Ads 468x60px

.

"ශ්‍රී ලාංකිකයා දවස ආරම්භ කරන්නේ චූන් - පාන් ගෙඩියකින්" කියන කතාව

 වත්තල ප්‍රදේශයෙන් කුණු කරවල කන්ටේනර් දෙකක් සොයාගෙන ඇත. වැටලීම සිදුකළ පාරිභෝගික සේවා අධිකාරිය කියා සිටින්නේ කරවල තොගය හොඳටම නරක් වී පණුවන් ගසා තිබූ බව ය. වැටලීම සිදුකරන විටත් කරවල තොගයෙන් කිලෝ 1000ක් පිටකොටුවේ
වෙළෙඳසල් කිහිපයකට අලවි කර තිබු බවකි. 

වැටලීම සිදු නො වන්නට ඉතිරි කුණු කරවල තොගය ද අලවි කරනු ඇත. මේ විස බීජ හා ජරාව කෙළින් ම ගමන් කරන්නේ දුප්පත් - අහිංසක පාරිභෝගිකයාගේ බඩට ය. කොයිතරම් වැටලීම් සිදුකළත් විෂබීජ සහිත ආහාර ද්‍රව්‍ය අලෙවියෙහි අඩුවක් දකින්නට නැත.

අලුත් අවුරුද්ද, වෙසක්, පොසොන් උත්සව කාල හා නත්තල ද වෙළෙඳුන්ගේ හොද්ද බොර වන කාලයකි. මේ කාලයේ පාරිභෝගික සමාජය තුළ ඇත්තේ බලවත් තරගයකි. මේ තරගය නිසා පාරිභෝගිකයා තමන් මිලට ගන්නා භාණ්ඩයෙහි ප්‍රමිතිය ගැන බලන්නේ අඩුවෙන් ය. 


පාරිභෝගිකයා ගොනාට ඇන්දවිය හැකි කාලය වෙළෙන්දෝ හොඳින්ම දනිති. මේ අවුරුදු උත්සව සමයෙහි පාරිභෝගිකයා වඩාත් සිහි බුද්ධියෙන් යුතුව භාණ්ඩ මිලට ගතයුතු ය. වත්තල ප්‍රදේශයෙන් සොයා ගත් කුණු කරවල තොගයෙහි බර හා වටිනාකම ඊයේ වනවිටත් සොයාගෙන නොතිබිණි. ඒවා කිරා බැලිය යුතු බැවින් ය. කුමක් වුව කන්ටේනර් දෙකක් පුරවා කුණු කරවල තිබීම සුළුපටු නැත.

මෑතකදී පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරියෙක් කියා සිටියේ ශරීර සෞඛ්‍යයට අහිතකර බීම වර්ග යෝගට්වර්ග හා ක්ෂණික කෑම වර්ග පනස් ගණනක් සොයාගෙන ඇති බව ය. ඒවා සොයාගෙන ඇත්තේ රාජ්‍ය ආයතන තුනක් විසින් සිදු කරන ලද පරීක්ෂණයක ප්‍රතිඵල හැටියට ය. 


මේවායේ නම් ප්‍රසිද්ධ කොට වහා ම තහනම් කළ යුතු ය. අවශ්‍ය නීතිමය තත්ත්වයන් සපුරාගන්නා තෙක් අඩුම ගණනේ එම නිෂ්පාදන ආයතන වලට සීල් තැබීම වත් කළ යුතු ය. මෙබඳු ජරා ව්‍යාපාර නැවැත්වීමට පෙර දුප්පත් පාරිභෝගිකයා මරණයෙන් බේරා ගත යුතුය.

ඉහත සඳහන් පැණිබීම, යෝගට් හා ක්ෂණික ආහාරවල මාරාන්තික රෝගවලට තුඩු දෙන විෂබීජ හා රෝග කාරක පවතින බව ද පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරියා කියා සිටියේ ය. අඩුම ගණනේ මෙබඳු වැටලීම් හා පරීක්ෂා කිරීම් සතියක් පාසාවත් සිදුවිය යුතු ය. 


නැතහොත් සිදුවන්නේ එකම භාණ්ඩය නම් කිහිපයකින් නැවතත් වෙළෙඳ පොළට පැමිණීම ය. ගම්පහ ප්‍රදේශයේ යෝගට් වර්ගයක අසූචි තිබී සොයා ගන්නා ලදී. ඒ නිෂ්පාදකයාට නඩු පැවරිණි. දඩයක් ගෙවා ආපසු පැමිණි නිෂ්පාදකයා දැන් වෙනත් වෙළෙඳනාමයක් යොදාගෙන යෝගට් නිෂ්පාදනය කරයි. මෙබඳු නිෂ්පාදකයන් ගැන විශ්වාසයක් තැබිය හැකි ද?

සමාජය ඉතා වේගයෙන් ක්ෂණික ආහාරවලට යොමුව සිටී. ඒ ජීවිතයේ වේගවත් බව නිසා විය හැකි ය. දහසකුත් එකක් වැඩ රාජකාරි අතර කෑම උයමින් සිටින්නට කාලයක් නැත. ඊටත් වඩා දැන් එය පුරුද්දක් වී තිබේ.


බටහිර දියුණු රටවලට මේ ක්‍රමය සාධාරණ විය හැකි ය. හේතුව ආහාර ද්‍රව්‍ය නිෂ්පාදනයේ සිට අලෙවිය දක්වා ම ඒවා පරීක්ෂා කෙරෙන ක්‍රම වේදයක් දියුණු රටවල පවතින බැවිනි. අපට එබඳු විධිමත් ක්‍රමවේදයක් නැත. පවත්නා නීති - රීති පවා හරිහැටි ක්‍රියාත්මක වන බවක් ද පෙනෙන්නට නැත. 

ගවමස් නිෂ්පාදනයට පෙර පළමුව වෛද්‍යවරයකු විසින් ගවයා නිරෝගී බවට සහතිකයක් දිය යුතුව තිබේ. පසුව මස් තොගයට සලකුණක් යෙදීම ද කළ යුතු ව තිබේ. ඒ මස් ආහාරයට සුදුසු බව සහතික කිරීම සඳහා ය. එහෙත් අපේ රටේ මේ ක්‍රමය හරියට ක්‍රියාත්මක වන්නේ නැත.

මාරාන්තික පිළිකා රෝගය ශ්‍රී ලංකාව තුළ ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන්නට පටන් ගෙන තිබේ. 1970 ගණන් වනතුරුම පිළිකා රෝගියකු හමුවූයේ කලාතුරෙකින් ය. එහෙත් පිළිකාවත් දැන් දියවැඩියාව මෙනි. නැතහොත් අධිරුධිර පීඩනය මෙනි. පිළිකාවත් සාමාන්‍ය රෝගයක් බවට පත්ව තිබේ.


වෛද්‍ය මතයට අනුව සමාජයේ ආහාර රටාව පිළිකා ඇතිවීමට හේතු සාධකයක් වී තිබේ. ක්ෂණික ආහාර අතරින් කොත්තු රොටිය අන්තිම අපිරිසුදු බවත්, ඒවායෙහි රෝගකාරක විෂබීජ පවතින බවත්; ඇතැම් කොත්තු රොටීවල අසූචි පවා ඇති බවත් සඳහන් ප්‍රවෘත්තියක් මීට දින කිහිපයකට ඉහත දී ජනමාධ්‍ය විසින් පළ කැරිණි. 

එහෙත් කිසිදු කොත්තු කඩයක වැඩ නැවතුණේ නැත. අලෙවිය අඩු වූ බවක් ද දැනගන්නට නැත.

පාරිභෝගිකයාගේ පුරුද්ද දැනුම හා පරීක්ෂාව මේ කෙරෙහි තදින් ම බලපායි. සමහර පාරිභෝගිකයන්ගේ අදහස බඩගින්නට කුමක් හෝ ගිල දැමීම ය. තව පාරිභෝගික පිරිසකගේ අදහස අඩු මිලකට ඕනෑ දෙයක් ගැනීම ය. තවත් පාරිභෝගිකයකුගේ අදහස හොඳ පෙනුමක් ඇති මිල අධික දේවල් මිලට ගැනීම ය. 


මේ කිසි කෙනකුට යහපත් සෞඛ්‍ය පුරුදු නැත. ආහාර ද්‍රව්‍ය පරීක්ෂා කරමින් එහි ප්‍රමිතිය ගැන සොයන අතර ම යහපත් සෞඛ්‍ය පුරුදු ඇති කිරීමට පිළිවෙළක් ද අපට අවශ්‍ය වේ. එය ජාතික අවශ්‍යතාවක් සේ සැලැකිය හැකි ය.

දැන් බලාගෙන යන විට අපේ මුළු මහත් සමාජයම ලෙඩ ගොඩකි. කෙනකුට ගෑස් ය. තව කෙනෙකුට සීනි ය. තවත් කෙනෙකුට පෙෂර්ය සමහරකුට දණහිස් අමාරුව ය. තව සමහරකුට ඇදුම ය. තවත් සමහරකුට ඇවිලිල්ල ය. ඉරුවාරදයවත් නැති කෙනකු සොයා ගැනීම අපහසු ය. 


මෙහෙම ගියොත් ජාතිය ම ලෙඩ වී වළපල්ලට යනු ඇත. ඉරාන ජාතිකයා දවස ආරම්භ කරන්නේ ධාන්‍යවලින් තැනූ කැඳ කෝප්පයකින්ය. ඉන්දියානු ජාතිකයා දවස ආරම්භ කරන්නේ පිරිසුදු එළකිරි වීදුරවකින් ය. ශ්‍රී ලාංකිකයා දවස ආරම්භ කරන්නේ චූන් - පාන් ගෙඩියකින් ය. 

මොන දේටත් වඩා වටින්නේ යහපත් ආහාර සිරිතයි. එවැන්නක් කවදා ඇතිවෙයි ද?
 
Related Posts with Thumbnails