Ads 468x60px

.

සමස්ත පොලිස්‌ දෙපාර්තමේන්තුවම 'අතවරයට' ලක්‌ කළ සේයාගේ ඝාතකයා...


සේයා ඝාතකයා තිරිසන් සත්ත්වයෙකි. ඒ ගැන තර්ක නැත. ඒ සත්ත්වයා සිදුකළ හානිය සේයාට පමණක්‌ සීමා නොවීය. මේ සත්ත්වයා පොලිස්‌ දෙපාර්තමේන්තුවද 'අතවරයට' ලක්‌ කළේය. 

විශේෂයෙන්ම 'ෆේස්‌ බුක්‌' 'ෂෙයාර් කිරීම' ආදී බටහිරකරණය වූ නූතන සමාජයේ වචන පවා නොදන්නා ගමක අවිහිංසක පොලිසියක්‌ වූ, කොටදෙනියාව පොලිසියේ 'කන්‍යාභාවය' මුළු මහත් රටක්‌ ඉදිරියේ
විනාශ කළේය. මේ අපරාධ සියල්ලට වගකිවයුතු ඒ සත්ත්වයා ගැන සමාජයේ බරපතළ විරෝධයක්‌ මතුවීම අමුත්තක්‌ නොවේ.

පළමුවෙන්ම මේ අපරාධයට අපගේ 'සත්ගුණවත් සමාජය' විසින් සේයාගේ ගෙදර ඇත්තන්ම වැරදිකරුවන් බවට පත්කරනු ලබන්නේය. ඉනික්‌බිති අපගේ 'සත්ගුණවත් පොලිසිය' විසින් පාසල් සිසුවකු සහ පියකු, සැකකරුවන් බවට පත්කරන අතර සත්ගුණවත් සමාජය විසින් ඔවුන්ව වැරදිකරුවන් කිරීම සඳහා ඔන්න මෙන්න කියා තිබියදී ඔවුන්ගේ හොඳ වෙලාවට කොණ්‌ඩයා කරළියට එන්නේය. 


කොණ්‌ඩයා විසින් අපරාධය කරනු ලැබූ ආකාරයද පොලිසිය ඉදිරියේ වමාරන්නේය. අනතුරුව කොණ්‌ඩයාගේ ඩී.එන්.ඒ අණුවක්‌වත් අපරාධය කළ ස්‌ථානයෙන් සොයාගැනීමට නොහැකිවීමත් සමග කොණ්‌ඩයාගේ අයියා කරළියට එන්නේය. 

එවිට කොණ්‌ඩයා අපරාධය සිදුකළ ආකාරය ගැන පොලිසියට කියුවේ එක්‌කෝ ආවේශයකින්ද, නැතහොත් අසිහියකින්ද, එසේත් නැතහොත් පොලිසියේ ප්‍රශ්න කිරීම හමුවේ ඇට නැති දිව පොලිසියට වුවමනා ආකාරයට හැරෙන්නේද යන්න විමසීමට ප්‍රථම කොණ්‌ඩයාගේ අයියා හෙවත් සමන්ගේ ඩී.එන්.ඒ. අණු ගැලපීම මත කොණ්‌ඩයා මාතෘකාවෙන් බැහැරට යන්නේය. 

ඒ අනුව දැන් සමාජය සිටින්නේ 'තක්‌කෙටම' වරදකරු සමන්ය කියන තැනය. එහෙත් ඉකුත් සමයේ සිදුවූ දෑ අනුව මේ අපරාධය සඳහා හෙට අනිද්දාට සමන්ගේ නම වෙනුවට තවත් කෙනෙකුගේ නම කියෑවුණහොත් ඒ ගැන අප පුදුම වන්නේද නැත.

අප කියන්නට යන්නේ සමන් ගැන නොවේ. සමන් නමැත්තා ඒ අපරාධය සිදුවන දිනයේ රැඳී සිටියාය කියන ඔහුගේ සහෝදරිය වෙසෙන කොටදෙනියාවේ අකරන්ගහ ඉංගම්මාරුවට යන පාරේ කැපී ඇති අගල් ගැනය. 


මෙකී අපරාධය සිදුකිරීමට විරෝධයක්‌ ලෙසින් සහ එම පවුල් කිහිපය හුදෙකලා කරනු පිණිස පවුල් 15 ක්‌ පමණ ජීවත්වන එම ඉංගම්මාරුව පෙදෙසට යන්නට තිබූ මාර්ගය හරහා අගල් කැපීම හේතුවෙන් ඒ සියලු පවුල් දැඩි ගමනාගමන දුෂ්කරතාවකට පත්ව ඇති බව ඊයේ 'පුවත් පත්' වාර්තා කරන්නේය.

මේ ඉංගම්මාරුව ජනාවාස වෙන්නේ හෙවත් පවුල් 15 ක්‌ 20 ක්‌ මේ පෙදෙසේ බින්න බහින්නේ 2002 වසරේදීය. එවකට පැවැති රජයේ දේශපාලනඥයකු විසින් මේ පවුල් ගෙනැවිත් දමන්නේ ගමෙන් හුදෙකලා වූ පහත්බිමකටය. 


ඉංගම්මාරුවට එපිටින් ඇත්තේ දිය පහරකි. එයින් එගොඩවීමට මාර්ග නැත. ගමට සම්බන්ධවීමට ඇති එකම මාර්ගය දෙපස ගස්‌කොළන් වලින් ගැවසුණු ඉතාම පටු මාවතකි. කොටින්ම එහි වෑන්රථයක්‌ හා යතුරුපැදියක්‌ මාරුවීමටවත් නොහැක.

සේයාට සාධාරණයක්‌ පතා ඉදිරිපත් වූ ගමේ 'ජාතික වීරයන්' අගල් කපන්නේ මේ මාවතේය. ඉංගම්මාරුවේ දරුවකුට පාසලකට යන්නට බැරි තැනට මග අවහිර කෙරෙන්නේ එසේය.

සමන් නමැත්තා මේ අපරාධයට වැරදිකරුවාම යෑයි සිතමු. (මේ දක්‌වා ඔහු සැකකරුවෙක්‌ පමණක්‌ වන අතර පෙර සඳහන් කළ ආකාරයට මෙම සිද්ධියේදී සැකකරුවන් පෙළගැස්‌වීම අනුව දෙවරක්‌ හිතන මිනිසුන් 'කොටි ආවෝ' මානසිකත්වයකට පත්ව ඇති මොහොතකි මේ. එහෙත් ඒ ගමේ අනෙකුන් එයට කුමක්‌ කරන්නද? ඒ කිසිවෙකුත් මේ අපරාධය සඳහා අනුබල දුන්නේද?

මේ අගල් කැපුවේ අපරාධ සඳහා වන මග අවහිර කරමින් නම් අපි එය අගය කරමු. නමුත් සමස්‌ත ජන කොට්‌ඨාසයක්‌ අසරණ කරමින් මෙවැනි දෑ සිදුකිරීම නම් මිනිසත්කමට නොගැලපෙන්නේය. මෙවැනි ක්‍රියාවන් ගෙන් සිදුවන්නේ අපරාධයට දඬුවම් දීම නොවේ. සමාජයට වෛර කරන පංතියක්‌ බිහිකිරීමය. ඔවුන්ගේ ප්‍රතික්‍රියාව, සේයාට වූ අපරාධයටද වඩා බරපතළ අපරාධ අනාගතයේදී සිදුවීම සඳහා හේතුවිය හැකිය. 


කළ යුත්තේ අපරාධ මානසිකත්වය ඇති තැන් සොයා බලා ඒ තිරිසන් සත්ත්ව ගතිවලින් ඔවුන්ව මුදාගෙන මිනිසුන් බවට පත්කිරීමේ මානසික සත්කාරයක්‌ මිස අපරාධයක නාමයෙන් තවත් අපරාධ මානසිකත්වයන් වැපිරීම නොවේ. ඒ අනුව අපට මෙය පෙනෙන්නේ අපරාධ සඳහා වන මග අවහිර කරමින් කැපූ අගලක්‌ ලෙසින් නොව, තවත් අපරාධ පිණිස තැනූ මාර්ගයක්‌ ලෙසිනි.
 
Related Posts with Thumbnails