Ads 468x60px

.

උසස්‌ පෙළ යනු විශ්ව විද්‍යාලයට යැමේ කඩඉම මිස මරුවා සමග යැමේ කඩඉම නොවන බව...!


හීනෙකින් හෝ හිතන්නට අකැමැති දෙයක්‌ ගැන ලියන්නට සිදුවීම අභාග්‍යයකි. එහෙත් තවත් අභාග්‍යසම්පන්න සිදුවීම් වළකනු පිණිස අකමැත්තෙන් හෝ මේ නිමිත්ත ගැන විචාරන්නට සිදුව තිබේ. 

ඒ වනාහී කළුතර තිස්‌ස මධ්‍ය මහා විද්‍යාලයේ උසස්‌ පෙළ පංතියේ සිසුන් තිදෙනෙක්‌ කළුගඟට බිලිවීමේ පුවතය. බිලි වූවා නොවේ. ඔවුහු බිලිවීම
පිණිස ස්‌වකැමැත්තෙන්ම එහි ගියා වැනිය.

ගඟ, ගඟේ ස්‌වභාවයෙන් ගැලුවේය. එබැවින් ගඟට දොස්‌ තබා පලක්‌ නැත. නමුත් මේ පාසල් දරුවන් තිදෙනා ඔවුන්ගේ ස්‌වභාවයෙන් නොහැසිරුණේය. එබැවින් සමාජයට දොස්‌ නගන්නට දෙයක්‌ ඉතිරිව තිබේ.

මේ තිදෙනා නිවෙස්‌වලින් පැමිණෙන්නේ අමතර පංතියකට යන බව පවසාය. ඔවුන් පැවසූ ඒ අමතර පංතිය යනු පිහිනුම් පංතියක්‌ නොවන බව ස්‌ථිරය. එහෙත් පංති යන බව පැවසූ ඔවුහු කළුතර දූවේගොඩ පිහිටි ගලේ තොටුපළට එති. උදේ 9 පමණ සිට එහි පැය ගණනක්‌ නාති. අවසානයේ දෙමාපියන්, ඥාති හිතමිත්‍රාදීන්ට කඳුළු ගංගාවක්‌ උරුම කරදී ගං පතුළේ සැඟව යති.

සතිර, අංජුල සහ එරංග යන මේ තිදෙනා මේ ආකාරයෙන් ජීවිතය හැරදා ගිය මෙරට පළමු දරුවන් තිදෙනා නොවේ. නමුත් ගැටලුව වන්නේ සතිර, අංජුල සහ එරංග තිදෙනා ගං දියට දිවි දී කියාදුන් පාඩම මගින් යළිත් මෙවැනි මරණ මේ දෙරණ මත වාර්තා නොවේද යන්නය.

එදා බුදුන් දවස නොමළ ගෙයකින් අබ සොයාගන්නට කිසාගෝතමියට නොහැකි වූයේ යම්සේද, සිය සිසුවකු මෙවැනි අකල් මරණයකට ලක්‌ නොවූ (බාලිකාවක්‌ නොවන) පාසලක්‌ සොයාගැනීම උගහටය. ඒ තරමට මෙවන් අවාසනාවන්ත උදාහරණ තිබේ.

මෙවැනි බහුතරයක්‌ අකල් මරණවලට කාලය වන්නේ, සතිර, අංජුල සහ එරංග පරිදිම, උසස්‌ පෙළ පංතියේ සිටින අවධියයි. විමසිය යුතු කරුණ ඇත්තේ එතැනය. උසස්‌ පෙළ යනු විශ්වවිද්‍යාලයට යැමේ කඩඉම මිස මරුවා සමග යැමේ කඩඉම නොවේ. නමුත් එහි එවන් අවාසනාවන්ත යථාර්ථයක්‌ ඇති බව මෙවැනි බොහෝ මරණ මගින් පෙනී යන්නේය.

සැබැවින්ම සිදුවන්නේ කුමක්‌ද?

අද මෙරට බහුතරයක්‌ දෙමාපියන් සිය දරුවන්ව දරුවන් පරිද්දෙන් දකිනුයේ සාමාන්‍ය පෙළ හමාර කරනකම් පමණි. ඉනික්‌බිති ඔවුන් මේ දරුවන් ගැන සිතනුයේ මේ දරුවා දැන් කරදඬු උස්‌මහත් වූ තරුණයෙකුය කියන හැඟීමෙනි. බොහෝ දෙමාපියන් සාමාන්‍ය පෙළ දක්‌වා දරුවාව දැඩි රැකවරණ යටතේ හදා වඩා, උසස්‌ පෙළ සමයේ" 'ලිහා දමයි'. 


ඒ බොහෝවිට, දරුවාට උසස්‌ පෙළ සමත්වීම උදෙසා ස්‌වයංතීරණය කර ඕනෑම පංතියකට සහභාගි වීම පිණිසය. දරුවන් විසින් අද තියරි ක්‌ලාස්‌ එකක්‌... අද රිවිෂන් එකක්‌... අද ටියුට්‌ ක්‌ලාස්‌ එකක්‌... මේ ආදී වශයෙන් ගෙනහැරපාන උසස්‌ පෙළ ශබ්ද කෝෂය බොහෝ දෙමාපියන්ට තෝරා බේරා ගැනීමට නොහැකි සංකීර්ණ කතන්දරයකි. 

අවසානයේ දරුවාට අවශ්‍ය දේ කරගන්නට හැර දෙමාපියෝ බරපැණ පමණක්‌ සපයති. තම දරුවා දැන් වැඩිහිටිකමේ උළුවස්‌ස ළඟ සිටින්නේය යන හැඟීමෙන් ඔවුන්ගේ අධ්‍යාපන ජීවිතය ඔවුන්ගේ තීරණවලටම භාරදෙමින් දෙමාපියෝ තමන්ගේ වැඩක්‌ බලාගෙන සිටිති.

අවසානයේ මෙය වරදට පෙළඹෙන ජීවන අවධිය බවට පත් වේ. අවිචාර වත් නිදහසක්‌ ලබන සහ උසස්‌ පෙළ පංති වෙනුවෙන් අධික මුදලක්‌ අතට එන දරුවා සමාජගත වීමට උත්සාහ කරනුයේ එක්‌කෝ සිගරට්‌ටුවකිනි. 


නැතිනම් මත්වතුර උගුරකිනි. සමහර විට ගංජා හෝ කුඩු පැකැට්‌ටුවකිනි. දියණියකට නම් මෙම නිදහස අකාලයේ මවක්‌ වීම දක්‌වා ද බලපෑ හැක. අකුරු කරන්නට දුන් නිදහස කට්‌ටි පැනීම පිණිස යොදාගැනීමේ බරපතලම විපාකය වන්නේ අකල් මරණයන්ය.

උසස්‌ පෙළ යනු දරුවකුට සිය අනාගතය තීන්දු වන, මෙරට මිනිසකුගේ ජීවිතයේ අතිශයින්ම තීරණාත්මක අවධියයි. ඒ වසර දෙක තුනක කාලය අධ්‍යාපනය උදෙසා අවංකවම කැප කිරීම යනු ඔහු හෝ ඇයගේ ඉතිරි මුළු ජීවිත කාලයම ජයගැනීමකි. 


නැතහොත් සමස්‌ත අනාගතයම අනාථ කර ගැනීමකි. සාමාන්‍ය පෙළ ප්‍රතිඵල එන්නටද පෙර, දරුවන් උසස්‌ පෙළ සඳහා දිවවීමට ප්‍රථම ඔවුනට මේ යථාර්ථය අවබෝධ කර දෙන්නට, අදාළ ශික්‍ෂණය ලබාදෙන්නට, නිසි විනයක්‌ තුළ ඔවුන්ව හික්‌මවන්නට පාසලද, දෙමාපියන්ද, සමාජයද ක්‍රියා කරන්නේ නම් මැනවි. 

නැතහොත් ඊළඟට මෙවැනි සටහනක්‌ තබන්නට සිදුවන්නේ ඔබේ දරුවා වෙනුවෙන් විය හැක.
 
Related Posts with Thumbnails