Ads 468x60px

.

නියෝජිතයකු පත් කර හරින්නේ තමන්ගේම මුදලින් පිස්‌සු කෙළින්නටම නොවන බව


රටේ ජනතාවට ප්‍රශ්න නැති තරම් ය. තිබෙන තරමක්‌ ප්‍රශ්න තිබෙන්නේ දේශපාලනඥයන්ට ය. දැන් රට යන අත බලන විට අපට හිතෙන්නේ එහෙමය. අලුත් ආණ්‌ඩුව පත් වූ දා පටන් දේශපාලනඥයන්ට තනතුරු, වරප්‍රසාද, නිල රථ පිළිබඳව ප්‍රශ්න කප්පරකට තිබිණි. 

ඇමැතිවරුන්ට නිල නිවාස පිළිබඳව ද, 'සුපිරි කාර්යාල ගොඩනැඟිලි' පිළිබඳව ද ප්‍රශ්න තිබිණි. සමහර ගොඩනැඟිලි කාර්යාල සඳහා මිලදී
ගැනීමට නොව 'අලුත්වැඩියා' කිරීම සඳහා කෝටි ගණනින් වියපැහැදම් කළ බව පසුගිය දිනවල ඕනෑ තරම් වාර්තා වී තිබුණු බව කිව යුතුය. 

බොහෝ දේශපාලනඥයන් කටයුතු කරන්නේ ඇලඩින්ගේ පුදුම පහන හිමිව ඇති ආකාරයටය. 'විධායක බලය' ලැබුණු පසු ගැහැනියක්‌ පිරිමියකු කිරීම හෝ පිරිමියකු ගැහැනියක කිරීම හැර අනෙක්‌ ඕනෑම දෙයක්‌ කළ හැකි බව දිවංගත ජනාධිපති ඡේ. ආර්. ජයවර්ධන මහතා කීවේ නිකම්ම නොවේ. 

අපට හිතෙන්නේ අද වන විට විධායක බලය නොව නිකම්ම නිකම් නාගරික මන්ත්‍රීවරයකු වූ විට ගැහැනියකු පිරිමියකු කරන්නට ද දේශපාලනඥයාට හැකි බව ය.

වර්තමානය වන විට පළාත් සභා මන්ත්‍රීවරු කටයුතු කරන්නේ මේ අරුම පුදුම ඇලඩින්ගේ පුදුම පහන ලැබුණු ගානටමය. දකුණු පළාත් සභාවේ ජවිපෙ මන්ත්‍රීවරු හැර ආණ්‌ඩු පක්‍ෂයෙත්, විපක්‍ෂයෙත් සියලු මන්ත්‍රීවරු පළාත් සභාවේ මුදල් රුපියල් කෝටි හයහමාරක්‌ වැය කර විදෙස්‌ සංචාරයකට යැමට ලක ලෑස්‌ති වන බව පසුගිය දිනවල වාර්තා වී තිබිණි. 


මන්ත්‍රීවරු සමඟ ලේකම්වරු අට දෙනකු සහ නිලධාරීන් හයදෙනකු එම සවාරියට එක්‌වීමට 'වාසනාව' හිමිකර ගෙන ඇත. මෙම 'සවාරි වාසනා' හිමි පළමු කණ්‌ඩායම එළැඹෙන අඟහරුවාදා පිටත්ව යැමට නියමිතව තිබේ. දින 12 ක්‌ ගත වන මේ සවාරියේ එක්‌ මන්ත්‍රීවරයකු සඳහා රුපියල් නවලක්‍ෂ අනූඅටදහස්‌ හයසිය හතළිහක මුදලක්‌ වැය කෙරේ. 

සවාරිය සඳහා පළමු කණ්‌ඩායමට නිවාඩු ද අනුමත කර තිබේ. මේ සඳහා සහභාගි නොවන ජවිපෙ කණ්‌ඩායම පවසන්නේ මහජන කටයුතු සඳහා වැය කිරීමට ඇති මුදල් යොදා ගනිමින් මෙවැනි චාරිකා සංවිධානය කිරීම තම කණ්‌ඩායම ප්‍රතික්‍ෂේප කරන බව ය. 

මේ පිරිස පිටත්ව යැමට නියමිතව ඇත්තේ අධ්‍යයන චාරිකාවක්‌ සඳහා බව කියෑවෙතත් එය කවර ආකාරයේ 'අධ්‍යයනයක්‌' ද යන්න පැහැදිලි නැත.

කොහොමත් රටේ දේශපාලනඥයන්ගේ සවාරි බොහොමයකින් රටට අත් වූ සෙතක්‌ නම් නැති බව ඉඳුරාම කිව යුතුය. අප මේ කතා කරන්නේ එක්‌ එක්‌ දේශපාලනඥයන්ගේ පෞද්ගලික සංචාරයන් ගැන නොවේ. 


මහජන මුදල් වැය කරමින් කරන රට සවාරි ගැන ය. ජවිපෙ හෝ මේ ගැන ප්‍රශ්න කරන කවරෙකු වුවද එසේ කරන්නේ ඊර්ෂ්‍යාවට ද නොවේ.

පළාත් සභා මන්ත්‍රීවරුන් නොව ලේකම්වරු නොව කාර්යාල කාර්ය සහායක, කම්කරු ආදී වශයෙන් පවුලේ උදවිය වුව මසකට වරක්‌ බැගින් රට ගියාට අපට ඇති ප්‍රශ්නයක්‌ නැත. ගැටලුව වන්නේ නිවී සැනසිල්ලේ රට සවාරි යන්නට තරම් ගමේ ප්‍රශ්න අහවර වී ද යන්නය. 


දකුණු පළාතේ පාරවල් සියල්ල පිළිසකර කර (නව මං මාවත් තනා අවසන් නම්) පාලම් බෝක්‌කු තනා අවසන් දැයි කවුරුන් හෝ මේ මන්ත්‍රීවරුන්ගෙන් ඇසුවහොත් ඊට කෙළින් උත්තරයක්‌ දීමට ඔවුන්ට හැකියාව තිබේ දැයි අපි විමසා සිටිමු. 

දකුණු පළාත තුළ ධීවර කර්මාන්තය සම්බන්ධයෙන් ගැටලු රාශියක්‌ පැන නැඟී තිබේ. ඒවා මුදල් වැය නොවන ගැටලුද? නො එසේ නම් සියලු ධීවර ප්‍රශ්න අවසන් ද? මෙවැනි ප්‍රශ්න ගණනාවක්‌ අපට අසන්නට තිබේ.

පසුගිය දිනවල පළාත් සභාවට අවශ්‍ය මුදල් රේ‚ය අමාත්‍යාංශය හරහා ලබා ගැනීමට අය වැය මගින් යෝජනා කර තිබිණි. පළාත් මහ ඇමැති වරු ඊට එකහෙළාම විරෝධය දැක්‌වූ බව අපට මතකය. 


අප විශ්වාස කරන්නේ මෙවැනි කතා ඇසෙන විට ඒ අය වැය යෝජනාව අතිශය ප්‍රායෝගික බවය. මෙය අධ්‍යයන චාරිකාවක්‌ බව කියති. එසේ නම් කළ යුතුව තිබුණේ ධීවර, අධ්‍යාපනික, සෞඛ්‍ය, කෘෂිකාර්මික මේ ආදී වශයෙන් අදාළ විෂයයන් වලට අදාළ මන්ත්‍රීවරුන් තෝරා වසරකට වරක්‌ දෙවරක්‌ බැගින් විදේශගත කිරීමය. 

එයින් වියදම අඩු කිරීම මෙන්ම එදිනෙදා මහජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් ලබාදීමේ අඩුපාඩුවක්‌ හෝ සිදු නොවන්නට තිබිණි.

පළාත් සභා යනු මුදල් පිළිබඳ අර්බුද ඇති ආයතනයි. විවිධ ව්‍යාපෘති සඳහා මුදල් ප්‍රතිපාදන වෙන් කිරීමේදී එය නිවැරැදි සහ විධිමත් ආකාරයට සිදු කළ යුතුය. මෙවැනි තකතීරු වැඩවලින් සිදුවන්නේ ජනතා අවශ්‍යතා වෙනුවෙන් මුදල් වෙන්කිරීමේදී සංකීර්ණ ගැටලු මතුවීමය. 


ජනතාව පළාත් සභාවලට තමන්ගේ නියෝජිතයකු පත් කර හරින්නේ තමන්ගේම මුදලින් පිස්‌සු කෙළින්නටම නොවන බව අපි අවධාරණය කරමු.
 
Related Posts with Thumbnails