල් ෆේස්‌ හෙල්මට්‌ යොදාගෙන මිනීමැරීම සහ මංකොල්ලකෑම ඇරැඹිණ. 


අපගේ මතකය නිවැරැදි නම්, ෆුල් ෆේස්‌ හෙල්මට්‌ එකක්‌ දමාගත් මිනීමරුවකු විසින් මරණ ලද මෙරට පළමුවැන්නා පොලිස්‌ අධිකාරි වර්නන් පෙරේරාය. ඉන්පසු ෆුල් ෆේස්‌ හෙල්මට්‌කාරයන් විසින් දිගට හරහට මිනිසුන් මරණ ලදී. රත්තරන් බඩු සාප්පු කොල්ලකන ලදී. 

මේ අතර කාලයෙන් කාලයට එවැනි හෙල්මට්‌ පැළඳීම පොලිසිය විසින් තහනම් කරන ලද්දේය. පොලිසියට කිසියම් දෙයක්‌ තහනම් කිරීම සඳහා නෛතික ප්‍රතිපාදන නැත. පොලිසිය සිටින්නේ නීතියක්‌ කඩ කරන විට එය වැළැක්‌වීමටය. නීතියක්‌ හදන්නේ නීතිපති දෙපාර්තමේන්තුවය. 

එය පාර්ලිමේන්තුවට දමා මන්ත්‍රීවරුන්ගේ බහුතර අනුමැතියෙන් සම්මත කරගත යුතුය. මේ ක්‍රියාවලිය සලකා ඉංග්‍රීසි බසින් මන්ත්‍රීවරුන්ට Law Makers යනුවෙන් අමතනු ලැබේ. ෆුල් ෆේස්‌ හෙල්මට්‌ තහනම පොලිස්‌ තහනමක්‌ නොව කල්තියාම පාර්ලිමේන්තුවෙන් සම්මත කරගෙන ක්‍රියාත්මක නොකර තිබූ නීතියක්‌ යළි ක්‍රියාත්මක කිරීමකි.

කෙසේ වුවද ෆුල් ෆේස්‌ හෙල්මට්‌ එක යනු ආයුධයක්‌ නොවේ. එය ආවරණයකි. මිනීමරුවා එය තුළ සැඟව සිටී. මිනීමරුවා එතුළින් ඉවතට ගැනීමට පොලිසියට හැකි විය යුතුය. පොලිසිය එයට අසමත් වූ විට ෆුල් ෆේස්‌ හෙල්මට්‌ තහනම් කරන්නේ නම් එය පොලිසියේ අඩුපාඩුවකි. 


අදක්‍ෂකමකි. ෆුල් ෆේස්‌ හෙල්මට්‌ යොදාගෙන බැංකු කැඩීම වළක්‌වාලීමට මෙයට වඩා පහසු ක්‍රමයක්‌ තිබේ. ඒ වූ කලී ලංකාවේ සියලු බැංකු වසා දැමීමය. එවිට බැංකු කැඩීමට බැරිය. ලංකාවේ රත්තරන් බඩු සාප්පු සියල්ලමත් වසා දැමීමට හැකිනම් ඒවාත් කොල්ලකරුවන්ගෙන් පරිස්‌සම් කර ගත හැකිය. ඉතා පහසු මාර්ග තිබියදී අප අපහසු මාර්ගවලට යන්නේ ඇයි?
 
Related Posts with Thumbnails