Ads 468x60px

.

'නොදන්වාම' විදුලිය කැපීම රටට මාරාන්තික බලපෑමක්‌ ඇති කරන බව...


රටේ ජනතාව මෑත කාලයේ බොහෝ බලාපොරොත්තු තබාගෙන සිටි ප්‍රවෘත්තිය පසුගියදා වාර්තා වී තිබිණි. ඒ 'නොදන්වාම' විදුලිය කපන්නට සිදුවන බව ය. ටික වේලාවක්‌ නොව පැය හතහමාර (7 1/2) කි. 

ඒ අනුව පැය 5 1/2 ක්‌ උදේ වරුවේද, පැය 2 ක්‌ සවස්‌ වරුවේ ද විදුලිය මේ වන විට කපා හරිමින් තිබේ. මාස හයක්‌ තුළ විදුලිය බිඳවැටීම් තුනකි. ප්‍රශ්නය බරපතළ බව කියන්නට තවත් උදාහරණ අවශ්‍ය නැත. මේ වන
විට විදුලිය බිඳවැටීම ගැන සාධාරණ හේතුව කවරක්‌ ද යන්න තොරතුරු අනාවරණය වී තිබිය යුතුය. එහෙත් තවමත් එවැන්නක්‌ සිදු වී නැත. 

මීට පෙර සිදු වූ විදුලි බිඳවැටීම්වලදී ඒ ගැන සොයන්නට පත්කළ කමිටු තුනක වාර්තා ද තවමත් එළිදක්‌වා නැති බව අපි මීට පෙර සඳහන් කළෙමු. දැන් මේ ගැන හේතු කිහිපයක්‌ දක්‌වන්නට විවිධ පාර්ශ්ව ඉදිරිපත් වී සිටිති. විදුලිබල නියෝජ්‍ය ඇමැතිවරයාට අනුව මෙය කඩාකප්පල්කාරී ක්‍රියාවක්‌ දැයි (හදවතින්ම) සැකයක්‌ මතු වේ. 

එසේත් නැතිනම් මෙය 'අද්භූත' හේතුවක්‌ නිසා සිදුවන්නකි. බියගම ට්‍රාන්සෆෝමරයක්‌ පුපුරා ගිය බවක්‌ තවත් විටෙක වාර්තා වේ. ට්‍රාන්ස ෆෝමර පිපිරී විදුලිය නැති වීමත්, ඒ නිසාම දිනකට පැය හතහමාර බැගින් විදුලිය කැපීමත් හත්මුතු පරම්පරාවක්‌ ම අසා නැතුවාට සැක නැත. 

මේ කියන ට්‍රාන්සෆෝමර පාර තොටේ දකින කුඩා පරිමාණයේ ට්‍රාන්සෆෝමර නොවේ. අධික වෝල්ටීයතාවක්‌ සහිතව විදුලිය සම්ප්‍රේෂණය කරන විදුලි උපපොළවල පිහිටි ට්‍රාන්සෆෝමරය. එවැනි ට්‍රාන්සෆෝමරයක්‌ පුපුරා යැම අහඹු සිද්ධියක්‌ නොවේ. 

එක්‌කෝ මේ කියන ට්‍රාන්සෆෝමර් හද්දා පරණ ඒවා විය යුතුය. නැතිනම් අබලන් තත්ත්වයේ තිබෙන අලුත්වැඩියාවක්‌ සඳහා කිසිවෙකුත් යොමු නොවූ ඒවා විය යුතුය. අපට පෙනෙන හැටියට මේ ගැන වගකිවයුතු අය කවුරුන් හෝ වේවා ට්‍රාන්සෆෝමර නඩත්තුව ගැන සැලකිල්ලක්‌ දක්‌වා නැත.

දැනට වාර්තා වන පරිදි ආසන්නතම හේතුව අප සැක කරන කාරණයට අදාළය. ඒ අනුව පරීක්‍ෂණවලින් හෙළි වී ඇත්තේ ප්‍රධාන ට්‍රාන්සෆෝමර දෙකකින් කළ යුතු ක්‍රියාකාරීත්වය එදින නිසි ඉංජිනේරු පරීක්‍ෂාවකින් තොරව එක්‌ ට්‍රාන්සෆෝමරයකින් සිදු කර තිබේ. 


ඒ අනුව වරද ඉංජිනේරුවන්ගේ ය. මෙය පසුගිය ඉරිදා (13 වැනිදා) විදුලිබලය ඇනහිටීමට හේතුවයි. දැන් අපට අසන්නට සිදුවන්නේ ඊට පෙර දෙවතාවකදී සිදු වූයේ කුමක්‌ද යන්නයි. 

බොහෝ දෙනෙකුට (දේශපාලනඥයන් හා නිලධාරින් සමහරකට) මෙය 'දේශපාලන ප්‍රශ්නයක්‌' බවට පත් කර ගැනීමේ තදබල වුවමනාවක්‌ තිබෙන බව ව්‍යංගයෙන් කරන සමහර ප්‍රකාශවලින් පැහැදිලි වන කාරණයකි. 

පිළිගත්තේ නැති වුවද විදුලිබල සභාපතිවරයාගේ ඉල්ලා අස්‌වීම ප්‍රශංසනීය කටයුත්තක්‌ බවට පත්වන්නේ එවැනි අඳබාලයන්ගේ ක්‍රියාකලාපය ඉදිරියේය. ඇත්තෙන්ම මණ්‌ඩලයේ යම් අවුලක්‌ ඇති බව විදුලිබල මණ්‌ඩලයේ සභාපතිවරයා හෝ තේරුම් ගැනීම වාසනාවට කාරණයකි.

දැන් මේ 'නිශ්චිත නොවන' හේතුවකට වන්දි ගෙවීමට සිදුව ඇත්තේ රටේ ජනතාවටය. විදුලිය බිඳවැටුණාට ජනතාව පළි නැති බවත්, විදුලිය කප්පාදුවකට සූදානම් නොවිය යුතු බවත්, අගමැතිවරයා කියන විට විදුලිය බාර ඇමැතිවරයාත් නියෝජ්‍ය ඇමතිවරයාත් රට කලාප හතරකට බෙදා විදුලිය කප්පාදු කරති. තත්ත්වය පාලනය කරන තුරු විදුලිය අරපිරිමැස්‌මෙන් භාවිත කළ යුතු යෑයි එම දෙපළ පවසා සිටිති.

මේ විහිළු අපට අසන්නට සිදුව ඇත්තේ රට 'මෙගා පොලිස්‌' කිරීමට සූදානමින් සිටියදීය. කවර සැලසුමකට වුව ඉලක්‌කයක්‌ නැති බවට හොඳම උදාහරණය එයයි. රටේ ඉදිරි විදුලි පරිභෝජනය ඉහළ යැම වැළැක්‌විය නොහැකි කාරණයකි. 


'මෙගා නගර' කුප්පිලාම්පු එළියෙන් ක්‍රියාත්මක වන ව්‍යාපෘති නොවේ. ප්‍රශ්නය වන්නේ අපට මෙවැනි හදිසි මොහොතකදී විකල්පයක්‌ නොමැති වීමය. විකල්පය ලෙස භාවිතා කළ හැකි නොරොච්චෝලේ බලාගාර තුනම අක්‍රීය වී තිබේ. වතාවක්‌ නොව දෙවතාවක්‌, තුන්වතාවක්‌ එවැනි ප්‍රශ්න මතුවන විට තවත් විකල්ප මාර්ග ගැන සැලසුම් සකස්‌ කිරීම හෝ යෝජනා ඉදිරිපත් කළ බවක්‌ අසන්නට නැත. 

ශ්‍රී ලංකාව සූර්යාලෝකය නොඅඩුව ලබන රටකි. සූර්ය බලශක්‌තිය විකල්පයක්‌ ලෙස භාවිතා කිරීම ගැන හෝ අදාළ මොළේ ඇති මහත්වරුන්ට තවමත් කල්පනා වී ඇති බවක්‌ පෙනෙන්නට නැත.

විදුලි බලය ඇනහිටීම අන්ධකාරය පිළිබඳ ජාතික ප්‍රශ්නයක්‌ හැටියට විග්‍රහ කරනවා යෑයි වරදවා වටහා ගත යුතු නැත. එය ජාතික ප්‍රශ්නයක්‌ වන්නේ ආර්ථිකය කෙරෙහි එල්ලවන නරක බලපෑම නිසාය. 


නිෂ්පාදන, සේවා අඩාල වීම හා සංවර්ධනය යම් තරමකට පසුබෑම දැඩිව කල්පනා කළ යුතු කාරණාය. එය රටට මාරාන්තික බලපෑමක්‌ ඇති කරන බව අප කියන්නේ ද ඒ නිසා ය.
 
Related Posts with Thumbnails