Ads 468x60px

.

අපි 17 දා කුමක් කරමුද? තීරණය ඔබට බාරයි.


1977 මහ මැතිවරණයෙන් පසු වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී නිදහස් වටපිටාවක හෙට පැවැත්වෙන මහ මැතිවරණය රටට තීරණාත්මකය. මෙවර මහ මැතිවරණයට දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් රැසක් ඉදිරිපත්ව සිටිති. 

ඉන් එජාපය ප්‍රමුඛ යහපාලනයක් සඳහා වූ එක්සත් ජාතික පෙරමුණ, ශ්‍රී ලනිපය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ, ද්‍රවිඩ ජාතික සන්ධානය, ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය හා පෙරටුගාමී සමාජවාදී පක්ෂය කැපී පෙනේ. 

මන්ත්‍රි ධුර 225ක් සඳහා අපේක්ෂකයන් 6151ක් තරග වැද සිටින අතර මේ පිරිස අතරින් 'හොඳ' පුද්ගලයන් තෝරා 'මනාපය' දෙන්නැයි ඡන්ද දායක ජනතාවට කෙරෙන අවවාද ඉල්ලීම් ඉමහත්ය. මින් පෙර පැවැති
කිසිදු මැතිවරණයකදී මෙවැනි ඉල්ලීමක් ඉදිරිපත් වූ බව මතකයේ නම් නැත. 

'හොඳ' දේශපාලනඥයන් පාර්ලිමේන්තුවට තෝරා යවන්නැයි කරන මේ ඉල්ලීමෙන් ගම්‍ය වන්නේ අන් කිසිවක් නොව පසුගිය කාලයේ පාර්ලිමේන්තුවේ 'නරක' දේශපාලනඥයන් බහුලව සිටි බවය. 

ඉකුත් දශක දෙක තුළ අරක්කු, එතනෝල්, මත්කුඩු, කැසිනෝ සූදු, හොරබඩු, දැව, ගණිකා මඩම් ජාවාරම්කාරයන් වැනි සමාජ විරෝධීන් ගෙන් හා ඔවුන්ගේ හෙංචයියන්ගෙන් පාර්ලිමේන්තුව කිලිටි වී ගියේය.

ඇත්තෙන්ම පාර්ලිමේන්තුව මෙතරම් පිරිහුණේ 1977න් පසුවය. 1978 හඳුන්වා දුන් විධායක ජනාධිපති ක්‍රමය නිසා පාර්ලිමේන්තුව හුදු කතා සාප්පුවක් බවට පත්වූ අතර මන්ත්‍රිවරු සිග්නල් කණු බවට පත්වූහ. 


ආර්ථිකය විවෘත කිරීම හරහා නිර්මාණය වූ මජර දේශපාලන සංස්කෘතියට ගැළැපෙන 'කුණු වූ වට්ටක්කා' බඳු වූ මන්ත්‍රිවරුන්ගෙන් පක්ෂ විපක්ෂ අසුන් පිරී ගියේය. මේ ඊනියා ජනතා නියෝජිතයන් 'මහජන සේවය' හැර අන් සියලු දේ කළ වුන් සේ සැලැකිය හැකිය.

අනිද්දා පැවැත්වෙන මහමැතිවරණයේදී කුමන පක්ෂයකට, ස්වාධීන කණ්ඩායමකට ඡන්දය පාවිච්චි කළද කුණු වූ වට්ටක්කා ගෙඩිවලට 'මනාපය' ලබා නොදීමට පරිස්සම් නොවන්නේ නම් 'අලුත් රටක්' හැදීමට හෝ අලුතෙන්ම පටන් ගැනීමට හෝ කිසිවකුට නොහැකි වන බව නම් සහතිකය.

ඇත්තෙන්ම, රට අලුත් කළ යුතුව ඇත. ඒ සඳහා අලුතෙන්ම සිතා පටන් ගත යුතුය. රාජ්‍ය පාලනයට බුද්ධිමත්, දැනුවත්, කැපවූ, අවංක, වඩා නිවැරැදි පිරිසක් අවශ්‍ය වන්නේ ඒ නිසාය. අධ්‍යාපනය හා ආර්ථිකය දිගුකාලීනව සැලැසුම් කර නිෂ්පාදන ආර්ථිකයක් කරා රට රැගෙන යෑමට දැක්මක්, ඒ හා බැඳුණු වැඩපිළිවෙළක් ආණ්ඩු බලය ලබාගන්නා පක්ෂයට හෝ පිරිසට තිබිය යුතුය.

ආණ්ඩු බලය ඉල්ලා සිටින දේශපාලන පක්ෂ එවැනි වැඩපිළිවෙළක් යෝජනා කරනවා වෙනුවට උනන්දු වූයේ 'පොරොන්දු' මලු ඡන්දදායක ජනතාව හමුවේ තැබීමටය. මේ 'පොරොන්දු දේශපාලනය' තුළින් සිදුවන්නේ ණය උගුලක සිරවී සිටින රට තව තවත් ඒ උගුලේ සිරවීම පමණි. 


ඒ නිසා 1948 නිදහසෙන් පසු ගෙවී ගිය දශක පහකට වැඩි කාලයේදී 'දේශපාලනඥයන්' කළ කී දෑ හා 'පාලකයන්' අතින් සිදුවූ දෑ ගැන සිතා බලා කිරා මැන හෙට පැවැත්වෙන මැතිවරණයේදී සිය වටිනා ඡන්දය පාවිච්චි කිරීමට ඡන්දදායක ජනතාව සබුද්ධික විය යුතුය. අතීතකාමය, අතීතය අමතක කිරීම මෙන්ම අතීතයට බැන අඬ ගැසීමෙන් අනාගතයට පලක් නැත. 

එහෙත් වර්තමානයේ සිට අනාගතය දෙස බැලීමේදී අතීතය පිළිබඳ පසුවිපරමක් කිරීමෙන් වැඩක් මිස අවැඩක් සිදු නොවේ. සිංගප්පූරුව ගොඩ නැඟූ ලීක්වාන් යූ අතීතයේදී ආදර්ශයට ගත් රටක් වූ ලංකාව වර්තමානයේ පරමාදර්ශී රටක් ලෙස ලෝකය සලකන්නේ නැත. 

ලෝකයේ 'අසමත්' රාජ්‍ය ලැයිස්තුවේ ඉහළ තැනක සිටින ලංකාව යළි 'සමත්' රාජ්‍යයක් ලෙස ඉහළට ඔසවා තැබීමට හැකි දේශපාලනඥයන් පිරිසක් හෙට පැවැත්වෙන මහ මැතිවරණයෙන් තෝරාපත් කර ගත යුතුය.

නිදහසින් පසු නිසි ලෙස භුක්ති විඳීමට අප අසමත් වූ 'ප්‍රජාතන්ත්‍රවාදය' අනාගතයේදී හෝ රිසි සේ භුක්ති විඳීමට නම් නිවැරැදි දේශපාලන නායකත්වයක් රටට අවශ්‍යය. 


අසල්වාසී ඉන්දියාවට 'නිදහස' ලැබුණු දා 'ශ්‍රී නේරු' කළ ඓතිහාසික කතාවේදී පැවැසූ පරිදි "නිදහසේ ජීවත්විය හැකි නිදහසේ උත්තම මන්දිරය ගොඩනැඟීමේ කාර්යය අප සතුව ඇත්තේය" අනිද්දා සඳුදා පැවැත්වෙන මහ මැතිවරණය ඒ සද්කාර්ය උදෙසා තැබෙන වැදගත් පියවරක් ලෙස සැලැකීම යුක්ති යුක්තය.
 
Related Posts with Thumbnails