Ads 468x60px

.

ඉදිරියේදීත් පරණ තැටියම වාදනය වන්නේ නම්..?


රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරය බාරගෙන අවසන්ය. අද නව රජයේ අමාත්‍ය මණ්‌ඩලය දිවුරුම් දීමට නියමිතව තිබේ. වසර දෙකක කාලයකට හෝ ජාතික ආණ්‌ඩුවක්‌ පිහිටුවීමටද නියමිතය. සියල්ල යහපත් අන්දමින් සිදුවන බවක්‌ පෙනේ.

හෙට දිනයේ සිට නව ආණ්‌ඩුව වැඩ කරන්නට පටන් ගත යුතුය. එය සිතූ තරම් ලෙහෙසි පහසු අභියෝගයක්‌ වන්නේද නැත. හැලහැප්පිලි සහිත දේශපාලන වටපිටාවක්‌ පසුගිය කාලය පුරාවටම දක්‌නට ලැබිණි. ඒ තුළ තවමත් ලෙහා ගත යුතු ගැට රාශියකි. මේ ගැටද සීරුවට ලෙහා ගනිමින්,

එහෙත් වේගවත් ගමනක්‌ ආරම්භ කළ යුතුව ඇත. 

අගමැතිවරයා ඒ සඳහා හොඳ පිටියක්‌ ආරම්භයේදීම සකස්‌ කර ගත්තේ තත්ත්වයේ බැරෑරුම්කම සලකමිනි. සම්මුතිවාදී දේශපාලන සංස්‌කෘතිය කට ඔහු අවතීර්ණ වූයේ එහෙයිනි. දැන් සියලු දෙනාම ඒ වටා පෙළගැසීම නිරායාසයෙන්ම සිදුවන්නකි. ජනපති මෛත්‍රීපාල සිරිසේන ද ඊට අනගි සහයක්‌ ලබාදුන්නේ යහපාලනය යථාර්ථයක්‌ කිරීමටය.

ආරම්භයේදීම අලුත් ආණ්‌ඩුවට ජාත්‍යන්තරය දිනා ගැනීමේ වැඩපිළිවෙළ කට යන්නට සිදු වේ. ජාත්‍යන්තරය තුළ ශ්‍රී ලංකාව ගැන යම් තරමක හෝ අප්‍රසාදයක්‌ වේ නම් එය සමනය කිරීමේ වගකීම අලුත් ආණ්‌ඩුවට පැවරෙන මූලිකම අභියෝගයයි.

"ජාත්‍යන්තරය කොහොමත් රනිල් එක්‌ක හොඳ" යෑයි කීම එතරම් වලංගු ප්‍රකාශයක්‌ නොවේ. රටේ නායකයන් වෙනස්‌ වූ පමණින් විදෙස්‌ අත පෙවීම්වල යම් ලිහිල් භාවයක්‌ ඇතිවේයෑයි අපි විශ්වාස නොකරමු. 


විදේශ ප්‍රතිපත්තියේදී කිසිදු රටක්‌ හොඳම මිතුරන් හෝ නරකම සතුරන් ලෙස වර්ගීකරණය කිරීමක්‌ කළ යුතු නැත. මධ්‍යස්‌ථ විදේශ ප්‍රතිපත්තියක සිට ශ්‍රී ලංකා රජයට වාසිදායක අයුරින් රාජ්‍ය තාන්ත්‍රික කටයුතු මෙහෙයවීම නව රජයේ අභියෝගයයි.

නව අගමැතිවරයා වටිනා ප්‍රකාශයක්‌ කර තිබිණි. ඒ කිසි විටෙකත් රට බෙදන්නට ඉඩ නොදෙන බවය. අගමැතිවරයා, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට ඒ බව ලිතවම දන්වා යෑවූ බවද වාර්තා වේ. 


මෙය අගමැති රනිල් වික්‍රමසිංහ රටේ ජනතාවගේ අභිලාෂයන් කවරේද යන්න අවබෝධ කරගෙන ඇති බවට නිදසුනකි. විදෙස්‌ අතපෙවීම් නපුරු ලෙස රටට ගලා එන්නේ ජාතික ප්‍රශ්නය නිසාම බව නැවත අමුතුවෙන් සිහිපත් කළයුතු නැත.

නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවක්‌ සැකසීම ගැන රටේ ඇත්තේ විශාල උනන්දුවකි. පසුගිය දින සියයේදී ද රටේ ජනතාව ඒ ගැන විශාල වශයෙන් බලාපොරොත්තු තබා තිබිණි. නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවක්‌ ගෙන ආ විට නව ආණ්‌ඩුවේ බොහෝ "පොරොන්දු" ඉටු කිරීමට යම් උත්තේජනයක්‌ ලැබෙන බව කිව යුතුය. සුළු ජාතීන්ට හා සුළු පක්‍ෂවලට හානියක්‌ නොවන ආකාරයෙන් මැතිවරණ ක්‍රමයක්‌ යෝජනා කිරීමට හා සම්මත කිරීමට ආණ්‌ඩුවට දැන් "හයිය" ඇති බව අපි විශ්වාස කරමු. 


එවැනි කාරණා කිසිසේත්ම ඇදගෙන යා යුතු ප්‍රශ්න නොවේ. නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවක්‌ තිබුණත් නැතත් සම්මත කර ගැනීමේ හැකියාව තිබූ තොරතුරු දැනගැනීමේ පනත හා විගණන පනත දැන් සම්මත කර ගැනීමට හැකි මට්‌ටමේ තිබෙන බව අපි සිහිපත් කරමු. 

දින සියයේ වැඩපිළිවෙළේ අන්තිම දින කිහිපය වන විට "අමතක" වූ ගාණට ෂේප්වී ගිය ඒ පනත් මුල් වටයේදීම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කිරීම ජනතාව වෙනුවෙන් කරන "යුතුකමක්‌" ලෙස අපි සලකමු.

අප දන්නා පරිදි තම ඉලක්‌ක සඳහා සැලැස්‌මක්‌ සහිතව ඉදිරියට ගිය අමාත්‍යාංශ ඇත්තේ කිහිපයක්‌ පමණි. රටේ ප්‍රධාන අමාත්‍යාංශවල අමාත්‍යවරුන්ට "වෙන වැඩ" බහුල වූ තරමට අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ පටන් සියලුම නිලධාරීන් අකර්මණ්‍ය වූ බවක්‌ පෙනෙන්නට තිබිණි.

මෙය අවධානයට යොමු විය යුතු කාරණයකි. නිශ්චිත ඉලක්‌ක සඳහා නිශ්චිත කාල වකවානු තීරණය කර ඒ ඒ අමාත්‍යාංශ මෙහෙයවීම නව රජයේ අභියෝගාත්මක වගකීමයි. ජනතාවගේ සේවය සඳහා කැපවන මේ රාජ්‍ය යාන්ත්‍රණය ජාතික ප්‍රතිපත්තියක්‌ ලෙස සලකා ක්‍රියාත්මක කළ යුත්තකි.

පසුගිය දින සියයට පෙර පැවැති රජය මුල්තැන දී තිබූ සංවර්ධන ව්‍යාපෘති රාශියකි. ඒ අතර සාධනීය ව්‍යාපෘති ගණනාවක්‌ තිබිණි. ඒ සියල්ල නොනවත්වා ඉදිරියට ගෙන යැම අභියෝගයක්‌ ලෙස නොව ප්‍රතිපත්තියක්‌ ලෙස සැලකීම වඩාත් ඵලදායී බව අපි කියමු. 


මහාමාර්ග, ගොඩනැඟිලි, මේ ආදී වශයෙන් යම් සංවර්ධනයක්‌ ඇති කරන අතරවාරයේම අධ්‍යාපනය, සෞඛ්‍යය, යටිතල පහසුකම් මේ ආදී වශයෙන් රටේ ජනතාවට ගුණාත්මක වශයෙන් බලපාන බොහෝ දේ සංවර්ධනය කිරීමේ වගකීමද අලුත් ආණ්‌ඩුවට පැවරේ.

කරනවා යෑයි කී බොහෝ දේ තුළ ද ප්‍රතිපත්ති ප්‍රකාශනවල ද මෙයින් බොහෝ දේ අඩංගුව තිබිණි. අප විශ්වාස කරන්නේ මෙවර කරන දේම කිවූ, කිවූ දේම කරන ආණ්‌ඩුවක්‌ හෙට සිට වැඩ ආරම්භ කරන බවය. එසේ නොවී ඉදිරියේදීත් පරණ තැටියම වාදනය වන්නේ නම් තීන්දුව ජනතාව අතේය.
 
Related Posts with Thumbnails