Ads 468x60px

.

කොණ්ඩයාගේ අයියා සමන් දුන් ප්‍රකාශය තවම රහසක්...!


ඊයේ දින මිනුවන්ගොඩ අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූ සේයා සෙඳව්මි ඝාතනය සම්බන්ධ අලූත්ම සැකකරුවූ කොණ්ඩයාගේ අයියා හෙවත් සමන් ජයලත් එම ඝාතනය සම්බන්ධයෙන් පැය දෙකක පමණ කාලයක් මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේ නිල කාමරය තුළ ප්‍රකාශයක් ලබාදී ඇත.
 
ඔහු කියූ කරුණු මහේස්ත්‍රාත්වරයා පමණක් දන්නා අතර එය කියා තිබුනේ සමන් කළ විශේෂ ඉල්ලීමක් මතයි. ප්‍රකාශය ලබා දීමෙන් පසුව සමන් ජයලත් එළැඹෙන 19 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මිනුවන්ගොඩ මහේස්ත්‍රාත්වරයා දන්වා ඇත.

කොණ්ඩයාගේ සොහොයුරා සමන් 36 හැවිරිදි වියේ පසුවෙයි. ඔහු මුලින් විවාහ වී සිටි කාන්තාව මේ වන විට විදේශගත වී ඇති බවත් ඉන්පසු විවාහ වූ කාන්තාව ද මොහු අතහැර වෙනම ජීවත්වන බවත් හෙළි වී තිබේ.

දෙවැනි විවාහයේ දියණියක් මේ වන විට විවාහ වී ඇති බවත් බාල දරුවා බිරිඳ සමඟ වෙනම ජීවත්වන බවත් පොලිසිය හෙළිකරගෙන ඇත. අත් අඩංගුවට ගන්නා විට මොහු ලිහිනියාගම ගඩොල් පෝරණුවක වැඩ

කරමින් සිට ඇති බව ද හෙළි වී ඇත.

විවාහයන් අසාර්ථකවීම හා එම පීඩනය හමුවේ සමන්ද අනියම් කාන්තාවන් ඇසුරට මෙන්ම විකෘති ලිංගික ක්‍රියාවන්ට දැඩි ඇල්මක් දක්වන පුද්ගලයකු බව හෙළි වී තිබේ. විවිධ අපරාධ සම්බන්ධයෙන් මොහුද වසර හයකට ආසන්න කාලයක් බන්ධනාගාරගතව සිටි අයෙකි.

කොණ්ඩයා සමග සමන් හවුලේ මේ වැඩේ කරාද? නැතිනම් සමන් තනිව මේ වැඩේ කර කොණ්ඩයාව හසු කළාද යන උභතෝකෝටිකය තවම පොලිසිය විසඳා නැත. ඔහු පාපොච්චාරණයක් කර වරද පිළිගෙන ඇති බවට ඇතැම් මාධ්‍ය ගෙනයන ප්‍රචාරය තවම තහවුරුවී නැත.


මුලින් කොණ්ඩයා මෙම ඝාතන සිදු කළ බව පාපොච්චාරණය කළ බවට පොලිසිය ප්‍රකාශ කර ඇත්තේ ඒ දිනවල සොයුරු සමන්ගේ ප්‍රකාශ පදනම් කරගෙන වීමද විසුළු සහගත තත්වයකි.


සමන් ජයලත් මේ ඝාතනයට සම්බන්ධවූ ආකාරය තවම රහසක් වශයෙන් පවතින අතර පොලිසිය ඔහුගේ ඩීඑන්ඒ වාර්තා ලබාගෙන ඉදිරියේදී ඒවා සැසඳීම මගින් ඝාතනයට ඔහු හසුකරගන්නට වෑයම් කරමින් සිටී.


සේයාගේ නියම ඝාතකයා කොණ්‌ඩයාගේ අයියා සමන් මල්ලි කළැයි පොලිසියට බොරු කියලා

කොටදෙණියාවේ සේයා සදෙව්මි දැරිය කෲර අන්දමින් ඝාතනය කරනු ලැබුවේ කොණ්‌ඩයාගේ වැඩිමහල් සොහොයුරා වන සමන් ජයලත් නමැත්තා විසින් යෑයි හෙළිකරගත් බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්ත මේන්තුව මිනුවන්ගොඩ අධිකරණයට ඊයේ (05 වැනිදා) දැනුම් දුන්නේය.

සේයා ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර සිටි දුනේෂ් ප්‍රියශාන්ත නොහොත් කොණ්‌ඩයා සහ ඔහුගේ සොහොයුරු වන සමන් ජයලත් යන අය ලබන 19 වැනිදා දක්‌වා රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙස මිනුවන්ගොඩ මහෙස්‌ත්‍රාත් ඩී. ඒ. රුවන් පතිරණ මහතා ඊයේ නියෝග කළේය.

සමන් ජයලත් නමැති සැකකරු විසින් සේයා දැරිය දූෂණය කර මරා දමා එය තම සොහොයුරා විසින් කළ බවට පොලිසියට ව්‍යාජ තොරතුරු ලබා දී ඔහු බේරී යැමට උත්සාහ කළ බව හෙළි වූයේ යෑයි අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.

මෙම ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් සමන් ජයලත් විසින් මිනුවන්ගොඩ මහෙස්‌ත්‍රාත් රුවන් පතිරණ මහතාගේ නිල මැදිරියේදී පැය දෙකකට ආසන්න කාලයක්‌ තිස්‌සේ පාපොච්චාරණයක්‌ ලබා දී තිබිණි.

සැකකරු රක්‍ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවේ මෙම පාපොච්චාරණය ලබාගැනීමෙන් පසුවය.

මේ අතර සේයා ඝාතනයේ සැකකරු බව කියන සමන් ජයලත් නමැත්තා කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරියා වෙත ඉදිරිපත් කර ලබාගන්නා ලද වාර්තාව වහාම මිනුවන්ගොඩ අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස මහෙස්‌ත්‍රාත්වරයා නොතීසි නිකුත් කළේය.

සමන් ජයලත් නමැත්තා වෘත්තියෙන් කම්කරුවෙකි. 36 හැවිරිදි මොහු කොටදෙණියාව ප්‍රදේශයේ ඔහුගේ සොහොයුරියට අයත් නිවසේ කොණ්‌ඩයා නමැති සොහොයුරා ද සමඟ තාවකාලිකව පදිංචිව සිටියේය.

සේයා සදෙව්මි දැරිය ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මුලින්ම අත්අඩංගුවට ගෙන ඇත්තේ සමන් ජයලත් නමැති සැකකරුය.

එහිදී කළ ප්‍රශ්න කිරීම්වලදී සමන් ජයලත් කියා සිටියේ සේයා දැරිය දූෂණය කර මරා දැමුවේ තම සොහොයුරා වන දුනේෂ් ප්‍රියශාන්ත නොහොත් කොණ්‌ඩයා විසින් බවයි.

ඒ අනුව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව දැඩි වෙහෙසක්‌ දරා දුනේෂ් ප්‍රියශාන්ත නොහොත් කොණ්‌ඩයා අත්අඩංගුවට ගත්තේය.

මේ සම්බන්ධයෙන් කොණ්‌ඩයාගෙන් පොලිසිය දීර්ඝ ලෙස ප්‍රශ්න කළ අතර ඔහු ඩී. එන්. ඒ. පරීක්‍ෂණයක්‌ සඳහා ද ඉදිරිපත් කළේය.

සේයා ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් සමන් ජයලත් කරන ලද ප්‍රකාශ සහ හෙළිදරව් කිරීම්වල යම් යම් පරස්‌පරතාවන් තිබෙනු දුටු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් ඔහුගෙන් නැවතත් දීර්ඝ ලෙස ප්‍රශ්න කර ඇත. එහිදී තමන් සිදුකළ බරපතළ වරද පිළිගෙන ඇති සමන් ජයලත් සේයා දැරිය දූෂණය කර මරා දැමුවේ තමන් විසින් බව හෙළි කර තිබේ.

ඒ අනුව සමන් ජයලත්ගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මීට ඉහතදී පැය 72 ක රැඳවුම් නියෝගයක්‌ ද ලබා ගත්තේය. ඊයේ පෙරවරුවේ සැකකාර සමන් ජයලත් දැඩි ආරක්‍ෂාවක්‌ යටතේ මිනුවන්ගොඩ අධිකරණය වෙත ඉදිරිපත් කරන ලදී.

ඒ වන විට බන්ධනාගාරගතව සිටි දුනේෂ් ප්‍රියශාන්ත නොහොත් කොණ්‌ඩයා නමැති සැකකරු ද මිනුවන්ගොඩ අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබුවේ බන්ධනාගාර නිලධාරීන්ගේ දැඩි රැකවරණය මතය.

සමන් ජයලත් නමැති සැකකරු ද ඩී. එන්. ඒ. පරීක්‍ෂණයක්‌ සඳහා යොමු කරන ලෙස මිනුවන්ගොඩ මහෙස්‌ත්‍රාත්වරයා ඊයේ නියෝග කළේය. සේයා දැරියගේ මව සහ පියා ද මිනුවන්ගොඩ අධිකරණය හමුවේ ඊයේ පෙනී සිටියහ.

බන්ධනාගාරගත කරනු ලැබූ සමන් ජයලත් සහ ඔහුගේ සොහොයුරා වන දුනේෂ් ප්‍රියශාන්ත නොහොත් කොණ්‌ඩයා බන්ධනාගාර නිලධාරීන්ගේ දැඩි රැකවරණය මත රැගෙන ගොස්‌ තිබේ.
 
Related Posts with Thumbnails