Ads 468x60px

.

ආතල් වැඩි වූ පසු බෙල්ල කැපීමේ සිට සමූහ මිනිස්‌ ඝාතන දක්‌වා දිවෙන මත් සංස්‌කෘතියක සාඩම්බර උරුමකරුවන් වීමට නම්..


ඊයේත්, පෙරේදාත් පුවත්පත්වල තරුණ විසේට කළ මිනීමැරුමක්‌ ගැන ප්‍රවෘත්ති පළවී තිබිණි. අනුරාධපුර නගරයට පැමිණි තරුණයන් පිරිසක්‌ හොඳහැටි ගංජා පානය කර මදි පාඩුවට තවත් මත් පෙත්තක්‌ ද පානය කර තරුණ මදය තිබෙන කොලු ගැටවුන්ගේ වචන වලින් ම කියනවා නම් "සුපිරි ආතල්" එකක්‌ ගෙන තිබේ. 

සුපිරි ආතල් "මොළේ කචල්" වීම දක්‌වා දුරදිග යැමේ ප්‍රතිඵලයවී ඇත්තේ එකෙකුට මැරෙන්නටම කැඩුණු බෝතලයකින් ඇනීම සහ තවත් එකෙකු ට බරපතළ තුවාල සිදු කිරීම ය. මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ තිරිසනුන්ට
අම්මා, අප්පා වුව නොපෙනෙන තත්ත්වයක්‌ තුළ අඹයහළුවන් ගැන කුමන කතාද? 

ඒ එක කතාවකි. දෙවැනි කතාව ගාල්ලෙනි. 

පාසල් දරුවන් "මත් කිරීම" ඉලක්‌ක කරගෙන "පැණිබීම" බෝතලයක්‌ ගාල්ල ප්‍රදේශයේ අලෙවි කරන බව ය. පොලිස්‌ ළමා හා කාන්තා කාර්යාංශයට ලැබී ඇති තොරතුරු අනුව රුපියල් 20 කට පමණ මිලදී ගත හැකි මෙම පැණි බීම බෝතලය "ස්‌ප්‍රේ" කරගත හැකි ආකාරයට නිමවා තිබේ.

මේ මෑතකදී වාර්තා වූ එවැනි සිද්ධීන් අතර ආසන්නතම සිදුවීම්ය. වෛද්‍යවරුන්ගේ අනුමැතියකින් තොරව, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන්ගේ "සික්‌" මත සමනය කරන්නට දෙන ඖෂධයක්‌ දිගින් දිගටම ෆාමසිවලින් මිලදී ගැනීමේ ප්‍රවණතාවක්‌ ද කලකට ඉහතදී තිබිණි.


(තවමත් එය සම්පූර්ණයෙන්ම නැවතී නැති බවක්‌ වාර්තා වේ.) යම් යම් ප්‍රදේශවල ෆාමසි ගණනාවක්‌ මේ සද්කාර්යයට දායකව සිටි බව ඔවුන් වැටලීමෙහි නිරතව සිටි වගකිවයුතු නිලධාරීන් මාධ්‍යයට තොරතුරු වාර්තා කර තිබිණි.

අපට තේරෙන හැටියට ගුලි, කල්ක, මදන මෝදක, අබිං, ගංජා, සික්‌ පෙති, පැණි බීම එතැනින් තව ටිකක්‌ එහාට ගොස්‌ එල්. එස්‌. ඩී. හශීෂ්, මරිජුවානා, හෙරොයින් බෙදා හරිමින් සිටින මේ මුදලාලි පරම්පරාව තරුණ "හද ගැස්‌ම" හොඳින්ම තේරුම් ගෙන සිටින බව ය.

තරුණ හද ගැස්‌ම කම්පනය කරන්නට තරම් විකෘති සමාජ වටපිටාවක්‌ රටෙහි හෙමින් හෙමින් මෝදු වන වගක්‌ පෙනෙන්නට තිබේ. සමහර බිස්‌නස්‌ කඩා වැටී නන්නත්තාරව සිටින වැලේ වැල් නැති අමන මුදලාලිවරු පිරිසක්‌ කතා කරන්නේ ඒ තරුණ පිරිසට ය. 


ගංජා හේන් අඩුවන විට (වටලන විට) කේරළ ගංජා ද, හෙරොයින් අඩුවන විට වෙන වෙනත් ආදේශක ද කරළියට පැමිණෙන්නේ එහෙයිනි. බීර බෝතලයකින්, අරක්‌කු වඩියකින් සප්පායම් වී කික්‌ එක අඩු වන විට තව තවත් දේවල් හොයාගෙන යන තරුණ පිරිසගේ උදව්වට පැමිණෙන්නේ මුලින් කී මුදලාලි පිරිස ය.

ඇත්ත.... අප පිළිගන්නා එක්‌ දෙයක්‌ තිබේ. ඒ කසිප්පු තිප්පළවල් වටලන තරම් පහසුවෙන් මේ "අලුත් ජාවාරම්" වැටලීම හෝ ඒවාට වැට බැඳීම එතරම් පහසු නැති බව ය. "කසිප්පු තුරන් කරන්නට බැරි රටේ "ආතල් පෙති" කොහේ වටලන්න දැයි" කවුරුන් හෝ ඇසුවොත් ඒ කිසිවෙක්‌ සමග අප අමනාප නොවන්නේ එහෙයිනි.

එහෙත් මේ වන විට තත්ත්වය වඩාත් නරක අතට හැරෙමින් තිබේ. අපි කවුරුත් දන්නා පරිදි මේ අමන මුදලාලියන් බිල්ලට ගන්නේ රටේ තරුණ පරපුර ය.

එසේ කී විට රටේ ළමා පරපුර, තරුණ පරම්පරාවට වගකියන ගරු කටයුතු ආයතන මැදිහත් වී වැඩමුළු සංවිධානය කිරීමට ඉක්‌මන් නොවන්නට යෑයි අපි කියමු. "වරදට යොමුවීමට පෙරම විශෝධනය" කිරීමේ තකතීරු ක්‍රියාදාමයන් මෙවැනි ව්‍යසනයක්‌ ඇතිවීමට මූලික හේතුවක්‌ බව ද සිහිපත් කරමු.

අල්ලා ගත යුත්තේ නිලයෙනි. නිලය අල්ලා ගැනීම පහසු නැත. එහෙත් රටින් පැන ගිය එවුන් ද කුදලා ගෙනැවිත් දඬුවම් කරන්නට හැකි වග කිවයුතු නිලධාරීන් පිරිසක්‌ සිටින රටකට මේ වෙනුවෙන් යමක්‌ කළ හැකි බව අපි විශ්වාස කරමු. 


අවශ්‍ය වන්නේ කඩිනම් පියවර ය. එසේ නැතහොත් ආතල් වැඩි වූ පසු බෙල්ල කැපීමේ සිට සමූහ මිනිස්‌ ඝාතන දක්‌වා දිවෙන මත් සංස්‌කෘතියක සාඩම්බර උරුමකරුවන් වීමට අපට හැකි වනු නො අනුමාන ය.
 
Related Posts with Thumbnails