Ads 468x60px

.

මීරිගම විල්වත්ත දුම්රිය හරස්මගේදී බස්රියේ සිටි ළමයින් 60දෙනා බේරුණේ මේ විදියටයි - බස් රියැදුරු තුසිත කියන කතාව


ශ්‍රී ලංකාවේ දුම්රිය අනතුරු ගැන කතා කරන විට මීරිගම විල්වත්ත අමතක කළ නොහැක. ඒ මන්දයත් ලාංකික දුම්රිය ඉතිහාසයේ ලොකුම දුම්රිය අනතුර සිදුවූයේ එම ප්‍රදේශයේදී වන බැවිනි. 

60 දෙනෙකුට මරු කැඳවමින් 1964 මාර්තු මස 18 වෙනි දින විල්වත්තේ දී අනතුරට පත්වූයේ තලෙයිමන්නාරමේ සිට කොළඹ කොටුව බලා ධාවනයවූ ශීඝ්‍රගාමී දුම්රියයි. (එම දුම්රියට යොදා තිබුණු British colombia නම් M2 වර්ගයේ එන්ජිම තවමත් සේවයේ යෙදෙයි). 

එම අනතුරට වසර 51 සපිරුණ පසුගිය 19 වෙනිදා තවත් භයානක දුම්රිය අනතුරක් විල්වත්ත දුම්රිය හරස් මාර්ගයේදී කෙස් ගහෙන් වැළකුණු පුවත දැන් රටම දනී. මාධ්‍ය මගින් වාර්තා වූ ආකාරයට අධ්‍යාපන චාරිකාවක යෙදුණු මතුගම ප්‍රදේශයේ පාසලක ළමුන් රැගත් බස් රියක්
මහනුවර සිට කොළඹ බලා ධාවනය වූ ශීඝ්‍රගාමී දුම්රියේ නොගැටී බේරී ඇත්තේ අනූනවයෙනි.

මෙම සිදුවීමට මුහුණ දුන්නේ පසුගිය 19 දින උදෑසන 6.30 කණිසමට මහනුවරින් පිටත්වූ සෙංකඩගල මැණිකේ දුම්රියයි. ප්‍රංශයෙන් ගෙන ආර්9 වර්ගයේ ජවාධික එන්ජිමක් යොදා තිබූ සෙංකඩගල මැණිකේගේ එදින නියමුවා වූයේ අනුර සිල්වා නම් පළපුරුදු දුම්රිය රියැදුරුය. 


පසුගිය 19 දින උදෑසන කොළඹ බලා එන සෙංකඩගල මැණිකේ අඹේපුස්ස දුම්රිය ‍පොළ පසුකරන විට රියැදුරු අනුර සිල්වාගේ අත් ඔරලෝසුවේ වේලාව උදෑසන 8.40 ලෙසින් සටහන් විය.

අඹේපුස්සේ සිට විල්වත්ත තෙක් දුම්රිය මග පවතිනුයේ මද බෑවුම් සහිත ස්වභාවයකිනි. එම ස්වභාවය නිසා අඹේපුස්ස විල්වත්ත අතර මාර්ග කොට්ඨාසයේ වේග සීමාව පැ.කි.මී.55කට සීමාකර ඇත. අකුරට වැඩ කරනා විනය ගරුක රියැදුරෙකු වූ අනුර සිල්වා සිය දුම්රිය එන්ජිමේ වේගය කි.මී. 55 තෙක් අඩුකරගන්නේ එකී වේග සීමාවට ගරු කරමිනි.


ඕනෑම දුම්රිය හරස් මාර්ගයක ඇති ගේට්ටුවකට නොදුරෙන් විශේෂ ආලෝක සංඥා ක්‍රමයක් ක්‍රියාත්මක වෙයි. ඉන් පළමුවැන්න දුම්රිය ගේට්ටුවට මීටර් 700 පමණ දුරිනි. රතු කොළ වර්ණ සංඥා සහිත එම සංඥා පුවරුවේ කොළ එළිය දැල්වේ නම් පමණක් දුම්රිය ඉදිරියට ගමන් කරයි. දෙවන සංඥා පුවරුව ඇත්තේ ගේට්ටුවට මීටර් 400 පමණ දුරිනි. 


එහි ඇත්තේ කොළ කහ සංඥා එළියයි. එහි කොළ පැහැය දැල්වේ නම් දුම්රිය පැමිණි වේගයෙන් ඉදිරියට යා හැක. නමුත් කහ පැහැය දැල්වේ නම් එය අනතුරු ඇඟවීමේ සංඥාවකි. කහ පැහැ සංඥාව (Amber Signal) දුටු සැනින් රියැදුරන් දුම්රියේ වේගය අඩාල කරන්නේ එබැවිනි. පසුගියදා 19දා සෙංකඩගල මැණිකේ පැමිණෙන විට විල්වත්ත ගේට්ටුවට නොදුරු සංඥාවද දැල්වී ඇත්තේ කහ පැහැයෙනි.

පළපුරුදු දුම්රිය රියැදුරෙකු වූ අනුර සිල්වා සිය දුම්රියේ වේගය පැ.කි.මී. 10 තෙක් අඩු කරන්නේ එබැවිනි. දුම්රියේ වේගය අඩාල කරත්ම දුම්රිය මාර්ගය හරහා බස් රථයක් තිබෙනු  තමා දුටු බව අනුර සිල්වා මහතා මාධ්‍යයට පවසා ඇත. කෙසේ හෝ බස්රියට අඩි 30-40ක් දුරින් දුම්රිය නතර කර ගැනීමට තමාට හැකිවූ බවද ඔහු මාධ්‍ය හමුවේ පවසා ඇත.


නමුත් මෙම සිදුවීම සම්බන්ධ තවත් පාර්ශ්වයක්ද සිටියි. ඒ බස් රථයේ රියැදුරුගේ පාර්ශ්වයයි. බොහෝ දෙනෙකුට බස් රියැදුරු මුළුමනින්ම අමතකව ගොස් තිබුණද අප බස් රථයේ රියැදුරු සොයා යන්නට තීරණය කළෙමු. දොඩංගොඩ ප්‍රදේශයේ පදිංචි තුසිත වීරසූරිය බස් රථයේ රියැදුරාය.


අධ්‍යාපන සහ විනෝද චාරිකා සඳහා පමණක් රිය පදවන ඔහු පළපුරුදු රියැදුරෙකි. පසුගිය 19 දා පස් යොදුන් කෝරලයේ ප්‍රකට පාසලක සිසුන් රැගෙන අධ්‍යාපන චාරිකාවකට තුසිත එක්වී ඇති අතර එදින උදෑසන 8.50ට පමණ ඔහු පැදවූ එ/ ව්ච් - 5520 දරන බස්රථය විල්වත්ත දුම්රිය හරස් මග අසලට පැමිණ ඇත. එතැන් සිට කතාව තුසිතගේ බසින් මෙසේය.


“මම උදේ 8.50ට විතර, වෙනකොට විල්වත්තේ ගේට්ටුව ළඟට ආවා. මං නිතර මේ පාරේ ට්‍රිප් යන නිසා මට මෙතන හොඳට පුරුදුයි. මං එන කොට කොළ පාට ලයිට් එක වැටිලා තිබුණා. සීනුව වැදුණෙත් නැහැ. 


කහ පාට ලයිට් එක තිබුණෙත් නෑ. ඒ කියන්නේ එම මාර්ගය හරහා යන්න පුළුවන්. මේ වෙලාවේදී ළමුන් කැටිව ගිය ගුරුවරයෙකුත් බසයේ ඉදිරිපස පාපුවරුවට බැහැලා හිටියා. ගෝලයාත් හිටියා. ළමයිනුත් අවට හිටියා. 

සීනුව වැදුණා නම් ඒක මට නැතත් අනෙක් අයට හරි ඇසෙන්න ඕන. එහෙම වුණේ නෑ. එම දුම්රිය හරස් මග හරහා ඉක්මනින් බසය පැදෙව්වා. බස් රථය හරස් පාරෙන් පිට වෙන්න ළං වෙන කොට Hood rack එකේ පසුපස කෙළවරට වෙන්න යමක් පැටළුණා. 

මම බසය දුම්රිය මාර්ගයෙන් ඉවත් කරලා නතර කළා. රේල් ගේට්ටුවේ පළුවක් බස්රියේ වහලයේ වූ Hood rack එකේ පැටලිලා කැඩී තිබුණා. මම අර යාංගල් මෝදර රියැදුරා වගේ වහපු ගේට්ටුවෙන් රිංගුවේ නෑ. මම හරස් මාර්ගයට ඇතුළු වුණේ කොළ එළිය තිබූ වේලාවේ. රේල් ගේට්ටුව මගේ බස් එකේ වහල උඩට පහත් කරපු නිසයි ඒක කැඩුණේ. 

මගෙන් වචනයක්වත් අහන්නේ නැතිව කම්පියුටර් චිත්‍ර හදලා අනතුරක් මවලා ජනමාධ්‍ය මාව පුදුම අපහසුවකට පත් කළා. ලක්බිම පත්තරෙන් මට කතා කරන තුරු කිසි කෙනෙක් මගෙන් ඇහැව්වේ නෑ වුණේ මොකක්ද කියලා. 

මේ කතාව පත්තරේ දැම්මත් නැතත් මගෙන් අහපු එකට ස්තූතියි තුසිත කතා කරන්නේ දැඩි ආවේගයෙනි. එදින සිදුවූ දේ ගැන ඔහුට කීමට තවත් බොහෝ දේ ඇත. ඔහු යළිත් හඬ අවදි කළේ මෙසේය.


රේල් ගේට්ටුව ළඟ සේවකයන් කිහිප දෙනෙකු යම් නඩත්තු කටයුත්තක් සිදුකරනවා මම දුටුවා. බසය අයින් කරලා නතර කරපු මම මුලින්ම කතා කරේ ඒ සේවකයන් අතර සිටි නිලධාරී මහතෙකුට. ගේට්ටුවේ අලාභය ගෙවන්න වෙයි කියලා එයා කීවා. 


මම ඒ මහත්තයා එක්ක කතා කර කර ඉන්නකොට තමයි බස් එකේ හැපෙන්න ආවා කියන ඔය කෝච්චිය එතනින් ගියේ. ඒ වෙනකොටම බස් එක නතර කරලා, බැහැලා ඇවිත් විනාඩි 5කට වැඩියි. මමවත්, ළමයින්වත් බසයේ සිටි කවුරුවත් හරස් මාර්ගයේදී දුම්රියක් දුටුවේ නෑ. 

ළමයි කෑගහද්දී මම බස් රථය රේල් පාර හරහා දැම්මා කියන්නේ බොරු. ළමයි කෑගැහැව්වේ සිංදු කිය කියා සතුටින්. නැතිව දුම්රියක් දැකලා ඒකට බයේ ‍නෙවෙයි. බස් එකේ ගුරුවරු ඕන වෙලාවක මා වෙනුවෙන් සාක්ෂි දෙනවා. අපි ආපහු එන ගමන් මීරිගම දුම්රිය ස්ථානයට රේල් ගේට්ටුව කැඩුණට රු. 25000ක දඩ මුදලක් අපි ගෙව්වා. 

අපි ඒ කටයුතු ඉක්මනින් කළේ දරුවන්ට පමා නොවන ලෙසයි. මගේ අතින් ඒවගේ වරදක් වුණා නම් මට ගමේ මිනිස්සු වාහනයක් එළවන්න දෙයිද? ඊට සතියකට පසුත් මම ඔය ගේට්ටුව ළඟින් තවත් ළමයි ටිකක් අරං ට්‍රිප් එකක් ගියා. දුම්රිය දෙපාර්තමේන්තුවට දඩ ගෙවූ පමණින් සිද්ධිය නිමා නොවීය.

අධ්‍යාපන චාරිකාව නිමකර දොඩංගොඩට පැමිණි තුසිත වීරසූරිය සොයා පසුදා උදේ පැමිණි මතුගම ‍පොලීසියේ නිලධාරීන් පිරිසක් කටඋත්තරයක් දීමට ඔහුට මීරිගම ‍පොලීසියට යන ලෙස පවසයි. ඒ අනුව තුසිත මීරිගම යන්නේ තනිව නොවේ. ඔහු සමග විනෝද චාරිකාවට සහභාගි වූ ගුරුවරු දෙදෙනකු සහ බස් රථයේ හිමිකරුද මීරිගම යයි. 


ගුරුවරු දෙදෙනා යන්නේ අවශ්‍ය වුවහොත් සාක්ෂි ලබාදීමටයි. එහෙත් පොලීසිය තුසිතගේ කටඋත්තරයක් පමණක් ලබාගෙන ඔහු අත්තන ගල්ල මහේස්ත්‍රාත්තුමිය වෙත පමුණුවයි. ඒ සිදුවීම තුසිත පවසනුයේ මෙසේය.

නඩුව ඇහුවේ වෙනමම කාමරේක. මට රු. 30000ක දඩයක් ගැහුවා. රේල් ගේට්ටුවට රු. 25000ක් ගෙවපු නිසා ඒ ගැන දඩ ගැහුවේ නෑ. ‍පොලීසිය චෝදනා 4ක් ඉදිරිපත් කරලා තිබුණා. පෙරකදෝරු ගාස්තුත් ගෙවන්න සිදුවුණා. ඒ තුසිතගේ කතාවයි. අපි මේ කතාවේ ඇත්ත නැත්ත පිළිබඳ තවදුරටත් කරුණු සොයා බැලුවෙමු. 


ඒ අනුව මීරිගම ‍පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති ගාමිණී මහතා දුරකථනයෙන් සම්බන්ධ කරගැනීමට අපට හැකිවිය. ඔහු  පවසන පරිදි තුසිතට රු. 30500ක දඩයක් නියම කර ඇත. රේල් ගේට්ටුව පැටලී ඇත්තේ බසයේ වහලයේ බවත් බස්රිය වැසූ ගේට්ටුවෙන් රිංගා ගොස් නැති බවත් රථවාහන ස්ථානාධිපතිතුමාද පිළිගනී. 

එහෙත් අනතුරු අඟවන සීනු හඬ නොතකා බසය දුම්රිය මගට ඇතුළු කර ඇති බවත් එනිසා මෙම අනතුර සිදුවූ බවත් ඔහුගේ මතයයි. දුම්රිය ගේට්ටුව අසල නඩත්තු කටයුත්තක් සිදුවූ බවට රියැදුරා කරන ප්‍රකාශයද මීරිගම රථවාහන ‍පොලිස් ස්ථානාධිපති ප්‍රතික්‍ෂේප කරයි.

අනතුරුව අප දුම්රිය දෙපාර්තමේන්තුවෙන් මේ පිළිබඳ විමසා සිටියෙමු. සැබැවින්ම මේ අවස්ථාවේ දුම්රිය ගේට්ටුව අසල යම් නඩත්තුවක් සිදුකරමින් පැවති බව අප හා අදහස් දැක්වූ දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරියා විසින් පිළිගන්නා ලදී. එතන සිදු කළේ කලර් ලයිට් පිරිසිදු කිරීමක්. ඒක ගේට්ටුවට බාධාවක් නොවෙයි. 


අපි හිතන විදියට සීනු හඬ නොතකා ඉදිරියෙන් ගිය වාහන ගැන පමණක් සිතා බස් රථයේ රියැදුරු හරස් මාර්ගයට බස් රථය ඇතුල් කරලා තියනවා.

ඒකයි පහත් කරන ගේට්ටුව රථයේ වහලයේ වැදුණේ, වර්ණ සංඥා අනුව දුම්රියේ වේගය අඩාල කිරීම නිසා අනතුර වැළකුන බවත්, දුම්රිය බස් රිය ආසන්නයේ නතර කළේද, නැද්ද යන්න ගැන තමාට කිසිවක් කිව නොහැකි බවත් පැවැසූ ඔහු බොහෝවිට දුම්රිය වේගය අඩාල කරමින් ඉදිරියට ධාවනය වන්නට ඇති බවද අප හා පැවැසීය.

කෙසේ වෙතත් සිසු ජීවිත රැසක් අනතුරක අභිමුවට ගෙන ආ මෙම සිදුවීමේදී දුම්රිය රියැදුරු ක්‍රියා කළ ආකාරය අපද අගය කරන්නෙමු. 


එහෙත් ග්‍රැෆික් මගින් අපට පෙන්වූ තරමේ අනතුරක් විල්වත්ත දුම්රිය හරස් මගේ සිදුනොවුණේ නම් තවදුරටත් බස් රියැදුරා ද්‍රෝහියෙකු වන්නේද යන්න අප බරපතළ ලෙස සිතා බැලිය යුතු බව අවධාරණය කරන්නෙමු.
 
Related Posts with Thumbnails