Ads 468x60px

.

ශ්‍රීලනිපය ගොඩ නැගීමට අවශ්‍ය නම්...?


ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද එකට එකතු වී අද දිනයේ දී සාකච්ඡාවක් පවත්වති. එය එක අතකින් ඓතිහාසික දේශපාලන සාකච්ඡාවක් ලෙස ද හැඳින්විය හැකිය. මේ සාකච්ඡාව දේශපාලන ක්ෂේත්‍රයෙහි ආන්දෝලනාත්මක සාධකයක් බවට පත්ව තිබේ. 

එක අතකින් මෛත්‍රීපාල සිරිසේන මහතා යනු විධායක ජනාධිපති ක්‍රමයේ අසීමිත බලතල ඉවත් කරමින් යහ පාලනයකට යන්නට වෙරදරන දේශ පාලකයෙකි. රාජ්‍ය නායකයෙකි. මහින්ද රාජපක්ෂ
මහතා විධායක ජනාධිපති ක්‍රමයේ බලතල භාවිතයට ගනිමින් රට මෙහෙය වූ දේශපාලකයෙකි. රාජ්‍ය නායකයෙකි.

මේ රාජ්‍ය නායකයන් දෙදෙනා අතර වෙනස්කම් රැසක් තිබේ. සමානකම් රැසක් ද තිබේ. ඒවා එකිනෙක විග්‍රහ කිරීමට කාලය මෙය නොවේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකට තුනට කැඩී යන තත්ත්වයක් උදා වී ඇත.


එය වැළැක්වීම සඳහා ගත යුතු සුදුසුම ක්‍රියාමාර්ගය ලෙස පරිණත දේශපාලනඥයන් පෙන්වා දී තිබුණේ මහින්ද හා මෛත්‍රී එකට එකතු කළ යුතු බවය. ඔවුන් සාකච්ඡා මාර්ගයකින් සමාදානයට පත් කළ යුතු බවය.

ශ්‍රී ලංකාවේ දේශපාලන පසුතලය තුළ මෙය විවේචනයටත්, අගය කිරීමටත් ලක්විය. කෙනෙක් මේ දෙදෙනාගේ එක්වීමට කැමතිය. කෙනෙක් මේ දෙදෙනාගේ එක්වීමට අකමැතිය.

මෛත්‍රීපාල සිරිසේන මහතා රටේ ජනාධිපති ධුරයට පත්වූයේ අභියෝග රැසක් මැද තම ජීවිතය ද අත්හරිමින් යැයි කිව හැකිය. ජනාධිපති වරණයෙන් පැරදුණේ නම් මෛත්‍රීපාල සිරිසේන හිටපු තැනක්වත් සොයාගත නොහැකි යැයි අපට නිකමට මෙන් සිතේ. 


ඒ බව ජනාධිපතිවරයා‍ම සිය ජයග්‍රහණයෙන් පසුව වරින් වර ප්‍රකාශ කොට තිබේ. රටේ ජනතාව මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති පදවියට පත්කළේ බරපතළ අපේක්ෂා ගණනාවක් ඇතිව ය. දැනට ඇති පසුබිම අනුව ඒවා ක්ෂණිකව ඉටුවෙන බවක් පෙනෙන්නට නැත.

මෛත්‍රීපාල සිරිසේන මහතාගේ බලයට පත්වීමට එරෙහිව ප්‍රධාන සටන දුන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ය. ඔහුට තම ආධිපත්‍යය රැකගැනීමට අවශ්‍යතාවක් තිබුණේ යැයි සිතිය හැකි ය. 


එහෙත් එය ජනතාව වෙතින් ක්‍රම ක්‍රමයෙන් ගිලිහී ගියේය. අද මහින්ද රාජපක්ෂ පන්සල් ගණනේ යමින් ද, දේවාල ගමනේ යමින් ද පුද පූජා පවත්වමින් රටේ පාලනය ඉල්ලා සිටින තත්ත්වයකට පත්ව සිටී.

මහින්ද රාජපක්ෂ මහතා අවංක චේතනාවකින් යුතුව වත්මන් ජනාධිපති මුණගැසෙන්නේ යැයි සිතිය නො හැකි ය. ඊට ප්‍රධාන සාධකයක් ලෙස දැක්විය හැක්කේ මහින්ද රාජපක්ෂ මහතා සාකච්ඡාවට පෙර එකිනෙක කොන්දේසි පැනවීම ය. 


මහින්ද රාජපක්ෂ මහතා කොන්දේසි පනවන්නේ කුමකට ද? එතුමාට රාජ්‍ය පාලනය කිරීමට අයිතියක් නැත. මෛත්‍රීපාල සිරිසේන මහතා හිටපු ජනාධිපතිවරයා කියන කියන තැනට සාකච්ඡා සඳහා යන්නේ මන්ද? කිසිවකුට මේ සත්‍යය වටහා ගත නො හැකි ය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසිරී යනවාට කිසිදු කැමැත්තක් ග්‍රාමීය අංශයෙන් හෝ නාගරික අංශයෙන් හෝ වතු අංශයෙන් හෝ ප්‍රකාශ වී නැත. පක්ෂය ගොඩනැඟිය යුතු යැයි මධ්‍යම කාරක සභාවෙන් ද විශාල හඬක් නැඟී තිබේ. ග්‍රාමීය මට්ටමේ ශ්‍රී ලංකා කාරයන්ට මේ ගැන පුළුල් වැටහීමක් නැත. ඔවුහු එකිනෙක පුද්ගලයා යටතේ ඒකරාශී වී සටන් වදිති. 


ශ්‍රීලනිපය එජාපයට වඩා දීර්ඝ කාලයක් රට පාලනය කර තිබේ. එහි අත්දැකීම් ද සමඟ බලන විට ඉදිරි කාලය ද පාලන බලය ලබාගැනීම සඳහා සටන් වැදීමට ශ්‍රීලනිප සංවිධානය අපේක්ෂා කරගෙන සිටිති.

මේ තත්ත්වයන් නරක නැත. එහෙත් ලෝකය සමඟ ගැට‍ගැසෙන දේශපාලන කතාන්දරයක් මෙහි තිබේ. එය තවදුරටත් පැහැදිලි කළහොත් ජාත්‍යන්තරයේ සහයෝගයෙන් තොරව ශ්‍රී ලංකාවට අඩියක් නොව අඟලක් හෝ ඉදිරියට යා නො හැකි ය. 


පසුගිය කාලය තුළ අපේ ජාත්‍යන්තර සබඳතා මුළුමනින්ම පාහේ බිඳ වැටිණි. යුරෝපය අපට එරෙහි විය. අමෙරිකාව අපට එරෙහි විය. අප්‍රිකාවේ ඇතැම් රටවල් ද අපට එරෙහි විය. එංගලන්තය අපට එරෙහි විය. ප්‍රංශය අපට එරෙහි විය. 

මෙබඳු ධනපති රටවල සහයෝගයකින් තොරව රටේ ආර්ථික වෘද්ධිය ඉහළට ගෙන යා නො හැකි ය. දේශපාලන ස්ථාවරත්වයක් අපේක්ෂා කරන්නේ නම් එය ද ඉටුකළ ගත නො හැකි ය.

කුමන තත්ත්වයක් යටතේ වුව මේ දේශපාලන චරිත දෙක එකිනෙකට හමුවීම ඉතා වැදගත් ය. සාකච්ඡා කිරීම ද ඉතා වැදගත් ය. එහෙත් මෙහි කොළය වසා කරන ක්‍රීඩාවක් ද ඇතැයි අපට සිතේ. 


වත්මන් ජනාධිපතිවරයා සාකච්ඡා සඳහා තෝරාගත් ස්ථානයකට යනවා ද? අපට හැඟෙන පරිදි වත්මන් ජනාධිපතිවරයා මහින්ද රාජපක්ෂ පාර්ශ්වයට ඕනෑවටත් වඩා ඉඩ හසර ලබා දී තිබේ. ඒ හැරෙන්නට මහින්ද රාජපක්ෂ මහතා දක්වන කොන්දේසි පිළිගැනීමට ද වත්මන් ජනාධිපතිවරයාට සිදුවනු ඇත.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනතාව විසින් බලයට පත්කරන ලද්දේ ප්‍රධාන සාධක දෙකක් පෙරදැරි කරගෙන ය. එක, යුක්තිය හා සාධාරණත්වය වෙනුවෙන් පෙනී සිටිමින් එය සාක්ෂාත් කිරීමට ය. 


දෙක, රටේ ඊට පෙර පැවැති සික්ෂිත නොවූ සමාජ ක්‍රමය හා පාලන ක්‍රමය වෙනස් කිරීමට ය. මෛත්‍රීපාල සිරිසේන මහතාට රටේ බහුතර ජනතාව ඡන්දය දී ඇත්තේ සෙල්ලමට නොවන බව මෙයින් පැහැදිලි වේ. 

වත්මන් ජනාධිපතිවරයා ස්වකීය ඡන්ද බලය ද සාධකයක් ලෙස ගනිමින් මේ රටේ දේශපාලන සංස්කෘතිය හා ආර්ථිකය වැඩිදියුණු කළ යුතු ය. ඒ සඳහා ම පියවර ගත යුතු ය.

මේ සාකච්ඡාවේදී වත්මන් ජනාධිපතිවරයා ජනතාව වෙනුවෙන් පෙනී සිටිය යුතු ය. කොන්දේසිවලට යටත් නොවිය යුතු ය. ශ්‍රීලනිපය ගොඩ නැගීමට අවශ්‍ය නම් රට හා ජාතිය විනාශ නොකරන ප්‍රතිපත්තිවලට හා වැඩසටහන්වලට එකඟවීමට මෛත්‍රී පිලට මෙන් ම මහින්ද පිලට ද සිදුවනු ඇත.
 
Related Posts with Thumbnails