Ads 468x60px

.

"හෙල්මට්" නීතිය කැඩූ යතුරුපැදිකරුවකුගේ වෘෂණ කෝෂ සමඟ සෙල්ලම් කල මහරගම පොලිසියේ ලොක්කා


යතුරුපැදි ධාවනයේදී හිස් ආවරණ හෙවත් හෙල්මට් පැලඳීම නීතියකි. ඒ නීතිය කඩ කරන්නන්ට දඩ ගැසීමේ හෝ නඩු පැවැරීමේ හෝ අයිතිය පොලිසිය සතුය. එහෙත් "හෙල්මට්" නීතිය කැඩූ යතුරුපැදිකරුවකු සොයා ගොස් ඔහුගේ වෘෂණ කෝෂ මිරිකා පහරදී තර්ජනය කිරීමටත්, ඔහුගේ බිරියට හා දියණියට බැන වැදීමටත් පොලිසියට අවසරයක් නැත.

එහෙත් මහරගම පොලිසියේ ලොක්කා එවැන්නක් කර ඇත.

වින්දිතයා පොලිසියට කළ පැමිණිල්ලකට අනුව අදාළ සිද්ධිය සම්බන්ධ යෙන් විශේෂ පරීක්‍ෂණයක් පැවැත්වීමට බස්නාහිර දකුණ නියෝජ්‍ය පොලිස්පතිවරයා තීරණය කොට ඇත. 


මේ පරීක්‍ෂණය අදාළ පොලිස් කොට්ඨාසයෙන් පිටස්තර දිස්ත්‍රික්කයක සහකාර පොලිස් අධිකාරිවරයකු යටතේ පවත්වන ලෙස උපදෙස් ලබාදීම කැපී පෙනේ. "හොරාගෙ අම්මගෙන් පේන අහන" වර්ගයේ පරීක්‍ෂණයක්
නොකර එක් පාර්ශ්වයකට හෝ අගතියක් නොවන ආකාරයට පරීක්‍ෂණය ක් පැවැත්වීමට කටයුතු කිරීම සතුටට කාරණයකි.

කෙසේ වුවද අදාළ සිද්ධිය සම්බන්ධයෙන් විත්තිකාර පාර්ශ්වය පවසන ආකාරයට අදාළ පුද්ගලයා පොලිස් අණ නොතකා යතුරුපැදිය ධාවනය කර ඇත. ඒ අනුව මූලික සිද්ධිය සම්බන්ධයෙන් දෙපාර්ශ්වයේ කතා දෙකකි.


ඒ "කතාව" කෙසේ වෙතත් සැකකරුවකුගේ තබා කිසිදු සිවිල් පුද්ගලයකු ගේ වෘෂණ කෝෂ සමඟ සෙල්ලම් කිරීමට අයිතියක් පොලිසියට නැත. එය පොලිස් "බලය" අයුතු ලෙස පාවිච්චි කිරීමකි. කිසිදු පුද්ගලයකුට "චණ්ඩි පාට්" දැමීමට පොලිස් නිල ඇඳුම ලයිසමක් නොවේ.

එහෙත් පොලිසියේ ඇතැම් මහත්වරුන් බොහෝවිට හැසිරෙන්නේ එවැනි ලයිසමක් තමන්ට ලබාදී ඇති ආකාරයටය. රත්නපුර නගරයේදී පොලිස් නිලධාරියකු, දෙනෝදාහක් බලා සිටියදී කාන්තාවකට බිම දමාගෙන පහර දුන් සිද්ධිය මෑතකදී මහත් ආන්දෝලනයට තුඩු දුන්නේය. 


ඒ "සිද්ධිය" පුද්ගලයකු ජංගම දුරකතනයකින් රූගත කර තිබිණි. මහරගම වෘෂණ කෝෂ මිරිකීමේ සිද්ධිය හෝටලයේ කැමරාවේ මනාව සටහන් වී තිබී ඇත. "කැමරා ඇසට" බොරු කළ නොහැකිය. පහරදීමට ලක්වූ හෝටල් හිමියාට අනුව මහරගම පොලිස් ලොක්කා ඔහුව හොඳින් දැන හඳුනන්නෙකි.

පොලිස් ලොක්කාගේ ඉල්ලීම මත පොලිස් නිලධාරීන්ට හා ඇතැම් කාන්තාවන්ට නොමිලේ "කෑම" ලබාදුන් බවද ඔහු පවසා තිබිණි. 


පුද්ගලයකුව හෙල්මටය නොපලඳවා යතුරුපැදිය පිටුපස හිඳුවාගෙන යෑම "වරදක්" වුවද මහරගම පොලිසියේ ලොක්කාගේ "මිත්‍රයකු" නිසා එය නොසලකා හරිනු ඇතැයි හෝටල් හිමියා සිතුවා විය හැකිය. කෙසේ වුවද හෙල්මට් ප්‍රශ්නය වෘෂණ කෝෂ මිරිකීම දක්වා දුර දිග යෑමට "හේතුව" කුමක්දැයි පරීක්‍ෂණයෙන් හෙළිවනු ඇත.

රත්නපුරයේ "කාන්තාවට" පහර දුන්නේ පොලිස් පොඩ්ඩෙකි. එහෙත් මහරගම "පිරිමියකුට" පහරදී ඇත්තේ පොලිස් ලොක්කෙකි. වැරැද්දක් කළ පුද්ගලයකුට නීතියට අනුකූලව රාජකාරිය කරනවා හැර "නිල බලය" ඇඟට ගෙන "බාහු බලය" පෙන්නීමට යෑමට පෙර බාහුවේ පලදාගෙන සිටින "ලාංඡනය" ගැන සිතා බැලීම වැඩදායකය.
 
Related Posts with Thumbnails