Ads 468x60px

.

පාසල් ශිෂ්‍යයන් දෙදෙනකු මුහුණ දුන් සිද්ධි දෙකක්


පාසල් ශිෂ්‍යයන් දෙදෙනකු මුහුණ දුන් "සිද්ධි" දෙකක් ගැන කතා කිරීමට සිදුවී තිබේ. පළමු වැන්න නම් කොටදෙණියාවේ "දැරිය" ඝාතනයේ සැකකරුවකු ලෙස පොලිසිය විසින් 17 හැවිරිදි පාසල් සිසුවකු අත්අඩංගුවට ගැනීමේ සිද්ධියයි. 

ගම්පහ ප්‍රසිද්ධ පාසලක උසස් පෙළ හදාරමින් සිටි මේ ශිෂ්‍යයා අත් අඩංගුවට ගනු ලැබුවේ ඔහු සතු පරිගණකයේ මියගිය දැරියගේ ඡායාරූප
සහ අසභ්‍ය දර්ශන තිබුණු බවත්, නොමනා මිතුරන් ඇසුරු කර රෑ බෝ වී නිවෙසට පැමිණෙන බව සිසුවාගේ මව පැවැසූ බවත් කොටදෙණියාවේ පොලිසියේ ස්ථානාධිපති අධිකරණයට පවසා තිබිණි.

අධිකරණයට ඉදිරිපත් කළ පාසල් ශිෂ්‍යයා රක්‍ෂිත බන්ධනාගාර ගත කරනු ලැබීය. ශිෂ්‍යයාගේ ඩී. එන්. ඒ. වාර්තාවක් ලබා ගැනීමට කටයුතු යොදා ඇතැයි පොලිසිය ප්‍රකාශ කෙළේය. ඩී. එන්. ඒ. වාර්තාවට අනුව ශිෂ්‍යයා මං ඝාතනයට සම්බන්ධයක් නැතැයි ද ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබිණි. 


එහෙත් ඉකුත් සිකුරාදා අධිකරණයට ඉදිරිපත් කළ ශිෂ්‍යයාට ඇප ලබා දීමට පොලිසිය විරුද්ධ වී තිබුණේ අදාළ ඩී. එන්. ඒ. වාර්තාව නොලැබීම හේතුව ලෙස දක්වමිණි. ඩී. එන්. ඒ. වාර්තා ලබාදෙන "ජින්ටෙක්" ආයතනයට අනුව වැඩ කරන දින හතරකදී අදාළ වාර්තාව ලබා දීමට හැකියාව තිබේ. ඉන් පෙනෙන්නේ ශිෂ්‍යයාගේ ඩී. එන්. ඒ. වාර්තාව ලබා ගැනීම ප්‍රමාද වී ඇති බවය. 

කැපී පෙනෙන කාරණය වන්නේ ඔක්තෝබර් 2 වැනිදා දක්වා ශිෂ්‍යයාට යළි රක්‍ෂිත බන්ධනාගාර ගත වීමට සිදුවූයේ කොටදෙණියාවේ දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තවත් සැකකරුවකු වන "කොණ්ඩයා" සියල්ල පාපෝච්චාරණය කර තිබෙන පසුබිමක වීමය. 

කොණ්ඩයා කොටුවී තවම සතියක් ගත වී නැත. ඔහුගේ ඩී. එන්. ඒ. වාර්තාව ලබා ගැනීමට මේ වන විටත් අදාළ දත්ත ජින්ටෙක් ආයතනයට යවා ඇත. පාසල් ශිෂ්‍යයා අත්අඩංගුවට ගෙන ගතව ඇති කාලය දෙසතියකට වැඩිය. 

එහෙත් ඩී. එන්. ඒ. වාර්තාව තවමත් අතරමඟය. පළමුව අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනාටම අසාධාරණයක් සිදුව ඇති බව කීම සාධාරණය. මෙහිදී 17 හැවිරිදි සැකකරුට වැඩි අවධානයක් යොමු කරන්නේ ඔහු පාසල් ශිෂ්‍යයෙක් වීම නිසාය.

දෙවැනි සිද්ධිය ඊයේ දිනපතා "මව්බිම" වාර්තා කර තිබුණකි. ඒ දිසා විනිසුරුවකුගේ පුත්‍රයකු වන කොළඹ ප්‍රධාන පෙළේ පිරිමි පාසලක උසස් පෙළ හදාරන ශිෂ්‍යයකුට කන පැළෙන්නට පහරදී තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබූ එම පාසලේම අදාළ ශිෂ්‍යයාගේ පන්තියේ සිසුවකුට දිනපතා පොලිසියේ පෙනී සිටීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ගිහාන් පිලපිටිය විසින් නියෝගයක් ලබාදීමය. 


මෙහිදී කැපී පෙනුණු කාරණය වූයේ තමන් පාතාලයට සම්බන්ධ බව කියමින් විත්තිකාර ශිෂ්‍යයා විදුහලේ ශිෂ්‍යයන් බියට පත් කරන බවට පැමිණිල්ලේ නීතිඥයා කළ ප්‍රකාශය මුල්කර ගනිමින් මහෙස්ත්‍රාත්වරයා ශිෂ්‍යයාගෙන් කළ ප්‍රශ්න කිරීමය. "බන්ධනාගාරයේදී තමා කැමැති "දෙමටගොඩ චමින්ද" සමඟ ඉන්නද? නැතිනම් "නේවි රුවන්" සමඟ ඉන්නදැයි" මහෙස්ත්‍රාත්වරයා එහිදී ශිෂ්‍යයාගෙන් අසා ඇත.

මේ සිද්ධි දෙකට සම්බන්ධ පාසල් ශිෂ්‍යයන් අත වරදක් ඇත්ද නැත්ද යන්න අධිකරණය තීරණය කළ යුත්තකි. එහෙත් මවුපියන් සිය දරුවන් අරබයා හැසිරෙන ආකාරයට වැඩිහිටියන් සමස්ත දරු පරපුර විෂයෙහිද කටයුතු කළ යුතුය. විශේෂයෙන් යෞවනයේ ‍ෙදාරකඩ සිටින පාසල් සිසුන් අතින් සිදුවන "වරදක්" දෙස වුවද වැඩිහිටියන් බැලිය යුත්තේ උපේක්‍ෂා සහගතවය. 


කොටදෙණියාව පොලිසිය ප්‍රමුඛ පොලිස් දෙපාර්තමේන්තුවත්, කොළඹ මහෙස්ත්‍රාත් ප්‍රමුඛ අධිකරණයත් එලෙස කටයුතු කර නැතැයි අපි නොකියමු. කවරකුට හෝ සැක සංකාවක් මතුවිය හැකි වුවද අවසන් විනිශ්චයකට කිසිවකු ඉක්මන් විය යුතු නැත.
 
Related Posts with Thumbnails