Ads 468x60px

.

මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ ජන්ම දින සමරුව යෙදී තිබියදී කනගාටුදායක පුවතක්


මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ 125 වැනි ජන්ම දින සමරුව ලබන 29 වැනි දිනට යෙදී තිබියදී කනගාටුදායක පුවතක් අසන්නට ලැබිණි. ඒ චික්‍රමසිංහ සූරීන් මූලික අධ්‍යාපනය ලැබූ ගාල්ල උණවටුන 'බොනවිස්ටා' විද්‍යාලය වැසී යෑමේ අවදානමකට ලක්ව ඇති බවය.

මාර්ටින් වික්‍රමසිංහ පමණක් නොව, මහාචාර්ය සෙනරත් පරණවිතාන, හිටපු අග්‍රාණ්ඩුකාර ශ්‍රීමත් ඔලිවර් ගුණතිලක, කලාසූරී එඩ්වින් ආරියදාස, ප්‍රවීණ ලේඛක අනඳපිය කුඩාතිහි, ආචාර්ය ඒ.ටී. ආරියරත්න වැනි උගතුන්, වියතුන් රැසක් 'බොනවිස්ටා' පාසලේ අධ්‍යාපනය ලබා ඇත. මාලදිවයිනේ හිටපු ජනාධිපති අබ්දුල් ගයුම්ද 'බොනවිස්ටා'වේ ආදි ශිෂ්‍යයෙකි.

1848 වසරේ බි්‍රතාන්‍ය පාලන සමයේ බොනවිස්ටා අරඹා ඇත්තේ 'ඉංග්‍රීසි පිරිමි පාඨශාලාවක්' ලෙසිනි. ඒ අනුව බලන විට ගාල්ල දිස්ත්‍රික්කයේ ඇති පැරැණිම පාසල වන්නේද බොනවිස්ටාය. ඓතිහාසික වටිනාකමක් ඇති, සුප්‍රකට වූ ශිෂ්‍යයන් පිරිසක් අධ්‍යාපනය ලැබූ 'බොනවිස්ටා'ව මේ වන විට විනාශ මුඛයට වැටී ඇති බව, ඊයේ එක්තරා

පුවත් පතක මුල් පුවත ලෙස පළකෙළේ 'බොනවිස්ටා වැසී යන්න අත ළඟයි' යන හිසිනි. 

ඒ පුවතින් අවධාරණය කර තිබුණේ බොනවිස්ටාවට අධ්‍යාපන බලධාරීන්ගේ ඇල්ම බැල්ම වැටිය යුතු බවය. එහෙත් ගාල්ල කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂවරයාට අනුව නම් පාසල වසා දැමීමට කිසිදු තීරණයක් ගෙන නොමැත. පාසල පවත්වාගෙන යෑමට ඇති ප්‍රධාන ගැටලුව වී ඇත්තේ අන්කිසිවක් නොව සිසුන්ගේ පැමිණීම වසරින් වසර පහළ යෑමය.

කෙසේ වුවද,
එම පුවත් පත අනාවරණය කර තිබුණේ විද්‍යාලයේ පරිගණක මධ්‍යස්ථානයේ පවා පරිගණක නැති බවකි. විද්‍යාලයට සෞන්දර්ය ගුරුවරුන් නැති අතර අනධ්‍යයන කාර්ය මණ්ඩලයක්ද නොමැති බවත්, ආදි ශිෂ්‍යයන් පවසා තිබිණි. ඔවුන් 'බොනවිස්ටා සුරැකීමේ එකමුතුව - අපි' නමින් සංවිධානයක් පිහිටුවා ගෙන ඇත. 

අනාවරණය වී ඇති කරුණු කාරණාවලට අනුව භෞතික හා මානව සම්පත් හිඟකම විද්‍යාලයට තර්ජනයක් වී තිබේ. එහෙත් අධ්‍යාපන බලධාරීන් පවසන්නේ දක්‍ෂ නිර්මාණශීලී විදුහල්පතිවරයකු පත්කර එවූ බවත් භෞතික සම්පත් හිඟයක් එහි නැති බවත්ය.

මෙවැනි පාසලක් වැසීයෑම වළකා ගැනීමට නම්, මීට වඩා ගැඹුරින් 'ප්‍රශ්න' අවබෝධ කර ගැනීමට බලධාරීන්ට හැකියාව තිබිය යුතුය. ටයි පටිවලින් ගෙල හිරකරගෙන ශීත කාමරවල අසුන්ගෙන 'විසඳුම්' සොයනවා වෙනුවට එළිපහළියට බැස ප්‍රායෝගික විසඳුම් සෙවීමට බලධාරීන් දැන්වත් සූදානම් විය යුතුය.


පොදු අරමුදල්වලින් පාසල්වල ඉදිකළ විද්‍යාගාර 'මහින්දෝදය' ලෙස නම් කර 'තමන්ගේ නම ඊට සම්බන්ධ නැතැයි' කියද්දීත් 'මහින්දෝදය' නම බාධාවක් කරගෙන එම විද්‍යාගාර පාසල් දරුවන්ට විවෘත කර නොදෙන එසේම 'බොනවිස්ටා' විද්‍යාලයේ පෞරාණික වටිනාකම අවබෝධ කර නොගන්නා දේශපාලනඥයන් හා ඔවුන් පිටුපස ගාටන නිලධාරීන් ගැන ඇත්තේ කනගාටුවක් නොව හිරිකිතයකි.

බණ්ඩාරනායකවරුන්ගේ දේශපාලනයේ කේන්ද්‍රස්ථානය වූ 'රොස්මිඩ්' වලව්ව හෝටලයකට විකුණා දමා මේ වන විට කලක් ගතවී ඇත. 


ආනන්ද කුමාරස්වාමි මාවතේ නාම පුවරුව ගලවා දැමුවේ කලෙකට පෙරය. මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපතිවරයා වීමෙන් පසු යළි පැරැණි නම භාවිතයට ගැනිණි. වාසනාවට මාර්ටින් වික්‍රමසිංහගේ 'කොග්ගල නිවෙස' කෞගුකාගාරයක් බවට පත්කර තිබේ. 

මහාචාර්ය ගුණපාල මලලසේකර ඇතුළු වියතුන් විසූ ඓතිහාසික වටිනාකමකින් යුතු නිවෙස්වලට එවැනි රැකවරණයක් නොලැබිණි. මෑතකදී සාහිත්‍ය සූරී කේ. ජයතිලකයන්ගේ නිවෙස පුස්තකාලයක් බවට පත් කෙරිණි. 

මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ ජන්ම දිනය නිමිතිකරගෙන හෝ උණවටුනේ 'බොනවිස්ටා' විද්‍යාලයට බලධාරීන්ගේ ඇල්ම - බැල්ම වැටේ නම් එය ඉතිහාසයක් ඇති මිනිසුන්ගේ සොම්නසට හේතු වනු ඇත.
 
Related Posts with Thumbnails