Ads 468x60px

.

සූප්පුවේ සිට කිරි බෝතලය දක්‌වා ප්ලාස්‌ටික්‌ ආදීනවය


මෙයට අවුරුදු 50 කට පෙර වීදුරුවලින් කරන ලද හැම භාණ්‌ඩයක්‌ම පාහේ අද නිෂ්පාදනය වන්නේ ප්ලාස්‌ටික්‌ වලිනි. ප්ලාස්‌ටික්‌ යනු ඛනිජ තෙල්වල අතුරු නිෂ්පාදනයක්‌ හෙවත් By Product එකකි. 

ක්‍රිස්‌තු වර්ෂ 347 දී ලොව පළමු තෙල් ළිඳ මැදපෙරදිගදී හාරන ලද බවත්, තෙල් පිටතට ගැනීම සඳහා උණ බම්බු පාවිච්චි කරන ලද බවටත් වාර්තා
තිබේ. එකල ඛනිජ තෙල් වලින් ප්ලාස්‌ටික්‌ නිෂ්පාදනය කිරීමේ තාක්‍ෂණය ක්‌ තිබුණේ නැත. එසේ තිබුණා නම් ලොව පැරැණිම පුරාවස්‌තු අතරින් ප්ලාස්‌ටික්‌ බෝතල්, දීසි, සඳකඩපහණ්‌ යනාදිය ද හමුවන්නේය.

ළදරුවාගේ සූප්පුවේ සිට කිරි බෝතලය දක්‌වාද, ආහාර ඇසුරුම් දක්‌වාද, බොහෝ දේවල් ප්ලාස්‌ටික්‌ වලින් නිපදවන බැවින් ඒ ඔස්‌සේ පිළිකාව සහ දරුණු ශ්වසන රෝග හටගන්නා බව ජාතික විෂ තොරතුරු මධ්‍යස්‌ථානයේ අධ්‍යක්‍ෂ විශේෂඥ වෛද්‍ය වරුණ ගුණතිලක විසින් කියන ලද්දේ යයි සඳහන් විය. 


දොස්‌තර මහතා කියන පරිදි ටයිල් වර්ග, රුධිරය බහාලන බෑග් සහ ශල්‍ය අත්වැසුම් ඇතුළු නිෂ්පාදන සිය දහස්‌ ගණනක්‌ ප්ලාස්‌ටික්‌ වලින් නිපදවා තිබේ. ඒ සියල්ල සෞඛ්‍යයට එල්ල කෙරුණු මාරාත්මක තර්ජන ය.

ලංකාව ප්ලාස්‌ටික්‌ නමැති ද්‍රව්‍යය හරියාකාරව හඳුනාගෙන ගෙදර දොරේ භාවිතයට අනුගත කරගෙන තවමත් වසර 50 කට වඩා නැත. මෙයට වසර 50 කට පෙර මේ රටේ තිබුණේ කිරිපිටි පැකට්‌ නොව ටින් ය. මෙකී කිරිපිටි ටින් එක තුළ ප්ලාස්‌ටික්‌ හැන්දක්‌ තිබිණ. 


කිරිපිටිවල සුදුසු මාත්‍රාව මැනීම සඳහා ඒ හැන්ද යොදා ගන්නැයි කිරිපිටි ටින් එකේ පිටපැත්තේ සඳහන් කර තිබිණි. ඒ වූ කලී මුල්වරට ප්ලාස්‌ටික්‌ උපකරණයක්‌, විශේෂයෙන්ම ගෙදර දොරේ භාවිතා කරන ගෘහ උපකරණයක්‌ මේ රටේ සමාජ ගත වූ අවස්‌ථාවය. පාවිච්චියට ගෙන නිම වූ කිරි හැඳි පොඩි ළමයින්ගේ සෙල්ලම් බඩු බවට පත්විය. 

ළමයි ඒවා කටේ ගසාගෙන වික විකා කල්පනා කළහ. මේ කියන කාලයේ දී TV නැත. Day Care ද නැත. ළදරු පාසල් ද නැත. ළමයා තම ජීවිතයේ මුල් අවුරුදු හය හත තුළ තනිකරම වැඩුනේ සිය මව් තුරුලේය. එනම් නිවසේ ය. ඔහුට ඉලෙක්‌ට්‍රොනික්‌ සෙල්ලම් බඩු තිබුණේ ම නැත. 'වීඩියෝ ගේම්ස්‌' තිබුණේම නැත. එ බැවින් ඔහු පිටරටින් ගෙනා විසිතුරු බඩුවක්‌ වූ කිරි හැන්ද සමඟ තනි විය.

1977 න් පසු ලෝකය ප්ලාස්‌ටික්‌ උපකරණ විසින් ආක්‍රමණය කරන ලද්දේ ය. හැම තැනකම තිබූ හැම බඩුවක්‌ම ප්ලාස්‌ටික්‌ ය. ප්ලාස්‌ටික්‌ යනු පරිසරයේ සතුරෙකි. මෙය බඩට ගිය විට දිරවන්නේම නැත. පසට එකතු වූ විට දිරා යන්නේ ද නැත. 


ප්ලාස්‌ටික්‌ බඩු නිෂ්පාදනය කරන විට පරිසරයට නිකුත් වන තාපය සහ දුම සුවිශාල ය. ප්ලාස්‌ටික්‌ ප්‍රතිචක්‍රීය කරන විටද පරිසරයට නිකුත් වන තාපය සහ දුම සුවිශාල ය. ප්ලාස්‌ටික්‌ ශරීර ගත වී ටික කලක්‌ තිබුණොත් හඳුනාගන්නට බැරි තරම් මාරාන්තික රෝග හට ගනී.

තුන්වන ලෝකයේ වෙසෙන ඉන්දියාව හා ලංකාව ද අප්‍රිකා මහද්වීපයේ වෙසෙන ජනයා ද ප්ලාස්‌ටික්‌ යනු මාරයකු බව හඳුනාගෙන නැතත් යුරෝපය ඒ බව හඳුනාගෙන ඇත. මේ නිසා යුරෝපා රටවල් වැඩි හරියක අද වන විට සිරි සිරි බෑග් නැත. ප්ලාස්‌ටික්‌ අසුරන නැත. පරිසරයට දිරාපත්වන ප්ලාස්‌ටික්‌ වර්ග හැකි පමණින් නිපදවීමට යුරෝපය කටයුතු කරයි.

එහෙත් අපට එවැනි දේ ගැන වගේ වගක්‌ නැත.
 
Related Posts with Thumbnails