Ads 468x60px

.

රස්‌සාව වෛශ්‍යා වෘත්තියේ යොදවන නිලධාරීන්.


ලංකා ගමනාගමන මණ්‌ඩලය විසින් තීරු බදු රහිතව මෙරටට ආනයනය කරන ලද වාහන අමතර කොටස්‌ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රේගුව විසින් ක්‍රියාත්මක කරන පරීක්‍ෂණ කටයුතු නතර කිරීමටත්, බදු මුදල් නොගෙවා සිටීමටත් කටයුතු කරදීමට රුපියල් මිලියන 150 ක අල්ලසක්‌ ඉල්ලා සිටි රේගු නිලධාරීන් තිදෙනකු පසුගිය දිනවල අත්අඩංගුවට ගෙන තිබිණි. 

ඒ එම මුදලින් රුපියල් මිලියන 125 ක (කෝටි 12.5 ක) මුදලක්‌ අල්ලස්‌ වශයෙන් ලබා ගත් අවස්‌ථාවේය. දැන් එම නිලධාරීන් සිටින්නේ රිමාන්ඩ් භාරයේ ය. මෙය මාධ්‍යයටත්, රටටත් විශේෂ ප්‍රවෘත්තියක්‌ වී තිබිණි. 

මෙතෙක්‌ රටේ අවධානය වැඩි වශයෙන් යොමු වී තිබුණේ රේගුව මගින් කරන පරීක්‍ෂණ, වැටලීම් හා අත්අඩංගුවට ගැනීම් ගැන ය. එහිදී හසුවන
මහා පරිමාන ජාවාරම්කරුවන්, නීති විරෝධී ලෙස විවිධ දේ ආනයනය කරන, අපනයනය කරන විවිධ ව්‍යාපාරිකයන් ගැන මාධ්‍යයට ඕනෑ තරම් ප්‍රවෘත්ති ගලා ආවේය.

දැන් කොටු වී සිටින්නේ ඒ ආකාරයේ වැටලීම් කරන ලද මහත්වරුන් ම වීම විශේෂත්වයකි. මේ වැටලීම සිදු කර තිබුණේ අල්ලස්‌ කොමිසමේ නිලධාරීන් විසිනි. පසුගිය දිනවල අල්ලස්‌ කොමිසම සම්බන්ධයෙන් ඇති වී තිබුණු විවිධ කතා බහ අකා මකා දමා කොමිසමට 'ක්‍රෙඩිට්‌' ලැබීමට තරම් මේ සිදුවීම හේතු වී තිබිණි. තවමත් මෙහි විමර්ශන කටයුතු සිදුවන බැවින් පූර්ව විනිශ්චයන් ලබාදීමට අපි කටයුතු නොකරමු.

එහෙත් මේ සිදුවීම මගින් හෙළිවන අතුරු කාරණා කෙරෙහි අපේ මූලික අවධානය යොමු කළ යුතුය. රේගුවේ පමණක්‌ නොව, ආගමන, විගමන දෙපාර්තමේන්තුව, වරාය, ගුවන් තොටුපළ, විදේශ සේවා නියුක්‌ති කාර්යාංශය, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මේ ආදී වශයෙන් තවත් බොහෝ ආයතනවල මෙවැනි අකටයුතුකම් සිදුවන බව විටින් විට තොරතුරු ලැබේ. 


මේ සෑම ආයතනයකම ' 'හොඳම වර්ගයේ' සිය රාජකාරිය දේවකාරිය බවට පත්කරගන්නා නිලධාරීහු සිටිති. එමෙන්ම රස්‌සාව වෛශ්‍යා වෘත්තියේ යොදවන නිලධාරීහු අතළොස්‌සක්‌ද සිටිති.

බොහෝ ආයතනවල හොඳ නම අන්තිමටම කතා වන්නේ ඒ නිලධාරීන් නිසාය. මෙවන් බොහෝ ආයතනවලට සේවාවන් සලසා ගැනීමට යන වැඩි දෙනෙක්‌ 'ජරාවක්‌ දුන්නනම් වැඩේ හරි' නොකියන්නේ නම් ඒ කලාතුරකිනි. 


රජයට අයවිය යුතු බදු මුදල් නොගෙවා සිටීමට මෙන්ම නීති විරෝධී කටයුතු සඳහාත් 'ජරාව' ලබාදීමට කටයුතු කරනවා සේම, සිය කාරිය ඉක්‌මනින් කරවා ගැනීමටත් 'ජරාව' ලබාදීමට බොහෝ දෙනෙක්‌ කටයුතු කරන්නේ,කාරණය එපමණකටම 'රෙජිස්‌ටර්' වී ඇති නිසා බව අමුතුවෙන් කිව යුතු නැත.

සන්තෝෂම, අල්ලස බවටත්, 'අල්ලස්‌ ජරාව බවටත් පත්වන්නේ එය එතරම්ම කුණු වැඩක්‌ නිසාය. එහෙත් බොහෝ නිලධාරීන් රස කරමින් ජරාව කෑවද, තමන්ගේ දැත් අපිරිසිදුවීම ගැන නොසලකා ජරාව දීමටද බොහෝ පිරිසක්‌ පෙළ ගැසී සිටිති.

තම ආයතනයේ පමණක්‌ නොව රටේද නම කැත කරන්නේ මේ කෂඩ නිලධාරීන්ය. ජරාව දීමට සූදානමින් සිටින අපතයන්ය. රට වංචාවෙන්, දූෂණයෙන් පිරි නරකාදියක්‌ බවට පත් කරන්නේද මේ පිරිසය. 


බොහෝ විට විවිධ රාජ්‍ය ආයතනවලින් වැඩක්‌ කර ගැනීමට ගිය විට ඊට මැදිහත් වන පහළම නිලධාරියා අල්ලසක්‌ ලබාගනිමින් කියන්නේ 'ලොක්‌කාටත් මේකෙන් ගානක්‌ යනවා' යනුවෙනි. මෙය සමාජයේ සුලබව කතාබහට ලක්‌වන්නකි. ඉන් ගම්‍ය වන්නේ ජරාව ගැනීම බොහෝ ආයතනවල ඉහළ සිට පහළ නිලධාරියා දක්‌වාම විහිද පැතිර යන්නක්‌ බවය.

වංචාවට, දූෂණයට, හොරකමට නම් දරාපු පිරිස දේශපාලනඥයන් නොවේ. රටේ බොහෝ ආයතනවලට මේ කුණු රසය කාන්දු වී අවසන්ය. යම් රාජ්‍ය ආයතනයක එවැන්නක්‌ සිදු වූ විට දේශපාලනඥයන් වරද පටවන්නේ නිලධාරීන්ටය. නිලධාරීන් කියන්නේ වරද කර ඇත්තේ දේශපාලනඥයන් බවය. එහෙත් මේ සිදුවීම දෙස බලන විට 'කාගෙ කාගේත් කිල්ලෝටවල හුණු ඩිංග ඩිංග' ඇති බව පෙනේ.

දැන් කළ යුත්තේ මේ රේගු සිදුවීමට පමණක්‌ කතාව ලඝූ නොකොට මෙවැනි අක්‍රමිකතා සිදුවෙතැයි සැලකෙන සියලු ආයතන 'පිරිසිදු' කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමය. එය දූෂණයට, වංචාවට එරෙහි යෑයි ප්‍රතිපත්ති ප්‍රකාශන හදන කොයි ආණ්‌ඩුවක වුවද පැවැත්මට හොඳය.
 
Related Posts with Thumbnails