Ads 468x60px

.

පොලිසිය නැවතත් අශූචි බාල්දියක්‌ හිසේ වත්කර ගැනීමට සූදානම් වන බව...


රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමය පසුගිය දිනවල අපූරු කාරණයක්‌ හෙළිදරව් කර තිබිණි. ඒ සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස්‌ නිලධාරීන් රැකියා විරහිත උපාධිධාරීන්ගේ නිවෙස්‌වලට පැමිණ තොරතුරු රැස්‌කරන බවත්, විවිධ බියවැද්දීම් සිදුකරන බවත්ය. 

ඒ කතාව ඇත්තනම් පොලිසිය නැවතත් අශූචි බාල්දියක්‌ හිසේ වත්කර ගැනීමට සූදානම් වන බව කිව යුතුය. එහෙත් පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශක
සහකාර පොලිස්‌ අධිකාරි නීතිඥ රුවන් ගුණසේකර පවසන්නේ අදාළ සිදුවීම් ගැන පොලිසිවලට පැමිණිලි ලැබී නැති බවය. 

පොලිසිය ගෙදරටම පැමිණ තොරතුරු විමසූ පසු පොලිසියට ගොස්‌ ඒ ගැන තොරතුරු කියන්නට යන මෝඩයා කවරෙක්‌ ද යන්න ඒ මහතා පැහැදිලි කළ යුතුය.

ආණ්‌ඩුව පාර්ශ්වයෙන් ගත් කල ද මෙවැනි අපත වැඩවලට යාම කොහෙත්ම සුදුසු නැත.

රැකියා විරහිත උපාධිධාරීන්ට රැකියා ලබාදීම සඳහා අගමැතිවරයා විසින් කමිටුවක්‌ පත් කරනු ලැබ ඇත්තේ මීට මාස පහකට පමණ පෙර බව රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමය පවසන්නාහ. මේ තොරතුරු විමසන්නේ ඒ "කමිටුවේ උදවිය" වන්නට කොහෙත්ම බැරිය. 


රැකියා ලබාදීම සඳහා තොරතුරු විමසන්නට "පොලිසිය" යොදා ගත්තා යෑයි අපට කොහෙත්ම විශ්වාස කරන්නට බැරිය. ඒ සඳහා ඕනෑම නම් සමෘද්ධි නිලධාරීන්, ග්‍රාමසේවා නිලධාරීන් එසේත් නැත්නම් ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අනුයුක්‌ත කර සිටින සංවර්ධන නිලධාරීන් යොදාගත හැකිව තිබිණි. 

තොරතුරු සෙවීම සඳහා පොලිසියම යොදා ගත්තේ නම් එය පැටලිලි සහගත කාරණයක්‌ වන්නේ ඒ නිසාය. ඊටත් වඩා පොලිසිය සම්බන්ධයෙන් රටේ ජනතාව තුළ කොහෙත්ම විශ්වාසයක්‌ නැති පසුබිමක පොලිස්‌ නිලධාරීන් "තොරතුරු රැස්‌කිරීමට" යාම හිතකර තත්ත්වයක්‌ නොවේ.

උපාධියක්‌ ලැබ විශ්වවිද්‍යාලවලින් පිටව එන තරුණ තරුණියන් සඳහා රැකියා ලබාදීමේ නියමිත වැඩපිළිවෙළක්‌ මේ ආණ්‌ඩුවට පමණක්‌ නොව ඉකුත් බොහෝ ආණ්‌ඩුවලට තිබුණේ නැත. 


2012 වර්ෂයේදී මහින්ද රාජපක්‍ෂ ආණ්‌ඩුව, විධිමත් ලෙස සැලසුම් කරන ලද වැඩපිළිවෙළක්‌ යටතේ නොවූවද උපාධිධාරීන් 52,000 කට ආසන්න සංඛ්‍යාවක්‌ රාජ්‍ය සේවයට බඳවා ගත්හ. ඉන් අනතුරුව ඔවුන් විවිධ රාජ්‍ය ආයතනවල සේවයේ ස්‌ථාපිත කළේ ද විධිමත් ලෙස නොවේ. 

හොඳ වැඩක්‌ කළමුත් ඒ ආණ්‌ඩුව අදටත් "රැකියාලාභී" උපාධිධාරීන්ගෙන් පලු යන්නට බැණුම් අසන්නේ ඒ නිසාය. වත්මන් ආණ්‌ඩුව බැණුම් අහන්නට හෝ උපාධිධාරීන්ට

රැකියා ලබාදීමේ වැඩපිළිවෙළක්‌ සඳහා උත්සාහ කරන බව ප්‍රායෝගිකව ඔප්පු කර නැත. රැකියා විරහිත උපාධිධාරීන් "සැරට" කෑගසන්නේ ඒ නිසාය. උපාධිධාරීන්ගේ අර්බුදය සැරට ගිනියම් වන විට ඊට පිදුරු දමන්නේ ද ආණ්‌ඩුවය.

රාජ්‍ය අංශයේ මේ වන විට පුරප්පාඩු තිස්‌දහසකට අධික සංඛ්‍යාවක්‌ ඇති බව රැකියා විරහිත උපාධිධාරී සංගමය කියති. තමන්ට එම අවස්‌ථාවන් ලබාදිය හැකි බව ඔවුනගේ අදහසයි. 


පසුගිය ආණ්‌ඩුව මගින් වසර කිහිපයක්‌ පුරා රැකියා අහිමිව සිටි උපාධි ධාරීන් විශාල සංඛ්‍යාවක්‌ රාජ්‍ය සේවයට බඳවාගත් අතර, මේ වන විට ඒ බොහෝ දෙනෙක්‌ විවිධ රාජ්‍ය ආයතනවල විධිමත් ලෙස ස්‌ථාවරව සිටිති. 

ආණ්‌ඩුව මේ ගැන විමර්ශනයක්‌ කළහොත් රැකියා විරහිතව සිටින උපාධිධාරීන්ගේ ප්‍රශ්නයට හරි විසඳුමක්‌ සොයා ගැනීමට අපහසු නොවන බව අපගේ වැටහීමයි. පොලිසිය ලවා තොරතුරු ලබා ගැනීම, බියවැද්දීම වැනි කාරණා ඒ විමර්ශනයට එකඟ නැති බවද කිව යුතුය.

රැකියා විරහිත උපාධිධාරීන්ගේ උද්ඝෝෂණවලදී කැත්තට පොල්ල සේ සිටීමෙන් මේ ප්‍රශ්නයට කොහෙත්ම උත්තර සොයන්නට බැරිය. කළ යුත්තේ මේ සියලු පිරිස රටේ සංවර්ධනයට දායක වන අයුරින් රැකියා වන්හි ස්‌ථාපිත කිරීම මිස රටට බරක්‌ වන රැකියා විරහිත සමාජයක්‌ බිහිකිරීම නොවේ.
 
Related Posts with Thumbnails